වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව ඉන්දියාවේ විරෝධතා
ඉන්දියාවේ කොල්කටාහි පැරණිතම රෝහලකදී 31 හැවිරිදි වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමට එරෙහිව කොල්කටාවේ සහ ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවල කාන්තාවෝ දහස් ගණනක් වීදි බැස උද්ඝෝෂණ කළහ.
'Reclaim the Night' නැමති විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ සංවිධාකයින් අතුරින් අයෙකු වන රිම්ජිම් සිංහා සමග බීබීසීය සංවාදයක නිරත විය.
ඉන්දියාවේ පැරණිතම රෝහලකදී වෛද්‍යවරියක දූෂණය කර ඝාතනයට ලක්වුයේ කෙසේ ද?
සිකුරාදා උදෑසන, 31 හැවිරිදි පුහුණුව ලබන වෛද්‍යවරියක ඉන්දියාවේ පැරණිතම රෝහලක වෙහෙසකර දිනයක් නිමා කර සම්මන්ත්‍රණ ශාලාවක් වෙත පිවිසියේ විවේකයක් ලබා ගැනීමේ අරමුණින් නිදා ගැනීම සඳහා ය.
එය, ඇය ජීවතුන් අතර සිටිනු දුටු අවසන් අවස්ථාව විය.
පසු දා උදෑසන ඇගේ සගයන්ට හමු වූයේ, කුඩා වේදිකාවක් මත බරපතළ තුවාල සහිතව වැටී තිබුණු ඇගේ අඩ නිරුවත් සිරුර ය. පසුව පොලිසිය විසින් රෝහලේ ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔවුන් පවසන පරිදි කොල්කටාහි වසර 138ක් පැරණි RG Kar Medical Collegeහි සිදු වූ ස්ත්‍රී දූෂණයක් සහ මිනීමැරුමක් සම්බන්ධයෙනි.
කොල්කටාහි සහ බටහිර බෙංගාල ප්‍රාන්තය පුරා කාන්තාවන් දස දහස් ගණනක් බදාදා මධ්‍යම රාත්‍රියේදී "නිදහසේ හා බියෙන් තොරව ජීවත් වීමට නිදහස" ඉල්ලා 'Reclaim the Night' නමැති පා ගමනකට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරිණි. මෙම පාගමන පැවතියේ (අගෝස්තු 15 වැනිදාට) යෙදී ඇති ඉන්දියාවේ නිදහස් දිනයට පෙර ය. කෝපයට පත් වෛද්‍යවරුන් තමන් ආරක්ෂා කිරීම සඳහා දැඩි ෆෙඩරල් නීතියක් ඉල්ලා නගරයේ මෙන් ම ඉන්දියාව පුරා ද වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
මෙම ඛේදනීය සිදුවීම නැවතත් රටේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මහජන අවධානය ලක් කර ඇත. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වෛද්‍යවරුන් රෝගීන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අඩන්තේට්ටම්වලට ලක්වන වාර්තා දැඩි ලෙස සැලකිල්ලට භාජනය වී තිබේ. ඉන්දියාවේ වෛද්‍යවරුන්ගෙන් 30%කට ආසන්න ප්‍රමාණයක් සහ හෙද කාර්ය මණ්ඩලයෙන් 80%ක් පමණ වන කාන්තාවන් - ඔවුන්ගේ පිරිමි සගයන්ට වඩා අවදානමට ලක් වන පිරිසකි.
පසුගිය සතියේ කොල්කටා රෝහලේ සිදු වූ අපරාධය ඉන්දියාවේ බොහෝ රජයේ රෝහල්වල වෛද්‍ය කාර්ය මණ්ඩල මුහුණ දෙන අනාරක්ෂිත තත්ත්වයන් පිළිබඳව හෙළිදරව්වකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දිනකට රෝගීන් 3,500කට අධික සංඛ්‍යාවක් පැමිණෙන RG Kar රෝහලේ, අධික ලෙස වැඩ කරන පුහුණුව ලබන වෛද්‍යවරුන් සඳහා - ඇතැම් අය දිනකට පැය 36ක් අඛණ්ඩව වැඩ කරති - ඔවුන්ට ම වෙන්වෙණු විවේකාගාර නොතිබුණු අතර ඒ හේතුවෙන් ඔවුන්ට තුන්වන මහලේ සම්මන්ත්‍රණ ශාලාවක විවේක ගැනීමට සිදුවිය.
වාර්තා පෙන්වා දෙන්නේ, අවුල්සහගත අතීතයක් ඇති ස්වේච්ඡා සේවකයෙකු වන අත්අඩංගුවට ගත් සැකකරුට බාධාවකින් තොරව වාට්ටුවට ප්‍රවේශ වීමට ඉඩ තිබී ඇති බව ත් ඔහු ගමන් කරන අයුරු CCTV කැමරාවල සටහන් වී ඇති බව ත් ය. මෙම ස්වේච්ඡා සේවකයාගේ පසුබිම පිළිබඳව සොයා බැලීමක් සිදුකර නොමැති බවට පොලිසිය චෝදනා කරයි.
"රෝහල තමයි හැම වෙලාවේ ම අපේ පළමු නිවහන. අපි ගෙදර යන්නේ විවේක ගන්න විතරයි. අපි කවදාවත් හිතුවේ නැහැ ඒක මේ තරම් අනාරක්ෂිත තැනක් වේවි කියලා. දැන් මේ සිද්ධියෙන් පස්සේ අපි හරි ම බයෙන් ඉන්නේ," කොල්කටාහි වසර 76ක් පැරණි ජාතික වෛද්‍ය විද්‍යාලයේ කනිෂ්ඨ වෛද්‍යවරියක වන මධුපර්ණා නන්දි පවසයි.
වෛද්‍ය නන්දිගේ අත්දැකීම්වලින් ඉස්මතුවන්නේ, ඉන්දියාවේ රජයේ රෝහල්වල වෛද්‍යවරියන් ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන තත්ත්වයන් යටතේ අකමැත්තෙන් වුව ද සේවය කිරීමට යොමු වී ඇත ආකාරය යි.

ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥවරියක වීමට ඇය පුහුණුව ලබන රෝහලේ වෛද්‍යවරියන් සඳහා වෙන් වූ විවේකාගාර සහ වෙන ම වැසිකිළි නොමැත.
"මම පාවිච්චි කරන්නේ රෝගීන්ගේ සහ හෙදියන්ගේ වැසිකිළි. ඒකත් එයාලා ඉඩ දෙනවා නම් විතරයි. මම රෑ වැඩ කරද්දී, සමහර වෙලාවට මම වාට්ටුවේ තියෙන හිස් වෙච්ච රෝගියෙකුගේ ඇඳක නැත්නම් ඇඳක් සහ බේසමක් තියෙන හරියට ඉඩක්වත් නැති වේටින්ග් රූම් එකේ තමයි නිදා ගන්නේ," වෛද්‍ය නන්දි මා හා පැවසීය.
බාහිර රෝගී පරීක්ෂා කිරීමෙන් ආරම්භ වී, වාට්ටුවල සිටින රෝගීන් පරීක්ෂා කර ප්‍රසූත කාමරයේ රාජකාරි කටයුතු දක්වා දිවෙන පැය 24 සේවා මුරයෙන් පසු තමන් විවේක ගන්නා කාමරයේදී පවා අනාරක්ෂිත බවක් දැනෙන බව ඇය පවසයි.
2021 වසරේ එක් රාත්‍රියක, එනම් කොවිඩ් වසංගතයේ උච්චතම කාලයේදී, පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙක් ඇගේ කාමරයට කඩා වැදී, ස්පර්ශ කර ඇය අවදි කර, "නැඟිටින්න, නැඟිටින්න. අපේ ලෙඩා බලන්න," යනුවෙන් පැවසූහ.
"ඒ සිද්ධිය මාව මුළුමනින් ම කම්පනයට පත් කළා. ඒත් අපි කවදාවත් හිතුවේ නැහැ ඒක රෝහලක ඉන්න වෛද්‍යවරියක් දූෂණය කරලා මරලා දාන තත්ත්වයකට පත් වේවි කියලා," වෛද්‍ය නන්දි පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිකුරාදා සිදුවීම හුදකලා සිදුවීමක් නොවේ. වඩා ත් ම කම්පනයට පත් වන සිදුවීම වන්නේ, 1973 වසරේදී වාට්ටු සේවිකයෙකු විසින් දූෂණය කර ගෙළ සිර කරනු ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලීන පශ්චාත් කෝමා තත්ත්වයක (persistent vegetative state) සිටි ප්‍රකට මුම්බායි රෝහලක හෙදියක වන අරුණා ෂාන්බාග්ගේ සිදුවීම ය. මොළයට සිදු වූ දරුණු හානි සහ අංශභාග තත්ත්වයකින් වසර 42ක කාලයක් ගත කිරීමෙන් පසු ඇය 2015 වසරේදී මිය ගියා ය. වඩා ත් මෑතකදී, එනම් ඉකුත් වසරේදී කේරලයේ, 23 හැවිරිදි සීමාවාසික වෛද්‍යවරියක වන වන්දනා දාස්, බීමත් රෝගියෙකු විසින් ශල්‍යකර්ම සඳහා භාවිත කරන කතුරකින් ඇන මරා දැමිණි.
බාධාවකින් තොරව ඕනෑ ම තැනක ගමන් කළ හැකි, දැඩි ලෙස රෝගීන්ගෙන් පිරිණු රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරු බොහෝ විට මරණයකින් පසු හෝ වහා ම ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලා සිටින රෝගීන්ගේ ඥාතීන්ගෙන් ප්‍රකෝපකාරී ක්‍රියාවලට මුහුණ දෙති. නිර්වින්දන වෛද්‍යවරියක වන කාම්නා කක්කර්, උතුරු ඉන්දියාවේ හර්යානාහි පිහිටි ඇගේ රෝහලේදී 2021දී වසංගතය අතරතුර දැඩි සත්කාර ඒකකයේ රාත්‍රී වැඩ මුරයකදී සිදු වූ වේදනාකාරී සිදුවීමක් සිහිපත් කරයි.
"දේශපාලකයෙකුගේ නමක් කියා ගෙන මිනිස්සු තුන් දෙනෙක් ප්‍රසිද්ධ, ඒත් අවසරයක් නැතිව දෙන්න බැරි බෙහෙතක් ඉල්ලගෙන අයිසීයූ එකට බලහත්කාරයෙන් ඇතුළු වෙද්දී ඒක ඇතුළේ හිටපු එක ම වෛද්‍යවරයා මම. මගේ ලෙඩ්ඩුන්ගේ ජීවිතේ අනතුරේ කියන එක තේරුණත් මම මගේ ආරක්ෂාව වෙනුවෙන් ඒක දුන්නා," වෛද්‍ය කක්කර් මා හා පැවසීය.
RG Kar Medical Collegeහි ඉගෙනුම ලැබූ කොල්කටාවේ ව්‍යාධිවේදී වෛද්‍යවරියක වන නම්රතා මිත්‍රා පවසන්නේ ඇයට අනාරක්ෂිත බවක් දැනුණු බැවින් ඇය වෛද්‍යවරයෙකු වන තම පියා සමග බොහෝ අවස්ථාවලදී රැකියාවට යන බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මම ඔන්-කෝල් ඩියුටි ඉද්දි, මම මගේ තාත්තාව මං එක්ක එක්කන් යනවා. හැම කෙනෙක් ම වගේ මට හිනා වුණා. ඒත් මට නිදා ගන්න වුණේ, රෝගියෙක් ආවොත් හෙදියකට විතරක් විවෘත කරන්න පුළුවන් අඟුළු දාපු යකඩ ගේට්ටුවක් තියෙන දිගු අඳුරු කොරිඩෝවක් කෙළවරේ තිබුණු කාමරයක," වෛද්‍ය මිත්‍රා සති අන්තයේ ෆේස්බුක් සටහනක ලිවීය.
"මම බය වුණා කියන එක පිළිගන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ. වෝඩ් එකේ ඉන්න ඇටෙන්ඩ්ඩන්ට් කෙනෙක් හරි, ලෙඩෙක් හරි මොකක් හරි කරන්න කරන්න හැදුවොත්, මොකද කරන්නේ? මම මගේ තාත්තා වෛද්‍යවරයෙක් වීමේ වාසිය ගත්තා. ඒත් හැමෝට ම ඒ වරප්‍රසාදය නැහැ."
බටහිර බෙංගාලයේ ප්‍රදේශයක මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයක සේවය කරන කාලයේ, වෛද්‍ය මිත්‍රා රාත්‍රිය ගත කළේ, වෛද්‍ය නේවාසිකාගාරයක් ලෙස පැවති අබලන් වූ එක් මහලක් පමණක් පැවති ගොඩනැගිල්ලක ය.
"හවසට අපි හදිස්සි අවස්ථාවලදී එළියට ඇතුළට යනකොට කොල්ලෝ කට්ටියක් ගේ වටේට එකතුවෙලා අසභ්‍ය වචන කියනවා. ඒ අය අපිව අල්ලන්න අවස්ථාවක් ගන්න, ඒ අයගේ රුධිර පීඩනය පරීක්ෂා කරන්න කියලා කියනවා. ඒ වගේ ම ඒ අය නාන කාමරයේ තියෙන කැඩුණු ජනෙල්වලින් හොරාට එබිලා බලනවා," ඇය ලිවීය.
ඉන් වසර ගණනකට පසු, රජයේ රෝහලක හදිසි සේවා මුරයක් අතරතුර, "මගේ ළඟින් ගියපු බීමත් මිනිස්සු ටිකක් මහා ඝෝෂාවක් නැගුවා. ඒ එක්කෙනෙක් මව අතපත ගෑවත් එක්ක," වෛද්‍ය මිත්‍රා පැවසීය. "මම ඒ ගැන පැමිණිලි කරන්න බලද්දී, තුවක්කුත් අතේ තියාගෙන පොලිස් නිලධාරීන් නිදි කිරා වැටෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වසර ගණනාවක් පුරා තත්ත්වය නරක අතට හැරී ඇති බව බටහිර බෙංගාලයේ බන්කුරා ප්‍රදේශයේ රජයේ රෝහලක ඖෂධවේදිනියක වන සරස්වතී දත්තා බෝධක් පවසයි. "මගේ දියණියන් දෙන්නා ම තරුණ වෛද්‍යවරියන්. ඒ දෙන්න ම මට කියන්නේ ප්‍රාන්තයේ රෝහල් පරිශ්‍ර සමාජ විරෝධී කණ්ඩායම්වලින්, බේබද්දන්ගෙන් සහ තැරව්කාරයන්ගෙන් පිරිලා කියලා," ඇය පවසයි. සංචාරයක් අතරතුරදී කොල්කටාහි ප්‍රමුඛතම රජයේ රෝහලක් වටා තුවක්කුවක් අතැතිව මිනිසෙකු සැරිසරනු දුටු ආකාරය වෛද්‍ය බෝධක් සිහිපත් කරයි.
සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා කිරීම සඳහා ඉන්දියාවට දැඩි ෆෙඩරල් නීතියක් නොමැත. ප්‍රාන්ත 25කට ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැළැක්වීම සඳහා යම් නීති තිබුණ ද, වරදකරුවෙකු වූ කෙනෙකු "නොමැති තරම්" බව වෛද්‍යවරුන්ගේ සංවිධානයක් වන ඉන්දියානු වෛද්‍ය සංගමයේ (IMA) සභාපති ආර්.වී. අසෝකන් මා හා පැවසීය. IMA විසින් 2015 වසරේදී සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ, ඉන්දියාවේ වෛද්‍යවරුන්ගෙන් 75%ක් රැකියාවේදී යම් ආකාරයක ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී ඇති බව ය. "රෝහල්වල ආරක්ෂාවක් නැති තරම්," ඔහු පවසයි. "ඒකට එක හේතුවක් තමයි, කිසි කෙනෙක් රෝහල් ගැටුම් පවතින කලාපයක් කියලා හිතන්නේ නැති එක."
හර්යානා වැනි ඇතැම් ප්‍රාන්ත රජයේ රෝහල්වල ආරක්ෂාව තර කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් යොදවා ඇත. 2022 වසරේදී, ෆෙඩරල් රජය අවදානම් තත්ත්වයේ ඇති රෝහල් සඳහා පුහුණු ආරක්ෂක නිලධාරීන් යෙදවීමට, CCTV කැමරා සවි කිරීමට, හදිසි ප්‍රතිචාර කණ්ඩායම් පිහිටුවීමට, "අනවශ්‍ය පුද්ගලයන්ට" ඇතුළු වීම සීමා කිරීමට සහ වැරදිකරුවන්ට එරෙහිව පැමිණිලි ගොනු කරන ලෙස ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේ ය. පැහැදිලිව ම, වැඩි යමක් සිදුවී නොමැත.
උද්ඝෝෂණයේ යෙදෙන වෛද්‍යවරුන් පවා එතරම් බලාපොරොත්තු තබා ඇති බවක් පෙනෙන්නට නැත. "කිසි දෙයක් වෙනස් වෙන එකක් නැහැ... අපේක්‍ෂාව තමයි, වෛද්‍යවරුන් පැය විසිහතර පුරා ම වැඩ කරමින් අපයෝජනය සාමාන්‍ය දෙයක් ලෙස විඳ දරා ගැනීම," වෛද්‍ය මිත්‍රා පවසයි. එය සිත අධෛර්ය කරවනසුලු සිතිවිල්ලකි.













