'සියලු ගනුදෙනු රෙකෝඩ් වෙන සිස්ටම් එකක්': බදු පැහැර හරින්නන්ට ඉදිරියේදී වැඩ වරදියි ද?

Sri Lanka university students take part in a demonstration demanding lower taxes and higher government spending on education in Colombo on January 8, 2025.

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Image

    • Author, තාරක සම්මාන්
    • Role, බීබීසී සිංහල

"ආදායම් බදු අඩු කරනවා කියලා ආවේ. ලක්ෂ දෙකේ සීමාවත් එක්ලක්ෂ පනස් දහසේ සීමාවට ගියේ. ඒක පනස් දහසකින් අඩු කරලා, දහ ගුණයක් විතර බදු ගන්න මේ අය උත්සහ කරනවා..."

ඉහත දැක්වෙන්නේ, පාසල් යන වයසේ දරුවන් තිදෙනෙකු සිටින, මාසික වේතනයක් ලබන කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වසන්ත [සැබෑ නම නොවේ] වත්මන් බදු සම්බන්ධයෙන් බීබීසී සිංහල වෙත දැක් වූ අදහසකි.

ඔහු පමණක් නොව මේ වන විට සමාජයේ විවිධ පාර්ශව තමන්ගෙන් රජය අය කර ගන්නා බදු සම්බන්ධයෙන් මැසිවිලි නගති.

වසන්ත මෙන් ඔවුන් ද කනසල්ල පළ කරන්නේ, වත්මන රජය බලයට පත් වීමට ප්‍රථම ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව සඳහන් කරමිනි.

නම හෙළි කිරීමට අකමැති මහේෂ් බීබීසී සිංහල වෙත පැවසුවේ, ජනතාවට ප්‍රතිලාභ ලැබෙන්නේ නම් බදු අය කිරීමේ ගැටලුවක් නොවන බව ය.

සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇතැම් පාර්ශව රජයේ බදු ප්‍රතිපත්තිය විවේචනය කර ඇති අයුරු මෙන් ම ඊට ධනාත්මක ප්‍රතිචාර ද දක්වා ඇති අයුරු නිරීක්ෂණය විය.

මේ, ඒ පිළිබඳව බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

'මිනිස්සුත් එක්ක තරහට බදු ගහන ආණ්ඩුවක්'

අපත් සමග අදහස් දැක්වූ වසන්ත බදු හේතුවෙන් තමන් පීඩාවට පත්ව ඇති ආකාරය තවදුරටත් පැහැදිලි කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔහු සඳහන් කළේ, අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද (APIT) යනු, අධ්‍යාපනය ලබා "හොඳ" රැකියාවක නිරත වන අයෙකුට ලබා දෙන "දඬුවමක්" බව ය.

"ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන මනුස්සයෙකුට ඒක නිකම් දඬුවමක් වෙලා තියෙන්නේ. පඩිය වැඩි වෙනවා කියනකොට බය හිතෙනවා මිනිස්සුන්ට. ඉස්සර පඩිය වැඩි කර ගන්න නේ අපි බලන්නේ," ඔහු සඳහන් කළේ ය.

වසන්ත යනු, මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකි.

40 වන විය පසු කරමින් සිටින ඔහු පවසන්නේ, මෝටර් රථ සඳහා රජය අය කරන "අධික" බදු හේතුවෙන්, තමන්ට මෝටර් රථයක අවශ්‍යතාව "දැඩිව" තිබුණ ද එය සිහිනයක් බවට පත්ව ඇති බව ය.

"ලක්ෂ ගණන් පඩි ගත්තට මිනිස්සු තාම යන්නේ බයික්වල. කාර් එකක් ගන්න අවශ්‍ය මිනිහට කාර් එකක් ගන්න බැහැ. ජපානයේ ලක්ෂ 65 කාර් එකට, මෙහේ නිකම් ඉඳන් ආණ්ඩුව ලක්ෂ 100ක විතර ආදායමක් ලබා ගන්නවා. හදන ජපානයට හම්බ වෙන්නේ ලක්ෂ 65යි," ඔහු බීබීසී සිංහල සමග පැවසීය.

ඔහු ප්‍රශ්න කළේ, රට ආර්ථික අර්බුදයකට ඇද දැමූ දේශපාලනඥයින් නිදැල්ලේ සිටියදී ජනතාවට දඬුවම් කරන්නේ මන්දැයි යනුවෙනි.

"මිනිස්සු කරපු වරදක් නෙවෙයි. ආණ්ඩු කරපු වරදවල්වලට මිනිස්සු දුක් විඳිනවා," ඔහු තවදුරටත් සඳහන් කළේ ය.

සාධාරණ සහ විනිවිද බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැවසුව ද රජයෙන් තමවත් එවැන්නක් දක්නට නොලැබෙන බව වසන්ත බීබීසී සිංහල සමග වැඩිදුරටත් පැවසීය.

'බදු අය කළාට කමක් නෑ... මිනිස්සුන්ට ආපිට ලැබෙනවා නම්'

මහේෂ් ද වසන්තට සමාන අදහස් පළ කරමින් පෙන්වා දුන්නේ, රජයේ බදු ප්‍රතිපත්තියේ විනිවිදභාවයේ ගැටලුවක් නිරීක්ෂණය වන බව ය.

මහේෂ් යනු, මේ වන විට සිය 30 හැවිරිදි විය පසු කරමින් සිටින, මෙරට ව්‍යාපාර සහ ගිණුම් ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නිරත අවිවාහක තරුණයෙකි. ඔහු පාසල් අධ්‍යාපනය අවසන් කර ඉතා කෙටි කලකින් රටේ ආර්ථික ක්‍රියාවලියට දායක වන අයෙකු බවට පත්විය.

ඔහු ඒ බව සඳහන් කළේ, මෑතකදී බීබීසී සිංහල විසින් පළ කරන ලද, 'ජනතාව අධික ආදායම් බදු ගෙවද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 'ඉතා අඩු' බද්දක් අය කෙරෙන්නේ ඇයි?' ලිපිය උපුටා දක්වමිනි.

"විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොක ද අපි ළඟදී තමයි දන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුගේ වැටුපට එකතුවෙන දීමනාවලට බදු [අඩුයි] කියලා. ඒ උණාට සාමාන්‍ය මනුස්සයෙකුගේ මාසික ආදායමට බදු ගහනවා. මොන දීමනාව හම්බ වුණත්. ඒක සාධාරණ නැහැ," ඔහු අවධාරණය කළේ ය.

රටක් පවත්වා ගෙන යාම සඳහා බදු අවශ්‍ය බවට ජනතාව ලෙස තමන්ට අවබෝධයක් ඇති නමුත් තමන්ගෙන් අය කර ගන්නා බදු මුදල්වලින් තමන්ට ලැබෙන්නේ මොනවා ද යන්න ගැන ගැටලුවක් පවතින බව මහේෂ් තවදුරටත් බීබීසී සිංහල සමග පැවසීය.

"කපා ගන්න බදුවලින් අපිට මොනවා ද ලැබෙන්නේ? ඒ දේට කෙලින් උත්තරයක් දෙන්න කාටවත් බැහැ. නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙනවා කියන්න පුළුවන්. අධ්‍යාපනය හම්බ වෙනවා කියන්න පුළුවන්. නමුත් ඒවායේ කිසි ම දියුණුවක් පේන්න නැහැ. ඒ හම්බ වෙන සෞඛ්‍ය සේවාවේ කොච්චර ප්‍රශ්න තියෙනවා ද කියලා මෑතකදී අහපු ප්‍රවෘත්තිවලින් හිතා ගන්න පුළුවන්," ඔහු පැවසීය.

මාසික වේතනයක් ලබන කෙනෙකුගේ වේතනය ගිණුමට බැර වන අවස්ථාවේදී ම බදු අය කර ගත්ත ද ව්‍යාපාර සඳහා ලාභයට බදු අය කිරීම ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේ ය.

"ව්‍යාපාරවල බදු ගහන්නේ ලාභයට. ආදායමට නෙවෙයි. ඒ ආදායමෙන් ඒ ගොල්ලන්ට ඕනේ තරම් වැඩි වියදම් පෙන්නලා, ලාභය අඩුවෙන් පෙන්නලා බදු අඩුවෙන් ගෙවන්න හැකියාව තියෙනවා," මහේෂ් පැවසීය.

'අස්වැසුම' ගැන කතිකාවතක්

A screenshot of a Facebook post related to Aswesuma.

තමන්ගෙන් අය කර ගන්නා බදු මුදල්වලින් ආධාර සහ "උපකාර අවශ්‍ය නොවන" පුද්ගලයින් සඳහා 'අස්වැසුම' ආදී වැඩසටහන් මගින් මුදල් ලබා දීම නොකළ යුත්තක් බව ඇතැම් පිරිස් පවසති.

සමාජ මාධ්‍ය තුළ මේ දිනවල මේ සම්බන්ධයෙන් කතිකාවතක් ද නිර්මාණය වී තිබේ.

ශුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙබ් අඩවියට අනුව, ජූනි මස අස්වැසුම ලබන මුළු පවුල් සංඛ්‍යාව 1,430,775කි. ඒ සඳහා රජය වෙන් කර ඇති මුදල 11,339,507,500ක් බව ද එම වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ, කිසිදු "මහන්සියකින් තොරව" අස්වැසුම ප්‍රතිලාභීන් රජයෙන් මුදල් ලබා ගන්නා බවත්, මහන්සි වී මුදල් උපයන තමන්ගෙන් රජය අධික ලෙස බදු අය කර ගන්නා බව ත් ය.

බීබීසී සිංහල සමග අදහස් දක්වමින් මහේෂ් පෙන්වා දුන්නේ, සහනාධාර ලබා දීම රටකට එතරම් ශුභදායක නොවන බව ය.

"එතකොට මිනිස්සු ඒකට පුරුදු වෙනවා. අපි හදන්න ඕනේ ඒ වගේ දේකට මුදල් යොදවනවා නම් මාසෙකට දීමනාවක් දෙන්නේ නැතුව, ඒ මිනිස්සුන්ට ගොඩ යන්න පුළුවන් විදිහට දෙයක් හදන්න. මොකක් හරි කර්මාන්තයක් ඇති කරලා, ඒ මිනිස්සුන්ව ඒකට දායක කර ගෙන, ඒ මිනිස්සුන්ට වැටුපක් ලැබෙන විදිහට දෙයක් කරන්න," ඔහු පැවසීය.

"මේ රජය විතරක් නෙවෙයි, හැම රජයක් ම සහනාධාර වැඩපිළිවෙළවල් ගෙනි යන්නේ, ඒ කියන්නේ, දුප්පත් මිනිස්සුන්ට සල්ලි දෙන එක කරන්නේ, මගේ පෞද්ගලික මතය, ඒ අයගේ ඡන්ද පදනම වැඩි කර ගන්න," මහේෂ් සඳහන් කළේ ය.

විය යුත්තේ, එලෙස ආධාර ලබන පුද්ගලයින් ද "රටේ ආර්ථික ක්‍රියාවලියට දායක වෙන වැඩපිළිවෙළක්," නිර්මාණය කිරීම බව ඔහු පැවසීය.

'අපි ගන්නකොට තිබ්බ ආර්ථික තත්ත්වය එක්ක සියලු බදු අයින් කරලා මේ වැඩේ කරන්න බැහැ'

ජනතාව නගන මැසිවිලි සම්බන්ධයෙන් විමසීම සඳහා බීබීසී සිංහල කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

ඒ අනුව, අපි මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෞෂල්‍යා ආරියරත්නගෙන් විමසීමක් කළෙමු.

ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ, තමන් රජය භාර ගැනීමේදී පැවති ආර්ථික තත්ත්වය සමග "සියලු බදු" ඉවත් කර ඉදිරි කටයුතු කර ගෙන යාම කළ නොහැක්කක් බව ය.

"අපි ගන්නකොට තිබ්බ ආර්ථික තත්ත්වය එක්ක සියලු බදු අයින් කරලා මේ වැඩේ කරන්න බැහැ. අපි හැම වෙලේ ම උත්සහ කරන්න ඕනේ, ඉස්සරහටත් අපේ ප්‍රතිපත්තිය තමයි, පුළුවන් තරම් වක්‍ර බදු අඩු කරමින් ඍජු බදු වැඩි කරමින් යන්න. අපි ඒ සඳහා ගොඩාක් පියවර අරගෙන තියෙනවා," ඇය පැහැදිලි කළා ය.

"බදු ගෙවන තැන ඉඳලා, බදු ගෙවන ක්‍රියාවලියේ ඉඳන්, බදු නොගෙවන අය දැලට අහු කර ගන්න තැනේ ඉඳලා ම අපි බදු ප්‍රතිපත්තිය මුල ඉඳන් හදන්න පටන් අරන් තියෙනවා. ඒකට ටික කාලයක් යනවා," ඇය තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත් බදු ප්‍රතිපත්තියේ විනිවිදභාවයක් නොමැති බවට නගන චෝදනා පිළිගත නොහැකි බව ඇය සඳහන් කළා ය.

"විනිවිදභාවයක් නැහැ කියන්න බැහැ. ඒ හැම එකක ම අරමුණ පැහැදිලි කරලා, බදු අපේක්ෂා කරන්නේ කොච්චර ද ඒ වගේ අපි හැම විට ම ජනතාවට පැහැදිලි කරනවා. එක ම දේ සමහර වෙලාවට සමහර බදු ගත්තා ම ඒවා පහු වෙලා එන්න හේතුව තමයි විවිධ තාක්ෂණික කාරණා. හැබැයි ඒ හැම එකක් ම අය-වැය පැහැදිලි කිරීමේදී මේ බදු ගහන්නේ ඇයි? මේ බදුවල අරමුණ මොකක් ද කියන එක ගැන පැහැදිලි කිරීම් කරලා තියෙනවා," මන්ත්‍රීවරිය පැහැදිලි කළා ය.

ඇය පෙන්වා දුන්නේ ජනතාව එලෙස ප්‍රශ්න කරන්නේ, අතීතයේ සිදු වූ සිදුවීම් පදනම් කර ගනිමින් බව ය.

"විනිවිදභාවයක් නැහැ කියලා මිනිස්සු දිගට ම පැමිණිලි කරන්නේ, බදු අය කරලා, ඒ බදු පාවිච්චි කළේ මොනවට ද කියලා ඉතිහාසය අපිට පාඩමක් උගන්නලා තියෙනවානේ. අන්න එක දැන් අපි නැති කරලා තියෙනවා. පැහැදිලිව ම බදු වියදම් කරද්දී බොහෝ ම කල්පනාවෙන්, රජයේ වියදම් අඩු කරමින්, පුළුවන් හැම තැනදී ම ජනතාවට සහන දෙමින් නේ යන්නේ," ඇය තවදුරටත් පැවසුවා ය.

'සියලු ගනුදෙනු රෙකෝඩ් වෙන සිස්ටම් එකක් හදා ගෙන යනවා'

මේ අතර, ඇතැම් වෘතිකයින් බදු ගෙවීම පැහැර හැරීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බවට පළ වන ප්‍රකාශ පිළිබඳවත් ඔවුන් බදු දැලට හසු කර ගැනීමට රජය ගෙන ඇති පියවර පිළිබඳවත් බීබීසී සිංහල පාර්ලිමේන්තු මන්ත්‍රී කෞෂල්‍යා ආරියරත්නගෙන් ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ, පුද්ගලයින් වශයෙන් වෙන් වෙන්ව නොව ඔවුන්ගෙන් බදු අය කර ගැනීම සඳහා ප්‍රතිපත්තියට අනුකූල වැඩපිළිවෙළක් සැකසිය යුතු බව ත් ඊට අදාළ සාකච්ඡා සිදුවෙමින් පවතින බව ත් ය.

"අපි උත්සහ කරනවා මේ ඩිජිටල්කරණය හරහා අපේ සියලු ගනුදෙනු ඔන්ලයින් කරන්න සහ, ඒවා රෙකෝඩ් වෙන සිස්ටම් එකක් හදා ගෙන යනවා. තේරුම් ගන්න ඕනේ කාරණය තමයි මේවා එක රැයින් කරන්න පුළුවන් වෙනස්කම් නෙවෙයි. කාලයක් තිබුණා නේ තෝරා ගත් අයට තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක නවත්තලා සියලු ම බදු නොගෙවන ව්‍යාපාර ඒවා බදු දැලට අහු කර ගන්න නීතිමය කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා," ඇය පැහැදිලි කළා ය.

"ඊට අමතර, මේ මේ කේෂ්ත්‍රවල අය බදු ගෙවන්නේ නැහැ කියලා චෝදනා සමාජයේ තියෙනවා. ඒ වෙනුවෙන්, එක එක්කෙනා අල්ලා නෙවෙයි, සමස්ත ප්‍රතිපත්තියට අනුකූල වැඩක් ඉස්සරහට හදන්න වෙනවා. ඒ ගැන සාකච්ඡා කරමින් යනවා. මට මේ අවස්ථාවේ කියන්න බැහැ මේ ගොල්ලන්ට බදු ගහනවා කියලා. මොක ද අපි පුද්ගල කණ්ඩායම්වලට වඩා ප්‍රතිපත්තිමය වශයෙන් සියලු දෙනා බදු ගෙවීමේ තැනකට ළඟා කර ගන්නේ කොහොම ද කියන එක ගැන තමයි හිතන්න ඕනේ," මන්ත්‍රීවරිය පෙන්වා දුන්නා ය.

බදු පනවා ජනතාව පීඩාවට පත් කළ යුතු ය, යන ස්ථාවරයේ රජය නොමැති බව ත් ඉදිරියේදී ආදායම් තත්ත්වය සහ බදු ආදායමේ තත්ත්වය අනුව සහන ලබා දීමට බලාපොරොත්තු වන බව ත් ඇය තවදුරටත් පැවසුවා ය.

"රජයක් හැටියට බදු ගහලා මිනිස්සු පීඩනයට පත් කරන්න ඕනේ කියන තැන අපි නැහැ. අපි දන්නවා බදු ගෙවන එක අමාරුයි. ඒක කිසිසේත් ම අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. බදු අඩු වෙලා මහජනතාව සහනයෙන් ඉන්නවා කියලා මායාවකත් අපි නැහැ.

සමහර දේවල්වලදී අපිට සීමාවලට යන්න සිද්ධ වුණා. ලක්ෂ දෙකක් කිව්වනේ අපි උපයන විට ගෙවන බද්ද. හැබැයි අපිට දෙකට යන්න බැරි වුණා. නමුත් අපි එකයි පනහට ගියා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේක හැමදාම එකයි පනහේ තියේවි කියලා. අපි ඉදිරියට අපේ තියෙන ආදායම් තත්ත්වය සහ අපේ බදු ආදායමේ තත්ත්වය අනුව ඒ සහන ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා," ඇය බීබීසී සිංහල වෙත වැඩිදුරටත් පැවසුවා ය.