නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු IPL ඉතිහාසය අලුත් කළ දිල්ලි සහ ලක්නව් තරගයේ සුවිශේෂී සිදුවීම්

ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ පමණක් නොව ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2025 අදියරේ අතිශය ආකර්ෂණීය තරගයක් ඊයේ (මාර්තු 24) නිමාවට පත්විය.

තරගය පැවතියේ, දිල්ලි කැපිටල්ස් (DC) සහ ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායම් අතර ය.

මෙම තරගය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිහාසය අලුත් කළ අවසන් පන්දු වාරය දක්වා ක්‍රීඩා ලෝලීන්ගේ හද ගැස්ම වේගවත් කළ තරගයක් විය.

ඒ, 13 වන පන්දු වාරයේ පන්දුවට පහර දෙමින් සිටියදී ජයග්‍රහණය කළ හැකි සම්භාවිතාව 1.56%ක සිටි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කිසිවෙකු නොසිතූ පරිදි 20 වන පන්දු වාරයේදී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වීම සුවිශේෂී සිද්ධියක් විය.

එපමණක් නොව එම තරගයේදී සුවිශේෂී අවස්ථා රැසක් වාර්තා විය.

පූරන්ගේ පිතිහරඹය

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 209ක් රැස් කළේ ය.

එහිදී නිකලස් පූරන් පන්දු 24කදී අර්ධ ශතකයක් රැස් කළ අතර, ඔහු පන්දු 30කදී ලකුණු 75ක් ලබා ගත්තේ ය.

පූරන් පන්දු වාර 20 තරග රටාවේ 6 පහර 600 ඉක්මවූ සිව්වැන්නා බවට පත්වෙමින් තරගය තුළ 6 පහර 7ක් එල්ල කිරීමට සමත් විය.

ඔහු දැවී යන විට 6 පහර 7ක් එල්ල කර තිබිණි.

ඉන් 6 පහර 4ක් ම ට්‍රිස්ටන් ස්ටබ්ස් යැවූ 13 වන පන්දු වාරයේදී එල්ල කිරීම කැපී පෙනිණි.

එම පන්දු වාරය ලකුණු 0,6,6,6,6,4 ලෙස සටහන් විය. ඒ අනුව පන්දු වාරය නිමා වූයේ, නිකලස් පූරන්ට ලකුණු 28ක් එකතු කරමිනි.

තරගය උඩුයටිකුරු වීම

දිල්ලි කැපිටල්ස් ඉනිමේ 13 වන පන්දු වාරය අවසානයේදී ඔවුන් ජය ගැනීමේ සම්භාවිතාව සියයට 1.56ක් වැනි අසීරු තත්ත්වයක පැවතිණි.

කෙසේ වෙතත්, පරාජය අබිමුව පැවති තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේ, අත්දැකීම් අඩු නවක පිතිකරුවන් දෙදෙනෙකු වීම විශේෂත්වයක් විය.

ඒ, 5 වන සහ 6 වන කඩුලුවලින් පසු පිළිවෙළින් පිටියට පිවිසි අශුතෝෂ් ෂර්මා සහ සිය පළමු IPL තරගයට සහභාගි වූ විප්රාජ් නිගම් යන දෙදෙනා ය.

එහිදී, පන්දු 15කදී වේගවත් ලකුණු 39ක් රැස් කිරීමට 20 හැවිරිදි විප්රාජ් නිගම් සමත් විය.

ඉම්පැක්ට් ප්ලේයර් ලෙස පන්දුවට පහර දුන් අශුතෝෂ් ෂර්මා පන්දු 31කදී ලකුණු 66ක් රැස් කළේ, 6 පහර 5ක් සහ 4 පහර 5ක් ද සමගිනි.

ඒ අනුව, තරගයේ අවසන් පන්දු වාරයේ තුන් වන පන්දුවේදී 6 පහරක් එල්ල කරමින් අශුතෝෂ් ෂර්මා සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය

9 වන කඩුල්ල රැක ගනිමින් තරගයක් ජයගත් 5 වන අවස්ථාව මෙය විය.

ඊට අමතරව, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වැඩි ම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජයග්‍රහණය කළ තරගය ද මෙය විය.