ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය යනු කුමක් ද?
නිව් යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ ලෝක නායකයින්ගේ හමුවේ දී ජාත්‍යන්තර සංවර්ධනය සහ දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ ප්‍රශ්නවලට න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්ථානයක් හිමි වනු ඇති අතර යුක්රේන යුද්ධය ද ප්‍රධාන මාතෘකාවක් බවට පත්වනු ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි මහා මණ්ඩල සැසිය යනු කුමක් ද?
එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ජාත්‍යන්තර සාමය පවත්වාගෙන යාම සඳහා දෙවන ලෝක සංග්‍රාමය අවසන්වීමෙන් පසු 1945 වසරේ දී පිහිටුවන ලද ජාත්‍යන්තර සංවිධානයකි.
ඊට සාමාජික රටවල් 193ක් සහ සාමාජික නොවන රටවල් වන 'ද හෝලි සී' (පාප් වහන්සේගේ අධිකරණමය බලය යටතේ ඇති රෝමයේ ප්‍රදේශයකි) සහ පලස්තීනය ඇතුළත් වේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය (UNGA) යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ යුත්තේ කුමක් ද යන්න තීරණය කරන ප්‍රධානතම රැස්වීම යි.
එය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් නියෝජනය කරන එක ම රැස්වීම යි.
මහා මණ්ඩල සැසිය සෑම සැප්තැම්බර් මාසයකදී ම නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ.
මේ වසරේ, එය සැප්තැම්බර් පස්වන දා ආරම්භ විය. කෙසේ වෙතත්, බොහෝ ලෝක නායකයින් පැමිණෙන්නේ සැප්තැම්බර් 18 වන දා ආරම්භ වන ප්‍රධාන රැස්වීමට ය.
මහා මණ්ඩල සැසියේ දී කුමක් සාකච්ඡා වෙයි ද?
සැප්තැම්බර් 18 සහ 19 දෙදින තිරසර සංවර්ධනය පිළිබඳ සමුළුවක් පැවැත්වෙන අතර, එහිදී, එක්සත් ජාතීන්ගේ "තිරසර සංවර්ධන ඉලක්ක" සාර්ථක කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව සාමාජික රටවල් සාකච්ඡා කරනු ඇත.
ලෝකයේ කුසගින්න හා දරිද්‍රතාව අවසන් කිරීම, ලොව පුරා ආදායම් හා අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ පිරිසුදු ජලය හා සනීපාරක්ෂාව සඳහා වන ප්‍රවේශය වැඩි කිරීම එම ඉලක්කවලට ඇතුළත් වේ.
මහා විවාදය සැප්තැම්බර් 19 වන දා සිට 23 වන දා දක්වා පැවැත්වෙන අතර, සැප්තැම්බර් 26 වන දා විවාදයේ ඉතිරි කොටස පැවැත්වේ.
මෙම සැසිවාරවලදී, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සෑම රටක ම නියෝජිතයින්ට ඔවුන්ට අදාළ ගැටලු ගැන සාකච්ඡා කිරීමට හැකි ය.
'දේශගුණික අභිලාෂක සමුළුව' සැප්තැම්බර් 20 වන දා පැවැත්වේ. එහි අරමුණ වී ඇත්තේ, දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම ය.
ඊට අමතරව, ආර්ථික සංවර්ධනය සඳහා මූල්‍යකරණය, වසංගත රෝග සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සහ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ද සමුළු පැවැත්වේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිධුරය වාර්ෂිකව තෝරා පත්කර ගැනෙන අතර, මේ වසරේ එම ධුරය හොබවන්නේ ට්‍රිනිඩෑඩ් සහ ටොබේගෝ රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඩෙනිස් ෆ්‍රැන්සිස් ය.
මහා මණ්ඩල සැසියේ ප්‍රතිඵලය කුමක් වෙයි ද?
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය, ලෝකයේ නායකයින් සහ ආණ්ඩු ප්‍රධානීන්ට එක් ස්ථානයක රැස්වීමට ලැබෙන අද්විතීය අවස්ථාවකි. එය හැඳින්වෙන්නේ, "රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ වේගවත් හමුවක්" ලෙස ය.
මහා මණ්ඩල සැසියේ වඩාත් ම වැදගත් ප්‍රතිඵල බොහෝවිට වාර්තා වන්නේ රාජ්‍ය නායකයින් අතර පැවැත්වෙන අතරමැදි රැස්වීම්වලිනි.
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ද මෙම සැසියට සහභාගි වනු ඇතැ යි අපේක්ෂා කෙරෙන අතර, ඔහුගේ රට තුළ සිදුවන යුද්ධය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය අමතනු ඇත.
කෙසේ වෙතත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්, චීන ජනපති ෂී ජින්පිං සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ඊට සහභාගී නොවනු ඇත. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ද ඊට සහභාගි නොවනු ඇතැ යි වාර්තා පළ වී තිබේ.
එක්සත් ජාතීන්ගේ මහා විවාදය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?
සාම්ප්‍රදායිකව පළමු කථිකයා බ්‍රසීල නායකයා හෝ එරට නියෝජිතයෙකු වන අතර, ඉන් පසුව සත්කාරක රට, එනම්, ඇමෙරිකාවට අවස්ථාව හිමි වේ.
රැස්වීම පැවති මුල් කාලයේ පළමු දේශනය කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අතර බ්‍රසීලය බොහෝවිට පළමු කථිකයා ලෙස ඉදිරිපත් වූ හෙයින්, පසුව මෙය සම්ප්‍රදායක් බවට පත් විය.
මෙම රැස්වීමේ දී, සෑම රටක ම නායකයා හෝ එරට නියෝජිතයෙකු රැස්වීම අමතනු ඇත. ඔවුන්ට ඔවුන්ගේ දේශන සඳහා අරාබි, චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු සහ ස්පාඤ්ඤ යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල භාෂා හයෙන් ඕනෑ ම භාෂාවක් භාවිතා කළ හැකිය.
කථිකයින්ට ඔවුන්ගේ ප්‍රකාශයන් සඳහා මිනිත්තු 15ක කාලයක් වැය කරන ලෙස දන්වා තිබුණ ද මෙය නිරන්තරයෙන් නොසලකා හරිනු ලැබේ. මෙහි දීර්ඝතම දේශනය කිරීමේ වාර්තාව කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝ පිහිටුවා ඇති අතර, 1960 වසරේ දී ඔහු පැය හතර හමාරක දේශනයක් සිදුකළේ ය.
රාජ්‍ය නියෝජිතයන් ඔවුන්ගේ නම්වල ඉංග්‍රීසි පරිවර්තනයට අනුව අකාරාදී පිළිවෙළට අසුන් ගන්නා නමුත්, පළමු අසුනේ සිටින රට සෑම විට ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් තෝරා ගනු ලැබේ. මේ වසරේ දී එය උතුරු මැසිඩෝනියාවට වෙන් කර තිබේ.
මහා මණ්ඩල සැසියේ අමතක නොවන සිදුවීම් මොනවා ද?
2019 වසරේ දී, එවකට වයස අවුරුදු 16 පසුවූ ස්වීඩන් ජාතික පරිසර ක්‍රියාකාරිණී ග්‍රේටා තූන්බර්ග් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේ දේශගුණ ක්‍රියාකාරී සමුළුවේ දී මෙසේ පැවසුවා ය: "ඔබ ඔබගේ හිස් වචනවලින් මගේ සිහින සහ මගේ ළමා කාලය සොරකම් කර තිබෙනවා. එහෙම කරන්න තරම් ඔබලා නිර්භීත වුණේ කොහොමද?"
2017 වසරේ දී, අමෙරිකාවේ හිටපු ජනපතා ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාවේ නායක කිම් ජොං-උන් සම්බන්ධයෙන් මෙසේ පැවසීය: "රොකට් මෑන් සියදිවි නසා ගැනීමේ මෙහෙයුමක නිරත වී සිටිනවා."
2009 වසරේ දී ලිබියානු නායක කර්නල් ගඩාෆි පැය එක හමාරකට වැඩි කාලයක් කතා කළ අතර, එක් අවස්ථාවක දී නියෝජිතයින් සම්මන්ත්‍රණ ශාලාවෙන් පිටවීම ගැන දොස් නැගුවේ ය.
ඔහු ප්‍රධාන බලවතුන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම පාවා දුන් බවට චෝදනා කර, පසුව එහි පිටපතක් බිම හෙළීය.
2006 වසරේ දී, වෙනිසුවෙලානු ජනාධිපති හියුගෝ චාවේස් අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් "යක්ෂයෙකු" බව පැවසීය.
පෙර දවසේ බුෂ් කතා කළ වේදිකාවෙන් "තවමත් සල්ෆර් ගඳ නිකුත් වන" බව ඔහු පැවසුවේ ය.