පූජ්‍ය කළපළුවාවේ ධම්මරතන හිමි ඝාතනය: මෙතෙක් අප දන්නේ මොනවාද?

රට තුළ දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය සහ සංවිධානත්මක අපාරාධ මැඩලීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ආරම්භ කරන ලද යුක්තියේ මෙහෙයුම මේවන විට රටපුරා ක්‍රියාත්මක වෙමින් පවතියි.

ඒ අනුව රටපුරාම පාහේ ආරක්ෂාව තරකර ඇති අතර වාහන හා බස් රථ සෝදිසි කිරීම් ඇතුළුව පොලිස් මෙහෙයුම් දැඩි කර ඇත.

එවන් පසුබිමක (ජනවාරි මස 23 වැනිදා) මෝටර් රථයකින් පැමිණි පිරිසක් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කිරීමේ සාහසික සිද්ධියක් වාර්තාවුයේ ගම්පහ, මල්වතු හිරිපිටිය ප්‍රදේශයෙනි.

නාදුනන තුවක්කුකරුවෙකු විහාරස්ථානය තුළදීම එල්ල කළ වෙඩි පහරකින් අපවත්වුයේ 45 හැවිරිදි වියේ පසුවූ පූජ්‍ය කළපළුවාවේ ධම්මරතන නැමති හිමිනමකි.

වෙඩි තැබීම සිදුවන්නේ කෙසේද?

ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන, ඝනාරාම මහා විහාරස්ථානයේ වැඩසිටි හිමිනමකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුයේ (ජනවාරි 23 වැනිදා) දහවල් 12 ට පමණය.

ජ්‍යෝතිෂ්‍ය කටයුතු වල නිරතවන බව පවසන මෙම හිමිනම සහ උන්වහන්සේ වැඩසිටි විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු තවත් හිමිනමක් දහවල් දානය වළදමින් සිටින අවස්ථාවේදී මෝටර් රථයකින් විහාරස්ථානයට පුද්ගලයින් සිව්දෙනෙකු පැමිණි බවත් ඉන් එක් අයෙකු වෙඩි තැබීම සිදුකළ බවත් සිද්ධිය ඇසින් දුටු පුජ්‍ය ගල්කුලමේ චන්දවිමල හිමියන් මාධ්‍ය වෙත පැවසුවේය.

"පන්සලේ ලොකු හාමුදුරුවොයි, මමයි ඒ හාමුදුරුවොයි දානේ වළඳන ගමන් හිටියේ. එක පාරටම තුන් දෙනෙක් ඇවිල්ලා ඇහුවා වෙලාව බලන හාමුදුරුවෝ ඉන්නවද කියලා. ලොකු හාමුදුරුවෝ කිව්වා වෙලාව බලන වෙලාව නම් ඉවරයි කියලා. එතකොට එක වෙනකම් බලනවා නේද කියලා ඇහුවා. එතකොට ලොකු හාමුදුරුවෝ කිව්වා 11.30 වෙද්දී බලලා ඉවරයි කියලා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ ඇහුවා ඔයාලා කොහෙද කියලා. එතකොට කිව්වා අතුරුගිරියේ ද කොහෙද කියලා."

"පස්සේ කන්දේ හාමුදුරුවන්ගෙන් (ඝාතනයට ලක්වූ හිමිනම) ඇහුවා මේ කට්ටියක් ඇවිල්ලා ඉන්නවා මොකද කරන්නේ කියලා. එතකොට උන්වහන්සේ කිව්වා ටිකක් උඩහට වෙලා ඉන්න. මම එන්නම් කියලා. එහෙම කියලා ඉවර වෙනවත් එක්කම ටී-56 ගිනි අවියක් එක්ක එක්කෙනක් මෙතන කොට තාප්පෙන් පැනලා ඇවිල්ලා කිව්වා ' අපි CID එකෙන්. කුඩු තියෙනවා කියලා ඔත්තුවකට ආවේ. හෙල්ලෙන්න එපා වෙඩි තියෙනවා කිව්වා."

"එහෙම කියද්දී පන්සලේ ඉන්න බල්ලා ඉන්නවා. එයා පන්සලේ අපිට කරදරයක් නම් බුරාගෙන පනිනවා. බල්ලා පැන්න නිසා අර කට්ටිය එලියට ගියා. පස්සේ පන්සලේ උදව්වට ඉන්න කෙනාව අල්ලන් එයාට ගහලා ඇහුවා අර හාමුදුරුවන්ගේ කාමරේ තියෙන්නේ කොහෙද කියලා. "

"පස්සේ අපි ඒ අය ගියාද කියලා බලන්න එලියට ආවම එකපාරටම ඇවිල්ලා උඩට වෙඩි දෙකක් තිබ්බා. ඊට පස්සේ අපේ පැත්තට තුවක්කුව දික් කළා. ඒ එක්කම හාමුදුරුවෝ අම්මෝ කියාගෙන වැටුණා. පස්සේ අපි හාමුදුරුවන්ව ගම්පහ රෝහලට අරන් ගියා. එතකොටත් උන්වහන්සේ අපවත් වෙලා." පුජ්‍ය ගල්කුලමේ චන්දවිමල හිමියන් කියා සිටියේය .

වෙඩි ප්‍රහාරයට ලක්ව අපවත්වී වදාළ පූජ්‍ය කළපළුවාවේ ධම්මරතන හිමි වැඩසිටින විහාරස්ථානය වැලිවේරිය කිරිකිත්ත ප්‍රදේශයේ පිහිටා තිබුණද උන්වහන්සේ සතියේ ඇතැම් දිනවලට කහටාන, ශ්‍රී ඝනාරාම විහාරස්ථානයට වැඩම කරන්නේ තමන්වහන්සේ විසින් සිදුකරන ජෝතිෂ්‍ය කටයුතු වෙනුවෙන් බව බීබීසී සිංහල සේවයට කරුණු අනාවරණය විය.

ඝාතනයට හේතුව කුමක් ද?

මෙම ඝාතනය සම්බන්ධයෙන් විවිධ අදහස් පළවුවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව බීබීසී සිංහල වෙත පැවසුවේ පෞද්ගලික කෝන්තරයක් මත මෙම හිමිනම ඝාතනය කරන්නට ඇති බවට සැකකරෙන බවය.

එහතේ ඒ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් මෙතෙක් අවසන් නිගමනයකට එළඹ නොමැති බව ඔහු සඳහන් කළේය.

රට පුරා ක්ෂණික මාර්ග බාධක යෙදවීම්, අහඹු පරීක්ෂා කිරීම් ඇතුළු අපරාධ මර්දන සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක මෙවැනි මොහොතක පැය 48ක් වැනි කාලයක් තුළ සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම් දෙකකින් පුද්ගලයින් පස් දෙනෙකු සහ භික්ෂුන් වහන්සේ නමක් ඝාතනයට ලක්වීම ගැන මහජනතාව වෙත ඇත්තේ දැඩි ප්‍රශ්නාර්ථයකි.

'උන්වහන්සේට තර්ජනය කරලා යමක් ඉල්ලා තිබෙනවා'

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව බීබීසී සිංහල සේවයට පැවසුවේ දැනට වාර්තා වී ඇති තොරතුරු අනුව විහාරස්ථානයට පැමිණි මෙම පුද්ගලයින් සිව්දෙනා ඝාතනයට ලක්වූ හිමියන්ට තර්ජනය කර යමක් ඉල්ලා ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි.

“විහාරස්ථානයට ආපු සිව්දෙනා ස්වාමින්වහ්න්සේව තමයි හොයලා තියෙන්නේ. පස්සේ උන්වහන්සේව හම්බ වෙලා තර්ජනය කරලා යමක් ඉල්ලු බවට තමයි තොරතුරු අනාවරණය වෙන්නේ. නමුත් උන්වහන්සේ ඒ පැමිණි පිරිස සමග යම්කිසි කතාබහක යෙදිලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ අතේ ටී-56 වර්ගයේ ගිනි අවියක් තිබු බවට තොරතුරු තිබෙනවා. ඒ ගිනි අවියෙන් අහසට වෙඩි තැබීමක් කර තිබෙනවා."

"පස්සේ මේ ස්වාමින් වහන්සේගේ ශරීරය දෙසට එක වෙඩිල්ලක් තබලා තියෙනවා. උන්වහන්සේ වහාම රෝහල් ගත කරනු ලැබුවත් එහිදී උන්වහන්සේ අපවත්වී තිබෙනවා."

"මේ සැකකරුවන් කාර් රථයකින් පැමිණි තියෙනවා, ඒ වගේම ඔවුන් ව්‍යාජ අංක තහඩුවක් සහිත කාර් රථයකින් පැමිණි බවට නිරීක්ෂණය වෙලා තියෙනවා. සැකකරුවන් මෙතෙක් හඳුනා ගෙන නැහැ. ඒ එක්කම මේ පැමිණි සැකකරුවන් යම් පුද්ගලික ආරවුලක් මත මේක සිදුකරන්න ඇත්දැයි සැකකරනවා. මොකද මේ ස්වාමීන් වහන්සේ ගුරුකම් වැනි යන්ත්‍ර මන්ත්‍ර ජෝතිෂ දේවල් සිදුකරනවා. පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරනවා."

මෙම සිදුවීමට අදාලව පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදවා තිබෙනවා. ඒ එක්කම දුරකථන දත්ත විශ්ලේෂණය කිරීම් සහ CCTV රුප රාමු පරීක්ෂා කිරීම් සිදුකරනවා." පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

සැකකරුවන් පැමිණි මෝටර් රථය ගැන අනාවරණයක්

කඩුවෙල , ගොඩැල්ල ප්‍රදේශයේ ලඳු කැළෑවක තිබී සැකකරුවන් පැමිණි මෝටර් රථය (ජනවාරි 23 වැනිදා) පස්වරුවේ සොයා ගැනීමට පොලිසිය සමත් වූ අතර ඒ වන විටත් එය ගිනි තබා තිබු බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය බීබීසී සිංහල සේවයට අද (ජනවාරි 24 වැනිදා) පැවසුවේ ගිනි තබා තිබු එම මෝටර් රථය ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයේදී හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි බව කියන මෝටර් රථය බවට කරුණු අනාවරණය වූ බවයි.

ඔත්තුවකට පොලිසියෙන් මුදල් තෑගී

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුම මගින් සිදුකරන සාර්ථක අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් එම තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය.

ඒ අනුව T-56, AK-47 ඇතුළු ස්වයංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය වර්ගයේ ගිනි අවි සොයා ගැනීමේදී තොරතුරු ලබාදෙන පුද්ගලයාට රුපියල් දෙලක්ෂ පනස්දහසක ත්‍යාගයක් හිමිවේ.

එමෙන්ම රිවොල්ර් ගිනි අවියක් සැකකරු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්‍ෂ එකහමාරක්ද, සැකකරු නොමැතිව අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂයක මුදලක් ද නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයාට ගෙවීමට නියමිතය.

රිපිටර් වර්ගයේ ගිනි අවියක් සැකකරු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 50,000ක් ද සැකකරු නොමැතිව සොයා ගැනීමේදී රුපියල් 25,000ක් ගෙවිමට නියමිතයි.

විදේශ රටවල නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් සැකකරු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 15,000ක් ද, සැකකරු නොමැතිව සොයා ගැනීමේදී රුපියල් දස දහසක් ගෙවීමට නියමිතය.

මේ අතර විදේශයන්හි නිෂ්පාදිත අත්බෝම්බයක් සැකකරු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 25,000ක් ද, සැකකරු නොමැතිව සොයා ගත් විට රුපියල් 15,000ක් ගෙවීමට නියමිතයි.

මේ අතර දේශියව නිෂ්පාදනය කළ අත්බෝම්බයක් සැකකරු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් 15,000ක් සහ සැකකරු නොමැතිව සොයා ගැනීමේදී රුපියල් දස දහසක් ගෙවීමට යෝජනා කර ඇත.

මෙම වැටලීම් සිදුකිරීමේදී තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ රහස්‍ය භාවය සම්පුර්ණයෙන් ආරක්ෂා කරන බවටද පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.