පෝර්ට් සිටියට ඇ.ඩො. බිලියන 1.2ක් ආයෝජනය කරන 'චයිනා හාබර් සමාගම' කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චයිනා හාබර් ඉංජිනේරු සහයෝගීතාව විසින් කොළඹ වරාය නගරයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන බව පසුගිය ජුලි 03 වන දා පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලි සබ්‍රි ප්‍රකාශ කළේ ය.
ඔහු මේ බව පැවසුවේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ය.
'චයිනා හාබර් ඉංජිනේරු සහයෝගීතාව' යනු කුමක් ද?
1980 දී චීනය පදනම් කරගෙන ආරම්භ වන 'චයිනා හාබර් ඉංජිනේරු සහයෝගීතාව' යනු "China Communication Construction Cooperation (CCCC)"හි අනුබද්ධිත ආයතනයකි.
වර්තමානයේ දී මෙම සමාගම වරාය, ඉදිකිරීම්, මාර්ග සහ පාලම්, රේල් පීලි, නාගරික සංවර්ධනය, පාරිසරික ආරක්ෂාව, නල මාර්ග, හරිත බලශක්තිය වැනි ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කටයුතු කරයි.
මෙම සමාගමට ලොව පුරා ශාඛා 90කට වැඩි ප්‍රමාණයක් පවතින අතර, එහි ආයෝජනයන් රටවල් සහ කලාප 100ක් පුරා පැතිරී ඇති බව සමාගමේ නිල වෙබ් අඩවියේ දැක්වේ.
එහි වත්මන් ව්‍යාපෘතිවල වටිනාකාම ඇ.ඩො. බිලියන 40 ඉක්මවන අතර එයට ලොව පුරා සේවකයින් 20 000කට වැඩි පිරිසක් සිටියි.

ශ්‍රී ලංකාවේ වරාය නගර ව්‍යාපෘතියේ සෘජු විදේශ විනිමයන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ අනුමැතිය යටතේ පිහිට වූ 'CHEC Port City Colombo (Private) Limited' සමාගම චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ අනුබද්ධිත ආයතනයකි. මෙම සමාගමේ 100%ක් කොටස් අයිතිය දරන්නේ චයිනා හාබර් ඉංජිනේරු සමාගම බව වරාය නගර නිල වෙබ් අඩවියේ දැක්වේ.
ඩොලර් බි. 1.2ක් දෙන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Mohamed Ali Sabry/Facebook
පසුගිය සතියේ චීන සංචාරයක නිරත වී සිටි විදේශ අමාත්‍යවරයා, එහිදී චයිනා හාබර් ඉංජිනේරු සහයෝගීතාවයේ සභාපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ කළමණාකාරීත්වය සමග ජුනි මස 26 වැනිදා සාකච්ඡාවක් පවත්වා තිබුණි.
මෙම ආයෝජනයන් හැකි ඉක්මනින් ම ආරම්භ කිරීමට බලපොරොත්තු වන බව අමාත්‍යවරයා බීබීසී සිංහල සිදුකළ විමසීමක දී පැවසීය.
"දැනට ලංකාවේ පෝට් සිටි එක ඇතුළෙ ඔවුන්ගේ ශාඛාවක් තියෙනවා. ඒ අය සමග ඉක්මනින් ම මේ වැඩකටයුතු ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු සියල්ල සූදානම් කරලා තියෙන්නේ," ඔහු පැවසුවේ ය.
මෙම ආයෝජන කුමන ක්ෂේත්‍රවලට යෙදවෙන්නේදැ යි විමසූ විට, "මේ ආයෝජනයන් වරාය නගරයේ ඉදි කිරීමට බලාපොරොත්තු වන මූල්‍ය නගරය සඳහා යි වෙන් වෙන්නේ. මූල්‍ය නගරය ස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු සඳහා මෙය යොදගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ක්ෂේත්‍ර පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙනවා,”යි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
චීනයේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන මෙය මේ වන විට ලෝකයේ රටවල් ගණනාවකම සිය ආයෝජන සිදුකර තිබේ. අමාත්‍යවරයා පැවසුවේ එවැනි සමාගමක් ශ්‍රී ලංකාවේ වරාය නගරය තුළ මෙතරම් මුදලක් ආයෝජනය කිරීම ලංකාවේ ආර්ථිකයට යහපත්වන බව යි.
තවත් ව්‍යාපෘති
අමාත්‍යවරයාගේ චීන සංචාරයේ දී චීනයේ සයිනොපැක් සමාගම මෙරට ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කිරීම සඳහා වන බලාපොරොත්තුව සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම සමාගම සමග ඉක්මනින් එම කටයුතු ඇරඹීම සම්බන්ධයෙන් ඉදිරියේ දී විෂය භාර අමාත්‍යාංශ විසින් කටයුතු කරනු ඇති බව යි.
චයිනා හාබර් සමාගමේ මව් සමාගම (CCCC) 1998 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ විවිධ ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ.
ඒ අතරින්, දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ වරායේ දකුණු පර්යන්තය හා නැගෙනහිර පර්යන්තය කැපී පෙනෙයි.
‘චීනය තනිකර කළු කඩ ණය ක්‍රමයක් තමා ක්‍රියාත්මක කරන්නේ’
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල වෙත පැවසුවේ, චීන ආයෝජන පිළිබඳ සලකා බැලීමේදී සින්නකර අයිතිය පැවරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවය.
“ණය ගන්න කොට රජයන් අතර ගනුදෙනු කරද්දි, රාජ්‍යතාන්ත්‍රභාවය තියෙනවා. චීනයත් එක්ක ගනුදෙනු කරපු රටවල්වලට තිබ්බ ප්‍රශ්නයක් තමා ඔය කියන රාජ්‍ය තාන්ත්‍රිකභාවය. ඔවුන් සාමාන්‍යයෙන් ආයෝජනයක් කරන්නේ තව අවුරුදු 50 විතර ඉස්සරහා බලලා. හැම වෙළේම ස්ට්‍රැටර්ජික් ඩිශිෂන් (strategic decision) තමා ඒ කට්ටිය ගාව තියෙන්නේ. ඒ කට්ටිය ආයෝජන කරන්නේ, ඒ ආයෝජනය කළා වගේ ඉතා විශාල ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන්. ලෝකේ අනිත් රටවල්වල කරලා තියෙන්නෙත් ඒක.ඒක හරියට අර කළු කඩයකින් ණය ගන්නවා සහ බැංකුවෙන් ණය ගන්නවා වගේ වෙනසක්. කළු කඩ මුදලාලිට ඕනේ ණය දීලා ණය ගන්න නෙමේ.ණය ඩිෆොල්ට් කරලා ඉඩම පවර ගන්න. බැංකුවේ තියෙන්නේ වෙන අරමුණක්. චීනය තනිකර කළු කඩ ණය ක්‍රමයක් තමා ක්‍රියාත්මක කරන්නේ. ඒ කට්ටියගේ රාජ්‍යතාන්ත්‍රික භාවය නැහැ කියන්නේ ඒකයි. ණය දීලා, පුළුවන් තරම් කොමිස් දීලා, ඒ ණය මොනවටද පාවිච්චි කළේ , කිසිම සොයා බැලීමකින් තොරව. ඔවුන්ගේ එකම අපේකෂාව තමා ණය නොගෙවන තැනකට රට පත් කරන්න.” මහාචාර්යවරයා පැවසීය.
“ඔය පෝට් සිටි එකේ මුලින් චීනය අයෝජනය කරලා ඒකේ විශාල ඉඩම් ප්‍රමාණයක සින්නක්කර අයිතිය චීනයට යන්න ගියා. ඊට පස්සේ තමා 2015 ආපු ආණ්ඩුව, වර්තමාන ජනාධිපතිතුමා ඕකට විරුද්ධ වෙලා. ඊට පස්සේ ව්‍යාපෘතිය නැවැත්තුවා. සෑහෙන කාලයක් ව්‍යෘපෘතිය ක්‍රියාත්මක වුණේ නැහැ. ඊට පස්සේ ඒකට වන්දි ගෙවන්නත් සිද්ධ වුණා අපිට. එතනදී කරපුහොඳ දෙය තමා සින්නක්කර අයිතිය කියන එක නැති කළා අපි. නැති කරලා කොටසක් විතරක් 99 අවුරුදු බදුවලට දුන්නා. සින්නක්කර දුන්නම ප්‍රශ්නය තියෙන්නේ භූමියක අයිතියේ ඉදලා මුහුදු අයිතියත් ඒ රටට යනවා.ඒක ඉන්දියාවටත් ලොකු තර්ජනයක්. ශ්‍රී ලංකාවටත් තර්ජනයක්.”
ඔහු පෙන්වා දුන්නේ “ආයිත් සැරයක් මේ බිලියන 1.2 අයෝජනයක් කියන්නේ, මේ ඉඩමේ සින්නක්කර අයිතිය ගන්න නම් ඒගොල්ලෝ උත්සහ කරන්නේ, අපි ආපුහු අර 2015 තැනට යන්නේ. එදා අගමැති අද ජනාධිපති යටතේ.ඒක කලාපීය සහයෝගීතාවයට හා කලාපීය සාමය පිළිබඳ වාතාවරණයට ලොකු අහිතකර ප්‍රතිඵලයක් වෙයි. අපි මේ වෙලාවේ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ ඉන්දියානු මැදිහත්වීම මිසක් චීනය නෙමෙයි. මොකද මේ කාලය තුළ අපි දැක්කේ ඉන්දියාව තමා ලංකාවට වැඩිම උදව් කළේ. ඔවුන් තමා බිලියන 3ක් විතර අපිට ණය දුන්නේ. හැම වෙලේම ඉස්සරහට ආවේ. හැබැයි චීනය හැම වෙලාම කළේ පස්සට ගිහල්ලා කකුලෙන් ඇඳපු එක. අපේ සාකච්ඡා වටවලටවත් අවේ නැහැ නේ. ඒවගේ රාජ්‍යයක් එක්ක ණය ගනුදෙනුවක් කරනවා කියන එක, එක පාරක් දෙපාරක් නෙමේ, හය හත් පාරක් හිතන්න ඕනේ, මේ රජය. තවත් වළට වැටෙනවාද? නැති නම් ණය ප්‍රතිව්‍යූගතකරණය කරලා අපි ඔවුන්ට අයින් කරනවාද කියලා.”
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දුන්නේ “දැනටමත් චීනය බිලියන 1.4 ක් ආයෝජනය කරලා තියෙනවා.සින්නකර අයිතිය නැති ඕනෑම දෙයක් ප්‍රශ්නයක් නැහැ.හැබැයි ඒක හරහා රටේ අයිතියට, ස්වෛරීත්වයට යම් බලපෑමක් වෙනවා නම් කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන්න ඕනේ.”
ඔහු පෙන්වා දුනනේ “චීන ආයෝජනයෙන් අපිට කිසිම වක්‍ර ප්‍රතිලාභයක් නැහැ. චීනය එනකොට අපි දැකපු දෙයක් තමා. ඒ මිනිස්සු වාහන ටික ගේනවා. කම්කරුවෝ ගේනවා.සිගරට් එක, ටොයිලට් පේපර් එක පවා ගේනවා. ඒක රටේ ආර්ථිකයට කිසිම ආකාරයකින් මුදල් කාන්දුවීමක් සිද්ධ වෙන්නේ නැහැ චීන අයෝජනය තුළ. ඒවගේ එකකින් අපි හිතනවා නම් රටක් සංවර්ධනය කරන්න පුළුවන් කියලා. මම හැතින්නේ නැහැ. අපි මේ තැනට පත්වුණේ චීන අයෝජනය නිසා බව අපි මතක තියා ගන්න ඕනේ. ලෝකේ අනිත් රටවලින් උදාහරණ ගන්න කියන්න ඕනේ. විශේෂයෙන් අප්‍රිකානු රටවල් වලින්.”












