ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඔබේ සහකරු නින්දෙන් ගොරවනවා ද? එය ඔබේ සෞඛ්යය අනතුරේ හෙළන රහස මෙන්න
- Author, එලා කිප්ලින්
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 6
නින්දෙන් ගොරවන සහකරුවෙකු හෝ සමීපතමයෙකු අසල නිදාගෙන, පසුදා උදෑසන අවදි වන විට ඔබට මානසික ආතතියක්, අවධානය යොමු කිරීමේ අපහසුතාවක් හෝ අමතක වීමක් දැනී තිබේ ද?
නින්දෙන් ගෙරවීම සාමාන්ය දෙයක් බැවින්, බොහෝ දෙනෙක් ඒ සඳහා ප්රතිකාර නොගෙන, එය හානිකර නොවන කරදරයක් ලෙස සිතා බැහැර කරති. නමුත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ, ගොරවන අයෙකු අසල නිදාගැනීමෙන් ඔබේ සෞඛ්යයට බලපෑම් එල්ල විය හැකි බව ය.
ගෙරවීම යනු නින්දේදී අපගේ ඉහළ ශ්වසන මාර්ගයේ ඇති මෘදු පටක කම්පනය වීම හේතුවෙන් සිදුවන දෙයක් බව, දන්ත වෛද්ය විද්යාව තුළ නින්ද ආශ්රිත ගැටලු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන දන්ත වෛද්යවරියක වන වෛද්ය ක්ලෙයාර් සිමෝන් පවසයි.
එක්සත් රාජධානියේ වැඩිහිටි ජනගහනයෙන් 40%ක් පමණ නින්දේදී ගොරවන අතර, මෙම ගැටලුව කාන්තාවන්ට වඩා පිරිමින්ට බලපාන බව බ්රිතාන්ය ගෙරවීම සහ නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතා පිළිබඳ සංගමය පවසයි.
ඇමෙරිකානු නිද්රා පදනම විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව, නින්දෙන් ගොරවන සහකරුවෙකු හෝ සහකාරියක සිටින පුද්ගලයන්ගෙන් 75%ක් ම ප්රකාශ කර ඇත්තේ, එමගින් තමන්ගේ නින්දට බාධා එල්ල වී ඇති බව ය.
මෙමගින් සහකරුවන්ට හෝ සහකාරියන්ට එල්ල වන බලපෑම සහ ඒ වෙනුවෙන් ඔබට කළ හැකි දේ පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු මෙන්න.
අවධානය සහ මතකය
ඇරොක්ස් හෙල්ත් (Aerox Health) ආයතනයේ උපදේශක දන්ත විකෘතිතා වෛද්ය සහ නිද්රා විශේෂඥයෙකු වන මහාචාර්ය අමා ජොහාල් පෙන්වා දෙන්නේ, නින්දෙන් ගොරවන අයෙකුගේ සහකරු හෝ සහකාරිය එමගින් කොතරම් දැඩි බලපෑමකට ලක්වන්නේ ද යත්, තමන්ට කෙසේ හෝ නින්දක් ලබා ගැනීමේ අවසාන උත්සහය ලෙස අවදි වී වෙනත් කාමරයකට ගොස් නිදා ගැනීමට පවා ඔවුන්ට සිදුවන බව ය.
ඔහු මෙසේ ද පවසයි: 'මිනිස්සු විදිහට අපට ඒ අත්යවශ්ය දේ (නින්ද) නැතුව අපේ ශරීරයේ දෛනික වැඩකටයුතු කර ගන්න බැහැ.'
රාත්රී කාලයේදී, අපි සාමාන්යයෙන් සෑම මිනිත්තු 90කට වරක් ම පුනරාවර්තන රටා ඔස්සේ නින්දේ විවිධ අවධීන් පසුකර යන්නෙමු.
මෙම චක්රයේ වඩාත් ගැඹුරු අවධීන් ශාරීරික පුනරුත්ථාපනය හෙවත් ශරීරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉතා වැදගත් වේ.
යමෙකුගේ නින්ද නිතර නිතර බිඳ වැටීමට ලක්වන්නේ නම්, ශරීරය යථා තත්ත්වයට පත් කරන පුනරුත්ථාපන අවධීන් සඳහා ගත කරන කාලය අඩු විය හැකි බව බ්රිතාන්ය ගොරවීම සහ නිද්රා ශ්වසන අපහසුතා සංගමය (BSSAA) පෙන්වා දෙයි. මෙයින් අදහස් කරන්නේ ඔබ වැඩි වේලාවක් ඇඳේ ගත කළද, අවදි වන විට තවමත් දැඩි තෙහෙට්ටුවක් දැනිය හැකි බවයි.
ඔබ නිදා සිටින කාලය තුළදී, මොළය විසින් දවස පුරා ලබාගත් තොරතුරු සැකසීම සහ ගබඩා කිරීම සිදු කරනු ලබයි. නින්දෙන් ගොරවන සහකරුවෙකු නිසා නිතර අවදි වීමෙන් සිදුවන කඩින් කඩ බිඳ වැටෙන නින්ද හේතුවෙන් මෙම ක්රියාවලියට බාධා එල්ල විය හැකි අතර, එමඟින් ඔබේ අවධානය සහ මතක ශක්තිය කෙරෙහි අහිතකර බලපෑම් ඇති වේ.
බාධාකාරී නින්ද හෝමෝන නියාමනයට ද බලපෑම් කළ හැකි අතර එය ඔබේ ශක්ති මට්ටම් සහ අභිප්රේරණයට බලපායි.
මානසික ආතතිය සහ ආවේගාත්මක ප්රතිචාරයන්ට දායක වන මොළයේ පද්ධතීන් පාලනය කිරීම සඳහා ද නින්ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. නින්දට බාධා පැමිණි විට, මෙම පද්ධතීන්හි සමතුලිතතාව ගිලිහී යා හැකි අතර, එමඟින් ඔබ වඩාත් නොසන්සුන් වීමට සහ ආතතිය දරාගැනීමට ඇති හැකියාව අඩු වීමට ඉඩ ඇත.
29 හැවිරිදි මෙග් වොරන්, ඇගේ හිටපු සහකරුගේ නින්දෙන් ගොරවීම හේතුවෙන් රාත්රියේ නිදි වැරීමට සිදුවූ අවධියේදී මුහුණ දුන්නේ මෙවැනිම අත්දැකීමකට ය.
'නින්දෙන් ගෙරවීම හේතුවෙන් අවදි වන සෑම අවස්ථාවකදීම පාහේ, මා සිටියේ අධික නොසන්සුන්කාරී මෙන්ම දැඩි විමසිලිමත් ස්වභාවයකින් බව නිසැකවම කිව හැකි ය,' යැයි ඇය පවසයි.
පුණ්යායතනයක මාධ්ය නිලධාරිනියක වන මෙග්, රාත්රිය පුරා ඔහුට තට්ටු කරමින්, උඩුබැලි අතට නිදා සිටින ඔහුව පැත්තකට හැරවීමට උත්සාහ කළා ය.
ඇය පවසන පරිදි, ඇය අවදි වන්නේ, 'මළානික සහ සිහිමද ගතියකින් යුතුව වන අතර, ඇතැම් අවස්ථාවලදී එය අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් පසු පසුදින ඇති වන අපහසුතාවට සමාන ස්වභාවයක්' ගත්තේ ය.
මෙම නින්දෙන් ගෙරවීම ඔවුන්ගේ සබඳතාවට ද දැඩි පරීක්ෂාවක් වූ අතර, මෙග් ඒ පිළිබඳව පැහැදිලි කරමින් මෙසේ පැවසුවා ය: 'අප එකට ජීවත් වුවහොත්, සැබවින් ම දරාගත නොහැකි ලෙස ඔහු ගොරවන රාත්රීන්වලදි සඳහා අපට අනිවාර්යයෙන් ම අමතර නිදන කාමරයක් තිබිය යුතු බව මා නිරන්තරයෙන් ම පැවසුවා.'
සයිමන් පෙන්වා දෙන්නේ, සහකරුගේ නින්දෙන් ගෙරවීම හේතුවෙන් බිඳ වැටෙන නින්ද, නොසන්සුන්කමට සහ අඬදබරවලට මග පාදනු ලබන අතර, වෙනත් කාමරවල නිදා ගැනීමට තීරණය කළහොත් ඔවුන් අතර පවතින අන්යෝන්ය සමීපතාව අඩු වීමටද හේතු විය හැකි බව ය.
52 හැවිරිදි මාධ්යවේදිනියක වන ඇනා-ලුවිස් ඩියර්ඩන් ප්රකාශ කරන්නේ, තම සහකරු නින්දෙන් ගෙරවීම හේතුවෙන් ඇය ඇතැම් දිනවල වෙනත් කාමරයක නිදාගන්නා බව ය.
මෙම විකල්පය පවතින නිසා, ගොරවන හඬ අතිශයින් ම වැඩි වන අවස්ථාවලදී ප්රමාණවත් නින්දක් ලබා ගැනීමට ඇයට අවස්ථාව සලසා දෙයි.
"ඔබ අවදි වන විට ඔබට නින්ද හොඳින් ලැබී නොතිබුණේ නම්, වැඩිපුර කෑම කන්න හිතෙනවා, ඔබට වඩාත් කේන්තියක් දැනෙනවා," ඇනා ලුවිස් පැවසුවාය.
ඇය මීට පෙර මෙම ගෙරවීම හේතුවෙන් රාත්රියේ නිතර නිතර අවදි වීමට පෙළඹුණ ද, තම සහකරු සමග එක ම ඇඳේ නිදාගන්නා විට Ear plugs පැළඳීම ජීවිතය බේරා ගැනීම බඳු උපකාරයක් වූ බව ඇයට වැටහී ඇත. මන්දයත්, එමගින් නැගෙන ශබ්දයෙන් වැඩි කොටසක් මගහැර සුවසේ නිදා ගැනීමට ඇයට අවස්ථාව සැලසෙන බැවිනි.
උදව් ලබාගැනීම සඳහා සුදුසු අවස්ථාව කුමක් ද?
ඒ වෙනුවෙන් ගත හැකි පියවර කිහිපයක් ඇති බව සයිමන් සහ ජොහාල් යන දෙදෙනා ම පවසති. නමුත් පළමුව, ඔබේ සහකරු හුදෙක් ගොරවනවා ද, නැතහොත් ඔවුන්ට නින්දේදී හුස්ම හිරවීමක් තිබේ ද යන්න වෙන්කර හඳුනා ගැනීම වැදගත් ය.
සයිමන් පවසන්නේ, 'යමෙකුට වැළඳී තිබිය හැකි, නින්ද ආශ්රිත ශ්වසන ආබාධයක් හඳුනා ගැනීමට අපොහොසත් වෙමින්, රාත්රී කාලයේදී ඔවුන්ගෙන් නැගෙන ශබ්දය අඩු කිරීමට පමණක් සරලව කටයුතු කිරීම ඔබ කිසිසේත් ම නොකළ යුතු දෙයක්' බව ය.
නින්දේදී පුද්ගලයෙකුගේ ශ්වසනය නැවත නැවතත් නැවතීම සහ ආරම්භ වීම සිදු කරනු ලබන ආබාධයක් වන නිද්රා ශ්වසන අපහසුතාවයේ ලක්ෂණ අතරට, ශ්වසනය තාවකාලිකව නැවතීම, රාත්රී කාලයේදී හුස්ම හිරවීම, නිතර නිතර අවදි වීම සහ උදෑසන කාලයේදී ඇති වන හිසරදයෙන් පීඩා විඳීම ඇතුළත් වේ.
ඔබ පීඩා විඳින්නේ මේ රෝගී තත්ත්වයෙන් නම්, ඔබට සීපැප් (CPAP) මැෂින් එකක් පාවිච්චි කිරීමට නිර්දේශ කළ හැකි අතර, ඇතැම්විට ශල්යකර්ම ප්රතිකාර පවා කිරීමට සිදු විය හැකි බව වෛද්ය සයිමන් පවසයි.
සාමාන්ය ගෙරවීමක් ඇති අයට තමන්ගේ ජීවන රටාව වෙනස් කිරීමෙන් සහනයක් ලබා ගත හැකි බව වෛද්ය සයිමන් පවසයි. බර අඩු කර ගැනීම, දුම්පානය නතර කිරීම, රෑට නිදාගන්න කලින් මත්පැන් බොන එක අඩු කිරීම හෝ උඩුබැලි අතට නිදාගන්නේ නැතුව පැත්තකට හැරී නිදාගැනීම වැනි දේ ඒ අතර වේ.
වැඩිදුර උපදෙස් ලබා දීමට හෝ විශේෂඥ වෛද්යවරයෙකු වෙත යොමු කිරීමට හැකි වන පරිදි, සාමාන්ය වෛද්යවරයෙකු හමුවන ලෙස ඔබේ සහකරුට යෝජනා කිරීමට ද ඔබට හැකි ය.
නින්දෙන් ගෙරවීමට හේතුව නාසයේ අවහිරතාවක් හෝ අසාත්මිකතාවක් නම්, ඒ සඳහා ප්රතිකාර කිරීමට විශේෂඥයෙකු යෝජනා කළ හැකි ය. එසේ නොමැති නම්, පහළ හකු ප්රදේශය මෘදුව ඉදිරියට තල්ලු කරමින් ශ්වසන මාර්ගය විවෘතව තබා ගැනීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද මුඛ ආවරණයක් පැළඳීමට ඔවුන් උපදෙස් දෙනු ඇත.
ජොහාල් පවසන්නේ, බොහෝ සහකරුවන් "වඩා දිගු කාලයක්" නින්දේදී ගෙරවීම ඉවසා සිටින බැවින්, එය ඔවුන්ගේ සබඳතාවලට සහ යහපැවැත්මට බලපෑම් එල්ල කරන බව ය.
"ප්රධාන ම දේ තමයි සහය ගැනීමට අවස්ථා තියෙනවා, කළ යුතු වන්නේ සහය ලබා ගැනීම යි."