උපුල් තරංගට ක්‍රිකට් තරග පාවාදීමට යෝජනා කළ යෝගී පටෙල්ට බරපතළ වැඩ සහිත සිර දඬුවම්

2024 වසරේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට තරග පාවාදීම සඳහා යෝජනා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කැන්ඩි සෑම්ප් ආමි කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තාට මාතලේ මහාධිකරණය මගින් බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවම් නියම කළේ ය.

ඊට අමතරව විත්තිකරුට රුපියල් මිලියන 85ක දඩයක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩුවේ පැමිණිලිකාර උපුල් තරංගට රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවන ලෙසත් නියෝග කරනු ලැබී ය.

මෙම විත්තිකරු මේ වන විට අධිකරණය මගහැර රටින් පලා ගොස් සිටින අතර ඔහු නොමැතිව මෙම නඩු විභාගය පැවැත්විණි.

ඒ අනුව, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු ද නිකුත් කරනු ලැබී ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙරට ගොනු කෙරුණු පළමු නඩුකරය මෙය බව ය.

නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බව ය.

ඒ අනුව, ඔහුට මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේ ය.

2024 වසරේ මහනුවර, පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවති ලේජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගට ක්‍රිකට් තරග පාවාදීම සඳහා යෝජනා කිරීම තුළින් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබ තිබිණි.