ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව විදුලි බල සංශෝධන පනතෙන් ලංවිම වෙනස් වෙන්නේ මෙහෙමයි
- Author, අමන්දිකා කුරේ
- Role, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම ඇතුළු විදුලි බල කර්මාන්තයට සිදු කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සැලසීම මෙන් ම එම ක්ෂේත්රයේ තවත් කටයුතු වෙනුවෙන් හඳුන්වා දී තිබුණු 2024 අංක 35 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත සංශෝධනය සඳහා ගෙන ආ ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනතට පසුගිය අගෝස්තු 18 වන දින කතානායකවරයා අත්සන් තැබුවේ ය.
මේ යටතේ දැනට ලංකා විදුලි බල මණ්ඩලය යටතේ පවතින ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත අතර නව ව්‍යුහාත්මක වෙනසක් සමගින් විදුලි බල මණ්ඩලයේ විවිධ අංශ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වූ සමාගම් කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරවීමට නියමිත ය.
ශ්‍රී ලංකාවේ විදුලි බලයේ ඉතිහාසය
ලංකා විදුලි බල මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාවේ කොළඹ වරායට 1882 වර්ෂයේදී යාත්‍රා කළා වූ එස්එස් හේලියෝස් (SS Helios) නම් නෞකාවේ ප්‍රථම වරට විදුලි බලය දැක ගැනීම ශ්‍රී ලංකාවේ පළමු විදුලි බල අත්දැකීම ය.
1890 වර්ශයේ ඩීසල් විදුලි ජනක යන්ත්‍රයක් භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම විදුලි බල්බය දැල්වූ බව එහි සඳහන් ය. ඒ කොළඹ කොටුවේ බ්‍රිස්ටල් හෝටලයේ බිලියඩ් කාමරය තුළ ය.
මේ හැරුණු විට පසුකාලීනව බ්‍රිතාන්‍යයන් විසින් පවත්වාගෙන යන ලද ඔවුන්ගේ වැවිලි වතුයායන්වල ද විදුලි බලය භාවිත වූ බවට සාක්ෂි ඇතැයි වෙබ් අඩවියේ සඳහන් ය.
ශ්‍රී ලංකාවේ ජල විදුලි බලයේ පියා ලෙස සැලකෙන ඉංජිනේරු ඩී.ජේ. විමලසුරේන්ද්‍ර විසින් 1918 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ජල විදුලිය උත්පාදනයට ඇති විභවතාවය හඳුනාගෙන ගනු ලැබ ඇත.
1928 වර්ෂයේදී එවකට පැවති පාලනය යටතේ තාප බල විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීමට තීරණය කරන ලද අතර එය එවකට ආණ්ඩුකාර ශ්‍රීමත් හර්බට් ස්ටැන්ලිගේ නමින් නම් කර තිබේ.
ඉන් පසුව 1950 වර්ෂයේදී ලක්ෂපාන විදුලි බලාගාරය ක්‍රියාත්මක කරන ලද අතර ඉන් අනතුරුව විදුලි බල ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ බව ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක් වේ.
1969 නොවැම්බර් මස 01 වන දා ලංකා විදුලි බල මණ්ඩලය 1969 අංක 17 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපනය කරන ලද අතර, වරින් වර විදුලි බලය සම්බන්ධ විවිධ පනත් සහ සංශෝධිත පනත් ද පැමිණියේ ය.
එමෙන් ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් මෙරට විදුලි බල කර්මාන්තය සහ විවිධ උපයෝගිතාවන් නියාමනය සඳහා පිහිටුවනු ලදුව තිබේ.
නව සංශෝධිත පනත යටතේ ලංකා විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යුහගත කෙරෙන අතර, එහිදී නව ව්‍යුහයන් මෙන් ම පවතින මහජන උපයෝගිතා කොමිසම වැනි ආයතනවල ද වෙනස්කම් සිදු වේ.
මේ එලෙස සිදුවන ප්‍රධාන වෙනස්කම් 7කි.
01. අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන කමිටුව
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 3 වන වගන්තිය යටතේ විදුලි බල කර්මාන්තයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීමට අදාළ කාරණා ඇතුළු කර්මාන්තයට අදාළ දේවල් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා ජාතික විදුලි බල උපදේශක සභාව නමින් සභාවක් පිහිටුවීමට නෛතික ප්‍රතිපාදන සකස් කර තිබිණි.
කෙසේ වෙතත් 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනතෙන් ඉහත පනතේ තුන්වන වගන්තිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව තවදුරටත් ජාතික විදුලි බල උපදේශක සභාව යනුවෙන් ව්‍යුහයක් සඳහා නෛතික පදනමක් නැත.
ඒ වෙනුවට මෙම සංශෝධිත පනත යටතේ ප්‍රධාන ප්රඥප්තියේ 04 වන වගන්තියේ 02 වන උපවගන්තියට සිදු කරන ලද නව වගන්ති ආදේශ කිරීමකින් 'අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන කමිටුව' යනුවෙන් ව්‍යුහයක් පිහිටුවනු ලැබේ.
මෙය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව පිහිටුවනු ලබන අට දෙනෙකුට නොවැඩි සාමාජිකයන් සංඛ්‍යාවකින් යුක්ත කමිටුවකි.
බලශක්තිය, ආර්ථික විද්‍යාව සහ මූල්‍ය ක්ෂේත්රය, පුනර්ජනනීය බලශක්තිය ඇතුළු පනතේ දක්වා ඇති ක්ෂේත්රයන්ගෙන් එකක හෝ ඊට වැඩි සංඛ්‍යාවක් අවම වශයෙන් වසර පහළොවකවත් විශේෂඥතාවක් ඇති තැනැත්තන් මේ සඳහා පත් කළ යුතු ය.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තන්ට, පාර්ලිමේන්තුව ඇතුළු අනෙකුට් දේශපාලන සංස්ථාපිත ආයතනවල සාමාජිකයන්ට, අධිකරණ මගින් වරදකරුවන් වූවන් ඇතුළු පුද්ගලයන්ව මේ සඳහා පත් නොකළ යුතු අතර, කමිටුවට පත් කරනු ලබන සාමාජිකයන් අමාත්‍යවරයා විසින් ඉවත් නොකරන්නේ නම් වසර තුනක කාලසීමාවක් සඳහා ධූරය දරනු ලැබිය යුතු ය.
බලශක්තිය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස ජාතික විදුලි බල ප්‍රතිපත්ති කෙටුම්පත සකස් කිරීම මෙම අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන කමිටුවට ඇති ප්‍රධාන වගකීමකි.
02. නියාමක - මහජන උපයෝගිතා කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) භෞතික යටිතල පහසුකම් කර්මාන්තයන් නියාමනය කිරීම සඳහා බහුආංශික නියාමන ආයතනයක් ලෙස පිහිටුවන ලද්දකි.
2002දී පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් විදුලි බල සහ ජල සේවා කර්මාන්ත සම්බන්ධයෙන් නියාමනය සිදු කිරීම සඳහා විධිවිධාන සැපයීම සිදු කරයි.
විදුලි බල කර්මාන්තයේ ප්‍රමාණවත් ආයෝජනයක්, කාර්යක්ෂම සැපයුමක්, සහ ගුණාත්මක සේවා තත්වයක් සහතික කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, සැපයුම සහ භාවිතය නියාමනය කිරීම සිදු කරන බව එම කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ දැක් වේ.
මෙම නව ප්‍රතිව්‍යූහගත කිරීම යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල කර්මාන්තයේ නියාමක ලෙස සලකනු ලබයි.
ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු, ජාතික පද්ධති ක්‍රියාකරු, විදුලි බලය බෙදා හැරීම ඇතුළු විදුලි බලය උත්පාදනය කිරීමේ, සම්ප්‍රේෂණය කිරීමේදී සිට බලය ලබා දී ඇති යට බලපත්‍ර නිකුත් කිරීම සිදු කරන්නේ මෙම කොමිසම හරහා ය.
එමෙන් ම බලපත්‍රවල කොන්දේසි නිශ්චය කිරීම, එම කොන්දේසි වෙනස් කිරීම මෙන් ම කොන්දේසි උල්ලංඝනය කළහොත් බලපත්‍ර අවලංගු කිරීමේ බලය ද එයට පවතියි.
ඒ සම්බන්ධ සියලු තොරතුරු ඇතුලත් ලේඛනයක් කොමිසම විසින් පවත්වා ගෙන යා යුතු අතර, එහි අන්තර්ගත කරුණු දවසේ සාධාරණ කාලයක් තුළදී ජනතාවට පරීක්ෂා කර බැලීමට ඉදිරිපත් කර තිබිය යුතු ය.
03. ජාතික පද්ධති ක්‍රියාකරු
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 09 වන වගන්තිය යටතේ 'ජාතික පද්ධති ක්‍රියාකරු' යන සමාගම පිහිටුවීම සඳහා නීතිමය ප්‍රතිපාදන දක්වා තිබේ.
ඒ අනුව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරන ලද, කොටස්වලින් 100%ක් රජය විසින් දරනු ලබන සීමාසහිත සමාගමක් ජාතික පද්ධති ක්‍රියාකරු වන අතර, එහි බලපත්‍රය නිකුත් කරනු ලබන්නේ මහජන උපයෝගිතා කොමිසමෙනි.
මෙම ජාතික පද්ධති ක්‍රියාකරුගේ පරිපාලනය සහ කළමනාකරණය සඳහා අමාත්‍යවරයා විසින් සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුක්ත අධ්යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබේ.
ඔවුන්ගෙන් එක් අයෙකු සභාපතිවරයා ලෙස අමාත්‍යවරයා විසින් පත් කිරීම සිදු කරනු ලබයි.
සංශෝධිත පනතට අනුව ඒ සඳහා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ තනතුරට නොඅඩු හෝ ඒ හා සමාන තනතුරක් දරන අමාත්‍යංශයේ නියෝජිතයෙකු, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයෙකු, ප්‍රසම්පාදනය පිලිබඳ වසර පහළොවක පලපුරද්දක් ඇති එක තැනැත්තෙකු, බලශක්ති පද්ධති මෙහෙයවීම් සහ සැලසුම්කරණය පිළිබඳ වසර පහළොවක අත්දැකීම් ඇති තැනැත්තෙකු සහ මූල්‍ය, ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය හෝ වාණිජ නීතිය යන ක්ෂේත්රවල අවම වශයෙන් එක් ක්ෂේත්රයක වසර පහළොවක පළපුරුද්ද ඇති අයෙකු ඇතුළු සාමාජිකයන් පස් දෙනෙකු මේ සඳහා පත් කෙරෙනු ඇත.
එහි ප්‍රධාන විධායක නිලධරයා විදුලි ඉංජිනේරු ශිල්පය සජ පරිපාලනය පිළිබඳව විශේෂඥතාව සහිත, විශිෂ්ටත්වයට පත් සහ අවම වශයෙන් වසර 20ක පළපුරුද්දක් සහිත අයෙකු විය යුතු අතර, එම පත් කිරීම අමාත්‍යවරයාගේ අනුමැතිය යටතේ සිදු කළ යුතු ය.
අමාත්‍යවරයා විසින් ඉවත් නොකරන්නේ නම් මිස අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වසර තුනක් එම ධූරය දැරිය යුතු ය.
අඛණ්ඩ සහ විශ්වාසදායක විදුලි බල සැපයුමක් සහතික කරමින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියේ මෙහෙයුම්කරණය සඳහා පද්ධති පාලන මධ්‍යස්ථානය මෙහෙයවීම සහ පවත්වාගෙන යාම මෙම සමාගමේ ප්‍රධාන වගකීමකි.
එමෙන් ම අවම ආර්ථික පිරිවැය මත පදනම්ව වාර්ෂික විදුලිබල ප්‍රසම්පාදන සැලසුම ඉදිරිපත් කළ යුත්තේ ද මේ සමාගම ය.
කෙසේ වෙතත් ජාතික පද්ධති ක්‍රියාකරු නියම කරනු ලබන කොන්දේසි මිස යම් වාණිජ කටයුතුවල නොදිය යුතු බව ප්‍රධාන ප්රඥප්තියේ දැක්වේ.
ප්‍රධාන ප්රඥප්තිය වන 2024 අංක 36 දරන පනතේ 10 වන වගන්තියේ දෙවන උපවගන්තිය යටතේ දක්වා ඇති සමාගම විසින් ඉටු කළ යුතු කරණා ක්‍රියාත්මක කළ යුතු කාර්යපටිපාටිය, ආකෘතිය සහ ආකාරය නියම කරනු ලබන්නේ අමාත්‍යවරයා විසිනි.
ජාතික පද්ධති ක්‍රියාකරු ලෙස කටයුතු කරන සමාගම විසින් දීර්ඝකාලීන විදුලි බල පද්ධති සංවර්ධන සැලැස්ම සකස් කළ යුතු අතර, ඒ සැලැස්ම සම්බන්ධයෙන් නියාමක ලෙස මහජන උපයෝගිතා කොමිසමට නිර්දේශ ලබා දීමට බලය තිබේ.
එම සැලසුම ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු ආයතනය ලෙස සලකන්නේ ද මෙම සමාගම වේ.
04. ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු
ප්‍රධාන පනතේ 14 වන වගන්තිය යටතේ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද සමාගමක් ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සැපයුම්කරු ලෙස ඇති කරනු ලබයි.
2024 පනතේ කොටස් 50%ක් රජය විසින් දැරිය යුතු බවට සඳහන් වුව ද, නව සංශෝධිත පනත යටතේ එහි කොටස් 100%ක් ම රජය සතු විය යුතු බවට සඳහන් වේ.
මෙම සමාගම විසින් නියමිත දිනයක සිට ලංකා විදුලි බල මණ්ඩලයට අයත් සම්ප්‍රේෂණ වත්කම්වල හිමිකාරිත්වය සහ පවත්වාගෙන යාම සඳහා වගකිව යුතු වේ.
මෙම සමාගම විදුලිය සම්ප්‍රේෂණය කිරීම සඳහා ජාතික පද්ධති ක්‍රියාකරු සමග සම්ප්‍රේෂණ සේවා ගිවිසුමකට එළඹිය යුතු ය.
2024 පනතේ 15 වන වගන්තියේ 4 වන උපවගන්තියේ (ඇ) කොටසට අනුව සම්ප්‍රේෂණ වත්කම්වල ආයෝජනය කිරීම සහ ජාතික ආර්ථිකයේ යහපත උදෙසා වන අවස්ථාවක යන කොන්දේසිය යටතේ පෞද්ගලික අංශයේ ආයෝජන ලබා ගැනීම සඳහා ජාතික පද්ධති ක්‍රියාකරුට පහසුකම් සැලසීම කළ යුතු ය.
ඊට අමතරව සම්ප්‍රේෂණ පද්ධති පවත්වාගෙන යාම සහ ඒවා වැඩිදියුණු කිරීම මෙන් ම පුළුල් කිරීම ද එමගින් සිදු කළ යුතු වේ.
05. උත්පාදන සමාගම
සංශෝධිත පනතේ පළමුවන උපලේඛනයේ (අ) අයිතමය යටතේ 'උත්පාදන සමාගම' යනුවෙන් සඳහන් කරන සමාගමක් පිහිටුවීමට ප්‍රතිපාදන සලසා තිබේ.
එහිදී,
- ජල විදුලි බල උත්පාදනය,
- නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු විදුලි පිරියතය සහ ලංකා කෝල් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ්,
- ගල් අඟුරු විදුලි උත්පාදන නොවන තාප විදුලි උත්පාදන,
- මන්නාරම තම්බපවනි සුළං විදුලි පිරියතය,
- සීමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම,
යන ඒවා සම්බන්ධයෙන් මූලික පැවරීමේ සැලැස්මේ දක්වා ඇති ලංකා විදුලි බල මණ්ඩලයේ වත්කම්, බැරකම් සහ කර්තව්‍ය පවරාගැනීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 100%ක් කොටස් දරනු ලබන උත්පාදන සමාගම යන සමාගම පිහිටුවනු ලබයි.
06. බෙදාහැරීමේ සමාගම
සංශෝධිත පනතේ පළමුවන උපලේඛනයේ (උ) අයිතමය යටතේ 'බෙදාහැරීමේ සමාගම' යනුවෙන් සඳහන් කරන සමාගමක් පිහිටුවීමට ප්‍රතිපාදන සලසා තිබේ.
එයට දැනට ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින බෙදාහැරීමේ අංශ, වෙනත් තෝරාගත් වත්කම්, කර්තව්‍ය සහ කටයුතු සහ සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගම යන ඒවා පැවරෙන අතර, එම සමාගමේ 100%ක කොටස් ද භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් දැරිය යුතු ය.
07. අවශේෂ
ඉහත සියලු සමාගම්වලට අමතරව කොටස් 100%ක් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් දරනු ලබන සීමාසහිත තවත් සමාගමක් පිහිටුවීමට සංශෝධිත පනතෙන් ප්‍රතිපාදන සකසා තිබේ.
එයට පහත සඳහන දැනට ලංකා විදුලි බල මණ්ඩලයේ වත්කම් බැරකම් සහ කර්තව්‍ය පවරා ගැනීම සිදු කළ යුතු ය.
- ශ්‍රී ලංකාවේ ජාතික ජාලකය සකසේන්නා වූ භෞතික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පවත්වාගෙන යාම සහ ක්‍රියාත්මක කිරීම
- වෙනත් තෝරාගත් වත්කම්, කර්තව්‍ය හා කටයුතු
- එල්ටීඑල් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සහ ශ්‍රී ලංකා එනජීස් (ප්‍රයිවට්) ලිමිටඩ්
නව සංශෝධිත පනත මේ වන විට ගැසට් පත්‍රයේ පළ කර තිබෙන අතර, ඒ අනුව එය දැන් බලාත්මක පනතකි.
මෙම පනත යටතේ ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලි කර්මාන්තයේ සිදු වන ප්‍රධාන වෙනස්කම් ඉහත පරිදි වන අතර, එහි තවත් වෙනස්කම් ද සිදු කර තිබේ.