ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු වූයේ ඇයි? එය ඔහුට වාසි ද? අවාසි ද?
- Author, කුමුදු ජයවර්ධන
- Role, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ දේශපාලනය වර්තමානයේ දැඩි විපර්යාසයකට ලක්ව ඇති බව බොහෝ දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ.
රටේ මුල් බැසගෙන තිබුණු දැවැන්ත පක්ෂවල ආධිපත්‍යය බිඳ වැටෙමින්, පක්ෂ මුල් කර ගත් දේශපාලනය මේ වන විට අහෝසි වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
ඒ වෙනුවට, ස්වාධීන අපේක්ෂකයින් හෝ පක්ෂ කිහිපයක එකතුවක් නියෝජනය කරන අපේක්ෂකයින් මෙවර ජනාධිපතිවරණයේදී දක්නට ලැබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වසර 40කට අධික කාලයක් නියෝජනය කළ අලියා ලකුණ අතහැර මෙවර තරග කරන්නේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ය.
ඔහු, ශ්‍රී ලංකාවේ පැරණිතම දැවැන්ත දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් තරග නොකර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූයේ, ඇයි? එය ඔහුට වාසි ද? අවාසි ද?
මේ, ඒ පිළිබඳ විමසුමකි.
"රනිල් ස්වාධීන අපේක්ෂකයෙක් නෙවෙයි"
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස පෙනී සිටිය ද, රනිල් වික්‍රමසිංහ සැබවින් ම ස්වාධීන අපේක්ෂකයෙකු නොවන බව දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක පවසයි.
"රනිල් ඇත්තට ම ස්වාධීන අපේක්ෂකයෙක් නෙවෙයි. එතුමා වටේ ඉන්නවා දේශපාලන පක්ෂ රැසක්. හැබැයි ඒ සියලු පක්ෂ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ දුර්වල පක්ෂ."
රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම ඔහුට යම් වාසිසහගත තත්ත්වයක් පවතින බව මතුපිටින් පෙනුණ ද එහි සත්‍යතාවක් නැතැයි ආචාර්ය දයාන් ජයතිලක පෙන්වා දුන්නේ ය.
"එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂයක්. ඒ පක්ෂයෙන් රනිල් තරග කළා නම් ඔහුට ලොකු අවාසියක් වෙනවා. ඒ නිසා වෙන්න පුළුවන් ඔහු ස්වාධීනව ඉදිරිපත් වුණේ. ඒත් ඔහුට ඒකෙන් කිසි ම වාසියක් වෙන්නෙ නැහැ කියන එකයි මගේ අදහස. මොක ද ඔහු වටේ එකතු වෙලා ඉන්නෙ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලනික වශයෙන් අසමත් කණ්ඩායම් කිහිපයක්. ඒ නිසා ඔහුට ස්වාධීන අපේක්ෂකයෙකු වීම වාසියක් කියල මම හිතන්නෙ නෑ."
'මේකෙන් පේන්නෙ එක්සත් ජාතික පක්ෂයේ ඉරණම රනිල් පිළිගත්තා කියන එකයි'
රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ දක්වන්නේ වෙනස් අදහසකි.
ඔහු පෙන්වා දෙන්නේ, රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරග කිරීම තුළින් ඔහු නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය වැටී ඇති තැන පැහැදිලි වන බව ය.
"ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට තරග කරන්නේ ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂය අතිශයින් දුර්වල තත්ත්වයක පවතින නිසයි. මේ මොහොතේ දුර්වල ම සංවිධානාත්මක ශක්තියක් පෙන්නුම් කරන පක්ෂය තමයි, එක්සත් ජාතික පක්ෂය. ඒ නිසා ඔහුගේ මේ අපේක්ෂකත්වයෙන් මට නම් පෙනෙන්නේ, ඔහුගේ පක්ෂය දුර්වල බව ඔහු ම පිළිගෙන තිබෙනවා කියන අදහස යි. ඒ නිසා ඔහු ස්වාධීනව තරග කිරීමෙන් සැලකිය යුතු වාසියක් අත්වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ."
'රනිල් ස්වාධීන වීම ඉතාමත් වාසිසහගත යි' - රුවන් විජේවර්ධන
කෙසේ වෙතත්, මෙවර රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය වෙනුවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම ඉතාමත් වාසිසහගත බව පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසයි.
බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම නිසා රනිල් වික්‍රමසිංහට පාර්ශව රැසක සහයෝගය හිමි වී ඇති බව ය.
"රනිල් වික්‍රමසිංහ පසුගිය අවුරුදු දෙකේදී රට වෙනුවෙන් කරපු දේ ජනතාව දන්නවා. ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් තරග නොකර ස්වාධීනව ඉදිරිපත් වුණේ සියලු පාර්ශවවල සහය ලබා ගැනීමේ අරමුණින්. ඒක සාර්ථක පියවරක්."
ඒ අනුව, ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වශයෙන් තරග කරන්නේ ද, එසේ නැතහොත් සන්ධානගතව තරග කරන්නේ ද යන්න සලකා බලන බව ද නියෝජ්‍ය නායකවරයා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය අද සිටින තැන
මහාචාර්ය ජයදේව උයන්ගොඩ පෙන්වා දුන් පරිදි මෑත කාලීනව බරපතළ ම පරිහානියට ලක්වූ ප්‍රධාන දේශපාලන පක්ෂය, එක්සත් ජාතික පක්ෂය යි.
එහි හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු බහුතර පිරිසක් පක්ෂය හැරගොස් සමගි ජන බලවේගය නමින් නව පක්ෂයක් පිහිටුවා ගත් අතර, ඉන්පසු පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ, එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනයක් පමණි.
එම මන්ත්‍රී ආසනය නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත්විය.
ඉන්පසු, ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඇති වූ දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ, ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධූරය අත්හැරීමට සිදුවූ අතර, ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ තනි ආසනයකින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ 2022 වසරේදී ශ්‍රී ලංකාවේ 8 වන ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු බහුතරයකින් පත්විය.
ඔහු පළමු වරට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වූයේ ද, අනපේක්ෂිත අයුරිනි.