බැංකු කාඩ් මගින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද?

    • Author, බීබීසී සිංහල

බැංකු කාඩ් මගින් බස් ප්‍රවේශ පත්‍ර ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය ප්‍රවාහන අමාත්‍යංශය විසින් නොවැම්බර් 24 වන දා සිට ආරම්භ කරනු ලැබීය.

එහි නියමු ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ඇරඹිණි.

"මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක්. අඩු පාඩුකම් වෙන්න පුළුවන්. නමුත් මේක ඉතා ම වැදගත් දෙයක්. මේක පුරුදු වෙන්න ඕන," යැයි මෙම අවස්ථාවට එක්වූ අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

කාඩ් මගින් ගෙවිමේදී බැංකු සහ එම සේවා සපයන ආයතන අය කෙරෙන සේවා ගාස්තුව අඩු කරන ලෙස ද අමාත්‍යවරයා එහිදී එම පාර්ශව වෙතින් ඉල්ලා සිටියේ ය.

කාඩ් මගින් මුදල් ගෙවිය හැකි මාර්ග මොනවා ද?

මාකුඹුර - මාතර, මාකුඹුර - බදුල්ල, මාකුඹුර - ගාල්ල, කොළඹ - අම්පාර යන අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථ සඳහා මෙම නව ක්‍රමය හඳුන්වා දුන්නේ ය.

ඊට අමතරව බස්නාහිර පළාතේ කඩවත - බොරැල්ල මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ සඳහා ද බදුල්ල - බණ්ඩාරවෙල, බදුල්ල - මහියංගනය, මොණරාගල - බිබිල සහ මොණරාගල - වැල්ලවාය මාර්ග යන ඌව පළාතේ බස් රථ සඳහා ද ඒ අනුව බැංකු කාඩ් මගින් ප්‍රවේශ පත් ගාස්තු ගෙවිය හැකි ය.

තව ද නොවැම්බර් 25 වන දා සිට වව්නියාව - කොළඹ, කඩවත - මහරගම, මාකුඹුර - තංගල්ල, මාකුඹුර - අගුණකොළපැලැස්ස යන මාර්ගවල ද මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වනු ඇත.

නව ක්‍රමවේදය හඳුන්වා දුන්නේ ඇයි?

"පෞද්ගලික බස් රථ හිමියන්ගෙන් ලොකු ඉල්ලීමක් ආවා අපේ ප්‍රවාහන ඇමතිතුමාට, බස් රථවල කාඩ්පත්වලින් ගෙවීමේ පහසුකම් හදලා දෙන්න කියලා.

හේතු දෙකක් තිබුණා ඒකට. බස් රථයේ ආදායම ගැන ඒගොල්ලන්ට කිසි පැහැදීමක් තිබුණේ නැහැ. ඒ වගේ ම ඉතුරු සල්ලි ප්‍රශ්න. ඒකත් එක්ක ආපු ඉල්ලීම් මත තමයි අපි ලංකාවේ සියලු ම බැංකු පද්ධතිවලට කතා කරලා මෙහෙම අවශ්‍යතාවක් තියෙනවා, මේකට සහයෝගය දෙන්න පුළුවන් ද කියන එක ඉල්ලුවේ," යැයි මෙම වැඩසටහන ගැන පැහැදිලි කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ උපදේශක, සුමුදු රත්නායක බීබීසී සිංහල වෙත පැහැදිලි කළේ ය.

රජයේ බැංකු දෙකක් සහ පෞද්ගලික බැංකු 5ක් මේ වන විට මෙම සේවාවට අවශ්‍ය පහසුකම් ලබා දීමට සූදානමින් සිටින බව ද ඔහු පැවසීය.

"බස් රථයේ ගමන් කරන මගියාගේ පැත්තෙන් ඉතුරු සල්ලි ප්‍රශ්නය, බහිද්දි සල්ලි ගන්න කියන ප්‍රශ්නය, බහිද්දි සල්ලි ගන්න අමතක වෙන ප්‍රශ්නය, ඒ සියලු දේට විසඳුම තමයි මේක," උපදේශකවරයා පැහැදිලි කළේ ය.

එමෙන් ම මෙමගින් බස් රථ හිමියන්ට තම බස් රථයේ දෛනික ආදායම මුදල්වලින් සහ කාඩ්පත් ගෙවූ ආදායම ලෙස වෙන වෙන ම බලා ගැනීමේ පහසුව ද සැලසෙන බව සුමුදු රත්නායක පැවසීය.

දත්ත වැදගත් වන්නේ ඇයි?

මෙම ක්‍රියාමාර්ග හරහා ලබා ගන්නා දත්ත මගින් ප්‍රවාහන ක්ෂේත්‍රයට අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට හැකියාව ලැබෙන බව මෙම ක්‍රමවේදයේ තවත් සුවිශේෂීත්වයක් ගැන පැහැදිලි කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ උපදේශකවරයා විස්තර කළේ ය.

"මේ දත්ත අපිට ෂෙයාර් කරගන්න පුළුවන් අදාළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, එහෙම නැතිනම් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව [එක්ක]. ඔය ආයතන හරහා මේ දත්ත ටික ජාතික මට්ටමේ තැනකට ගේන්න තමයි ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ බලාපොරොත්තුව.

ඔය දත්ත ටික ඔක්කොම ආවොත් අපිට තේරෙනවා පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට්වල පැටර්න් එක. කොයි වගේ වෙලාවට ද වැඩිපුර බස්රථ භාවිත කරන්නේ, උත්සව දවස්වල, දිග නිවාඩුවල භාවිත කරන හැටි. ඒ හැමදේට ම තීරණ ගන්න, ඒ වගේම තව වැඩිපුර බස් දාන්න ඒ සියලු දේට මේ දත්ත ඕන වෙනවා. මේ වෙනකම් ප්‍රවාහනවලට ගත්ත තීන්දු තීරණ ගත්තේ දත්ත කිසි ම දෙයක් නැතිව," ඔහු පැවසීය.

බස් ගාස්තුවට වඩා වැඩි ගාණක් අය කෙරෙනවා ද?

මෙම ක්‍රමය මගින් බස් මගීන්ට නියමිත ගාස්තුව හැර වෙනත් කිසිදු පිරිවැයක් දැරීමට සිදුනොවන බව ත් බස් රථ හිමියන්ගෙන් පමණක් 1%ක ගාස්තුවක් අය කරන බවත් සුමුදු රත්නායක සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, බස් රථ හිමියන් පවසන්නේ ඇතැම් බැංකු මගින් 1%කට වඩා වැඩි ගණනක් අය කරන බව ය. ඒ පිළිබඳව බීබීසි සිංහල ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ උපදේශකවරයාගෙන් විමසීමක් කළේ ය.

"ඒක බැංකු අතර තරගකාරිත්වයක් තියෙන්නේ. සියයට 1, 1.2 ගන්න බැංකුත් ඉන්නවා. ඔතන බැංකුවෙන් අය කරන ගාස්තුවට අමතරව බැක්එන්ඩ් සිස්ටම් එකක් තියෙනවා.

බැක්එන්ඩ් සිස්ටම් එක කියන්නේ බස් රථයේ හිමිකරුට ලබා දෙන දත්ත, තොරතුරු ඒ වගේ ම බස් රථයේ භාවිත කරන මැෂින් එකට ෆෙයාර් ටේබල් එකක් අප්ඩේට් කරන්න ඕන. ඒ ටික මැනේජ් කරගන්න අවශ්‍ය තොරතුරු ලබා දෙන්න. ඔය ටික ඔක්කොම එකතු වෙලා තමයි මේක වෙලා තියෙන්නේ."

කෙසේ වෙතත් නියමු ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන සාර්ථකත්වය මත මෙසේ අය කරනු ලබන ගාස්තු ද අඩු වනු ඇතැයි උපදේශක සුමුදු රත්නායක විශ්වාසය පළ කළේ ය.

බස් සංගම්වල ප්‍රතිචාරය

මෙම නියමු ව්‍යාපෘතිය සම්බන්ධව බස් රථ හිමියන් බෙදුණු මතයක් පළ කරනු දක්නට ලැබිණි.

ඒ සම්බන්ධයෙන් සතුට පළ කරන සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, මෙම ක්‍රමවේදය මගින් බස් හිමියාගේ ආදායම සුරක්ෂිත වන බව ය.

"දිනකට ප්‍රයිවට් බස් රථවලට ලැබෙන ආදායමෙන් කෝටි 3කට අධික මුදලක් අපිට නොලැබී යනවා. හැබැයි මේ කාඩ්පත් ක්‍රමය තුළ බස් හිමියාගේ ආදායම සුරක්ෂිත වෙනවා," යැයි එම සංගමයේ සභාපති සම්පත් රණසිංහ පැවසීය.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මෙම නියමු ව්‍යාපෘතියට විරෝධය පළ කරන්නේ, මෙය සාර්ථික කර ගැනීමට කොන්දොස්තරවරුන් ඉවත් කළ යුතු බව පවසමිනි.

"මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න නම් අපි දිගින් දිගට කිව්වේ කොන්දොස්තර මහතා ඉවත් විය යුතුයි. කොන්දොස්තර මහතා අතේ මේක තියෙන තාක් කල් මේක සාර්ථක වෙන්නේ නැහැ. මේකත් එක්තරා නියමු ව්‍යාපෘතියක් පමණක් කියලා ඉතිහාසගත වේවි."

අන්තර් පළාත් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ද මෙම ව්‍යාපෘතියට සිය සහයෝගය පළ කර තිබේ.

"ඉතුරු සල්ලිවල ලොකු ගැටලුවක් තිබුණා, ඒ ප්‍රශ්නය ඉදිරියේදී විසදෙයි. කාඩ්පතක් මැෂින් එකට දාපුවා ම අවශ්‍ය ගාණ හරියට කැපෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොන්දොස්තර අතරයි මගියා අතරයි," යනුවෙන් වැඩසටහනට සහය දෙන බව පවසමින් එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර පැවසීය.

රජයේ පවතින ටෙන්ඩර් පටිපාටිය හේතුවෙන් ලංගම බස් රථ සඳහා දැනට මෙම ක්‍රියාවලියට එක්වීමට ඉඩ ලැබී නොමැති අතර එම ක්‍රියාවලිය දැනට සිදුවෙමින් පවතී.

මෙම සේවාවට ලංගම බස් රථ ද දායක කර ගැනීමෙන් අනතුරුව ලබන වසරේ මැද භාගය වන විට රට පුරා බස් රථ සියල්ලෙහි ම කාඩ් මගින් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කළ හැකි වනු ඇති බවට ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ උපදේශක සුමුදු රත්නායක විශ්වාසය පළ කළේ ය.