ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධිය: අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කවුද?
අතුරුගිරිය ප්‍රදේශයේ පසුගිය සඳුදා ( ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 7 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (ජුලි 10 වැනිදා) නියෝග කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ, සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවය.
අතුරුගිරිය ප්‍රදේශයේ දී ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදී සිදුකළ වෙඩි තැබීමෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මේ අතර ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගේ බිරිඳ ගේ අත්බෑගයේ තිබී හමුවූ රිවෝල්වර් වර්ගයේ ගිනි අවියට බලපත්‍රයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් පැවසුවේය
මේ සැකකරුවන් කවුද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අවුරුදු 24 සිට 37 දක්වා වූ වයස් කාණ්ඩවල පසුවන පුද්ගලයින් බව ය.
එලෙස අත්අඩංගුවට පත්වූ සැකකරුවන් අතර වෙඩි තැබීම සිදුවූ ස්ථානය වන ටැටූ ෂොප් ආයතනයේ හිමිකරු, වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය අම්බලන්ගොඩ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන පැමිණි සැකකරුවන් දෙදෙනෙකු, එම මෝටර් රථය අපරාධය සිදුකිරීමට පෙර සිය නිවස පිහිටි ඉඩමේ තබාගෙන සිටි සැකකරුවෙකු, අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරුවන්ට පලා යාමට භාවිත කළ වෑන් රථය තබාගෙන සිටි සැකකරුවෙකු ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
පොලිසිය භාරයට ගෙන ඇති භාණ්ඩ මොනවා ද?
අපරාධය සිදුකිරීමෙන් පසු සැකකරුවන් පලා ගිය ව්‍යාජ අංක තහඩු යෙදු මෝටර් රථය සහ වෑන් රථය, ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ ජංගම දුරකථනය විමර්ශන නිලධාරින් විසින් සිය භාරයට ගෙන ඇති බව ද පොලිසිය පැවසීය.
මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් (ජුලි 9) මාධ්‍යට පැවසුවේ මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් සියලු දෙනා ද ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගන්නා බව ය.
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු පුද්ගලයින් දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ දී (ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව බීබීසී සිංහල වෙත පැවසුවේ, "දැනට මේ ටැටූ ෂොප් එකේ හිමිකරු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.එම ප්‍රකාශ අනුවත් විමර්ශන නිලධාරින් ඉදිරි විමර්ශන කරනවා." යනුවෙනි.
"දැනට නිරීක්ෂණය වෙන කරුණක් තමයි මේ වෙඩි තැබීම විදෙස් රටක ඉදලා සැලසුම් කරල තියෙනවා කියන එක." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිඳ හෝමාගම රෝහලේදී ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් අනතුරුව කළුබෝවිල රෝහලට මාරු කොට යවා ඇති බව රෝහල් බලධාරීන් පැවසීය.
එමෙන්ම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ගායිකා කේ. සුජීවා ගේ පාදයකට වෙඩි වැදීම නිසා සිදුකළ ශල්‍යකර්මයෙන් පසු මේවන විට නේවාසික ප්‍රතිකාර ලබන බවත් ඇයගේ පාදයේ ස්ථාන දෙකකට බරපතල තුවාල සිදුවී ඇති බවත් රෝහලේ ප්‍රකාශිකාවක් බීබීසී සිංහල වෙත පැවසුවාය.
අතුරුගිරියේ වෙඩි තැබීමෙන් මිය ගිය ව්‍යාපාරිකයා කවුද?
අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ දී (ජුලි 8 වැනිදා) සිදුවූ වෙඩිතැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත හෙවත් 'ක්ලබ් වසන්ත' ඇතුළු තවත් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
එම වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලැබීය.
තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද වන අතර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී රෝහල් ප්‍රකාශිකාවක් බීබීසී සිංහල වෙත පැවසුවේ ඇයගේ පාදයේ කලව ප්‍රදේශයට වෙඩි පහරක් එල්ලවී ඇති බව ය.
සිදුවුයේ කුමක් ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් සඳහා පැමිණ සිටි අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව ය.
"අතුරුගිරිය හංදියේ ඉදල ඔරුවල ප්‍රදේශයට යන මාර්ගයේදී තමයි මේ සිදුවීම් වෙලා තියෙන්නේ."
"ටැටූ ෂොප් එකක් විවෘත කිරීමට සහභාගි වෙලා ඉන්න අවස්ථාවේදී තමයි කාර් රථයකින් ආපු වෙඩික්කරුවන් මේ අපරාධය සිද්ධ කරලා තිබෙනවා කියලා දැනට මුලික තොරතුරු ලැබිලා තියෙන්නේ."
"සිදුවීමෙන් තුවාල ලබලා තියෙනවා 06 දෙනෙක්. ඔවුන් අතර ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත , ගායිකාවක් වන කේ.සුජීවා ඉන්නවා කියලා දැනුම් දීලා තිබෙනවා."
"ඔවුන්ව හෝමාගම සහ කොළඹ ජාතික රෝහල් වලට ඇතුළත් කරලා තියෙනවා."
"දැනට තිබෙන තොරතුරු අනුව ව්‍යාපාරිකයෙක් වන සුරේන්ද්‍ර වසන්ත මියගිහින් තිබෙනවා."
"සිද්ධිය ගැන මුලික විමර්ශන සිදුකරනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
'ක්ලබ් වසන්ත' කියන්නේ කවුද ?
කෝටිපති ව්‍යාපාරිකයෙකු ලෙස සැළකෙන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් 'ක්ලබ් වසන්ත' සිය ව්‍යාපාර දිවිය ආරම්භ කරන්නේ නුවරඑලිය ප්‍රදේශයේ පිහිටි 'සන්හිල්' නැමති හෝටලයකින්ය.
සන්හිල් ව්‍යාපාරයේ සභාපතිවරයා වන වසන්ත පෙරේරා නුවරඑලිය, කොළඹ ඇතුළු නගර කිහිපයකම හෝටල් සහ කැරකෝ සමාජ ශාලා හිමිකරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නේ 1990 දශකයේ සිටය.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මෙරට ජනතාව අතර වඩාත් කතා බහට ලක්වූ චරිතයක් බවට පත්වුයේ 2019 වසරේදී ඩුබායි හිදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වූ සිදුවීමෙන් පසුවය.
එහිදී ඔහු පවසා සිටියේ මාකඳුරේ මධුෂ් තමාගේ මිතුරෙකු නොවන බවය.
එමෙන්ම මීට දෙවසරකට පමණ පෙර ක්ලබ් වසන්ත පැළඳි 'රත්තරන් පාට සපත්තුවක්' ගැන ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළකරන ලද පොස්ටුවකට ද උණුසුම් ප්‍රතිචාර හිමිවූ අතර, සිය 'රන් සපත්තුව' ගැන වසන්ත කමෙන්ටුවක් ද පළ කර තිබුණි.
"ඇත්තටම එහෙම ලොකුකමකට දැම්මා නෙවෙයි, දකින්න නොලැබෙන දෙයක් නිසා දැම්මේ. ලොකු කමකට දානවා නම් හිතන්න බැරි දේවල් මට දාන්න පුළුවන්." එහිදී ඔහු සඳහන් කර සිටියේය.
විවිධ සමාජ සත්ක්‍රියා කරන අයෙකු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් උසුලන ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 06 කට ආසන්න පරිශීලකයින් පිරිසක් ද සිටියි.
දරුවන් සිව්දෙනෙකු ගේ පියෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අතුරුගිරියේ දී සිදුවූ වෙඩි තැබීමෙන් මියයන විට 55 හැවිරිදි වියේ පසු විය.
'විදේශ රටක සිට සැලසුම් කර ඇති බවට නිරීක්ෂණය වනවා'
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ක්‍රියාත්මක කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව පැවසුවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම සිදුවීම විදේශ රටක සිට සැලසුම් කර ඇති බවට නිරීක්ෂණය වන බවය.
"දැනට අපිට නිරීක්ෂණය වනවා මේ වෙඩි තැබීම විදේශ රටක සිට සැලසුම් කරන්නට ඇති කියලා."
"ඒ ගැන විමර්ශන නිලධාරීන් ගේ අවධානය යොමු වෙලා තියෙනවා."
"මේක යම් කිසි කණ්ඩායම් දෙකක් අතර ඇතිවී තිබුණු මතභේදයක් නිසා සිදුකළ වෙඩි තැබීමක් වෙන්නට ඇති කියලා දැනට සැක කරනවා."
“මේ වෙඩි තැබීම සඳහා ටී -56 වර්ගයේ ගිනි අවි දෙකක් උපයෝගී කරගෙන තියෙනවා."
"වෙඩි තැබීමෙන් පස්සේ කාර් රථයෙන් කඩුවෙල දෙසට ගමන් කරලා කොරතොට ප්‍රදේශයේ දී ඒ රථය අත්හැරලා වෙනත් රථයකින් ගිහින් තියෙනවා කියලා නිරීක්ෂණය වෙන්නේ."
"දැනට මේ අපරාධය සිදුකළ පුද්ගලයින් කවුද කියලා හෙළිවෙලා නැහැ. ඒත් විමර්ශන නිලධාරීන්ට යම් හෝඩුවාවන් කිහිපයක්ම ලැබිලා තියෙනවා. ඒ හැම කරුණක් ගැනම අවධානය යොමු කරනවා."
"වෙඩි තැබීම සිදුවුණු ස්ථානයේ තිබිලා රිවොල්ර් වර්ගයේ ගිනි අවියක් හම්බ වෙලා තියෙනවා. ඒ ගිනි අවිය තිබිලා තියෙන්නේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගේ බිරිඳ ගේ අත් බෑගයේ තිබිලා. ඒ ගිනි අවිය බලපත්‍ර සහිත එකක්ද කියලා විමර්ශනය කරනවා. ඒ ගිනි අවිය දැනට පොලිසියේ භාරයේ තියෙනවා."
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
වෙඩි උණ්ඩවල කෙටු අකුරු
මේ අතර අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියට යොදා ගත් වෙඩි උණ්ඩ වල අකුරු තුනක සලකුණු යොදා තිබීම ගැන ද පොලිසියේ අවදානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
"එවැනි සලකුණක් තියෙනවා වෙඩි තැබීමට යොදා ගත් උණ්ඩවල. KPI කියන අකුරු උණ්ඩවල තිබුනත් ඒකෙ තේරුම මොකක්ද කියලා අපිට නිශ්චිතවම දැනට කියන්න බැහැ. නමුත් අපි ඒ ගැනත් විමර්ශනය කරනවා."
‘චිකාගෝ වගේ එනවා වෙඩි තියනවා යනවා’
මේ අතර වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය සඳහා කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ටි.පී.ජී. කරුණාරත්න පැමිණි අතර එහිදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට පැවසුවේ හැකි ඉක්මණින් මෙම අපරාධය සිදුකළ පිරිස් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙසයි.
"මෙච්චර ජනාකීර්ණ තැනක සිද්ධ වුණ මේවගේ සිද්ධියක් නිසා මුළු රටම හෙල්ලුම්කාපු සිද්ධියක් මේක."
"වහාම අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න. නැත්නම් පොලිස් දෙපාර්තමේන්තුවටත් ලැජ්ජයි. මහා දවල් මේ වෙන්නේ. මේක නිකම් චිකාගෝ වගේ. ඉක්මනටම හොයන්න, මේක හරි භයානක සිද්ධියක්."
"ජනතාව කිසිම කෙනෙකුට ආරක්ෂාවක් නැහැ නේ. ආවා තිබ්බා ගියා." කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් පැවසුවේය.
මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් මියගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිඳ සහ ගායන ශිල්පිනි කේ. සුජීවා මේ වන විටත් හෝමාගම රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය බීබීසී සිංහල වෙත පැවසීය.
එම කාන්තාවන් දෙදෙනා ශල්‍යකර්ම වලට ලක් කර තිබේ.
මේ අතර බුලත්සිංහල ප්‍රදේශයේ දී අත්හැර දමා ගොස් තිබු අංක තහඩු රහිත සැක කටයුතු වෑන් රථයක් පොලිසියට හමුවී තිබේ.
ඒ ගැන විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.