ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාවගේ තත්වය: 'මාව චෙක් කරපු මිසී ඇහුවා ඔයාට ලැජ්ජ නැද්ද මේ රස්සාව කරන්න;ඕකෙන් අයින් වෙන්න කියලා'

"මේ රස්සාවෙ යෙදිලා ඉන්න මගේ මිතුරියකගෙ දරුවන් දෙන්නාට ඉස්කෝල 15කට වඩා මාරු වෙන්න වුණා. ඒ එයලාගෙ අම්මා ගණිකාවක් කියලා දැනගත්තාට පස්සේ. අපිත් කැමතියි දරුවන්ට උගන්වලා හොඳ තැනකට ගේන්න,"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"මේ රස්සාවෙ යෙදිලා ඉන්න මගේ මිතුරියකගෙ දරුවන් දෙන්නාට ඉස්කෝල 15කට වඩා මාරු වෙන්න වුණා. ඒ එයලාගෙ අම්මා ගණිකාවක් කියලා දැනගත්තාට පස්සේ. අපිත් කැමතියි දරුවන්ට උගන්වලා හොඳ තැනකට ගේන්න," යනුවෙන් බීබීසී සිංහල සමඟ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකාවේ ජීවත්වන ලිංගික ශ්‍රමික කාන්තාවකි.

සංස්කෘතිකමය වශයෙන් හා නීතිමය වශයෙන් බොහෝ අගතීන්ට මුහුණ දී තිබෙන ප්‍රජාවක්වන ලිංගික ශ්‍රමිකයන් තවමත් මුහුණ දෙන අතිදැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් තිබේ.

තවමත් ශ්‍රී ලංකාවේ නෛතික වටපිටාව සහ සංස්කෘතියට අනුව ලිංගික ශ්‍රමය, ශ්‍රමයක් ලෙස නොසලකන අතර එය සමාජ අපවාදයට හේතුවන දෙයක් බවට පත් ව තිබේ. එයට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද නිතැතින් ම ගොදුරු වේ.

පසුගිය මැයි 16 වන දින දකුණු ආසියාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාව සහ ඔවුන්ගේ මිතුරන්ගේ ජාලයෙහි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සකස් කරන ලද "ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාවගේ තත්වය: ජාතික වාර්තාව 2022-2023" යනුවෙන් කොළඹ දී වාර්තාවක් එළිදැක්වුණි.

එම වාර්තාවට අනුව පර්යේෂණයට සම්බන්ධ වූ 283 දෙනෙකුගෙන් 60% කගේම සිය පවුලේ එක ම අදායම් මාර්ගය බවට එය පත්ව තිබේ.

රැකියාවේ ස්වභාවය

කුඩා කාලයේ දී ම ආර්ථික ප්‍රශ්න හමුවේ සිය අධ්‍යාපනය කඩාකප්පල් වීම බොහෝ දෙනෙකුට ඇති සමාන තත්වයකි.

වාර්තාව එළිදැක්වීමේ දී අදහස් පළකළ ලිංගික ශ්‍රමික කාන්තාවක් පැවසුවේ ඇය දන්නා උතුරු පළාතේ මෙම රැකියාවේ නිරතවන මිතුරියකගේ පවුලේ සාමාජිකයන් අටදෙනෙකු පමණ ජීවත්වන්නේ එම මිතුරිය විසින් උපයන මුදලින් බවයි.

වාර්තාවේ සඳහන් ආකාරයට 62% ක් පවසන්නේ නිවසේ ඇති ආර්ථික අපහසුතා නිසා මෙම රැකියාව සිදු කිරීමට පෙළැඹුණු බවයි.

බොහෝ කාන්තාවන්ට තමා එලෙස උපයන මුදල් වියදම් කිරීමට පවා පවුලේ පිරිමි සාමාජිකයන්ගෙන් අවසර ගැනීමට සිදුවන වටපිටාවක් තිබේ.

ඔවුන් බොහෝ විට රැකියාව සිදු කරන්නේ වීදි ආශ්‍රිතව සැරිසැරීමෙන් බව වාර්තාව එළිදැක්වීමට පැමිණ සිටි ලිංගික ශ්‍රමිකයන් වන කාන්තාවන් සහ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ගෙන් ඇතැමෙක් ප්‍රකාශ කළ හ.

කෙසේවෙතත් එම තත්වය ඔවුන් ව පහසුවෙන් පොලිසියට හසුවීම හෝ ප්‍රචණ්ඩත්වයට ලක් වීමේ අවධානමක් ඇති කරයි.

අධ්‍යනයට සම්බන්ධ වූවන්ගෙන් 57%ක් හෝටල් හෝ ලැගුම්හල්වල දී සිය රැකියාව සිදු කරන නමුත් බොහෝවිට ලැඟුම්හල් හිමියන් අතින් ද ඔවුන්ට ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු ව තිබේ.

ඔවුන් බොහෝ විට රැකියාව සිදු කරන්නේ වීදි ආශ්‍රිතව සැරිසැරීමෙන් බව වාර්තාව එළිදැක්වීමට පැමිණ සිටි ලිංගික ශ්‍රමිකයන් වන කාන්තාවන් සහ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ගෙන් ඇතැමෙක් ප්‍රකාශ කළ හ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔවුන් බොහෝ විට රැකියාව සිදු කරන්නේ වීදි ආශ්‍රිතව සැරිසැරීමෙන් බව වාර්තාව එළිදැක්වීමට පැමිණ සිටි ලිංගික ශ්‍රමිකයන් වන කාන්තාවන් සහ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ගෙන් ඇතැමෙක් ප්‍රකාශ කළ හ.

ආරක්ෂාව පිළිබඳ ගැටලුව

වාර්තාව එළිදැක්වීමට පැමිණ සිටි ලිංගික ශ්‍රමිකයන් කිහිපදෙනෙකු ම ඔවුන් මුහුණ දී ඇති ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න පිළිබඳ බීබීසී සිංහල සමඟ සාකච්ඡා කළ හ.

"සමහර අය මම අකමැති දේවල් කරන්න කියලා බල කරනවා. බෑ කිව්වම පහර දෙනවා," යැයි සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් පැවසුවා ය.

"ඊට පස්සෙ පස්සෙන් පන්නගෙන ඇවිත් කරදර කරනවා. අපට ඒ පැත්ත අත ඇරලා යන්න වෙන තරම් පස්සෙන් ඇවිත් කරදර කරනවා."

එමෙන් ම මුලින් පොරොන්දූ වූ ගණන නොගෙවීම වැනි ගැටලු වලට ද ඔවුහු මුහුණ දෙති.

"සමහර වෙලාවට පොරොන්දු වුණු ගාන දෙන්න බෑ කියනවා. අපි ඒ මුදල ඉල්ලා රණ්ඩු කළාම තර්ජනය කරනවා. එතකොට මට බයයි මට කරදරයක් කරාවි කියලා. සමහර වෙලාවට පොරොන්දු වෙලා ගියේ එක්කෙනෙක්ට සේවය දෙන්න වුණත් කලින් කියන්නෙ නැතිව කිහිපදෙනෙක් ම ඉන්නවා. ඒත් අපට එයාලා ආපහු එන්න දෙන්නෙ නෑ," යැයි ඔවුන් සුලභ ව මුහුණ දෙන ප්‍රශ්නයක් එක් කාන්තාවක පැහැදිලි කළා ය.

අධ්‍යයනයට අනුව ශ්‍රමිකයන්ගෙන් 91%ක් උපත් පාලන කොපු පාවිච්චි කරන අතර ඇතැම් ගනුදෙනුකරුවන් බලහත්කාරයෙන් කොන්ඩම් පාවිච්චි කිරීම වළකන බව ඇතැමුන් පැවසූ හ.

අත්අඩංගුවට පත් වූ විට ඔවුන්ට පොලිස් ස්ථානවල දී සහ රැඳවුම් මධ්‍යස්ථාවල දී ද විවිධ බලහත්කාරකම්වලට මුහුණ දීමට සිදු ව තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අත්අඩංගුවට පත් වූ විට ඔවුන්ට පොලිස් ස්ථානවල දී සහ රැඳවුම් මධ්‍යස්ථාවල දී ද විවිධ බලහත්කාරකම්වලට මුහුණ දීමට සිදු ව තිබේ.

නීතියේ රැහැනට හසු වීමේ අවධානම

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ලිංගික ශ්‍රමිකයන්ට එරෙහි ව සුලභව භාවිත වන නීති වන්නේ පාදඩ ආඥා පනත, ගණිකා නිවාස ආඥා පනත හා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියේ එන ඇතැම් ප්‍රතිපාදනයන් ය.

කෙසේවෙතත් 365 වගන්තිය සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට යම් ක්‍රියාවලියක් සිදුවෙමින් පවතියි. මෙම ලිංගික ශ්‍රමිකයන්ගෙන් බොහෝ දෙනෙකුට අත්අඩංගුවට පත්වීමට සිදු ව ඇති අතර ඇතැමුන්ට සිර දඬුවම් පවා විඳීමට සිදු ව තිබේ.

එමෙන් ම එලෙස අත්අඩංගුවට පත් වූ විට ඔවුන්ට පොලිස් ස්ථානවල දී සහ රැඳවුම් මධ්‍යස්ථාවල දී ද විවිධ බලහත්කාරකම්වලට මුහුණ දීමට සිදු ව තිබේ.

"මාව අත්අඩංගුවට ගත්තේ මම ගෙදර යන්න බස් එකකට නැගලා ඉන්න කොට " යනුවෙන් එක් කාන්තාවක් සිය අත්දැකීමක් විස්තර කළා ය.

"එදා රස්සාවට ආවාට කිසි දෙයක් හරිගියේ නැති නිසා, මම කිරිබත්ගොඩ නගරයට ඇවිල්ලා ගෙදර යන්න බස් එකකට නැගලා ඉන්න කොට, සිවිල් ඇඳුමෙන් ආව පොලිසියේ හතර දෙනෙක් මාව බලෙන් ම බස්සගෙන, කිරිබත්ගොඩ පොලිසියට අරගෙන ගිහින් කූඩුවට දැම්මා. මගේ සැමියා පිළිකා රෝගයට ගොදුරුවෙලා අසාධ්‍ය තත්වයේ ඉන්න කෙනෙක්. ඔහුට සල්ලි නෑ මාව බේරගන්න," යැයි ඇය පැවසුවා ය.

පසුව වරද පිළිගන්නා ලෙස පොලිසියෙන් ඇයට බලකර ඇති අතර ඇයට උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 6000ක දඩයක් ගෙවා නිදහස් වන්නට සිදුව තිබුණි.

 ලිංගික ශ්‍රමික ප්‍රජාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සංස්කෘතිකමය වශයෙන් හා නීතිමය වශයෙන් බොහෝ අගතීන්ට මුහුණ දී තිබෙන ප්‍රජාවක්වන ලිංගික ශ්‍රමිකයන් තවමත් මුහුණ දෙන අතිදැවැන්ත ප්‍රශ්න ප්‍රමාණයක් තිබේ.

සංක්‍රාන්තික ලිංගික ශ්‍රමික ප්‍රජාව ද මෙලෙස සිදුවන විශාල අතරවර ප්‍රමාණයකට ගොදුරු වෙති.

"මගේ සංක්‍රාන්තික ලිංගික මිතුරියක් ව පොලිසියෙන් එක පාරක් අල්ලගෙන ගිහින් තිබුණා. පොලිසියේ ලොක්කෙක් එයාව නිරුවත් කරලා, එයාගෙ ලිංගික අවයවවලට පහර දීලා ඒ නිලධාරියාගෙ බිරිඳට වීඩියෝ කෝල් එකක් අරන්, මගේ යාලුවා ව පෙන්නලා විනෝද වෙලා තිබුණා. ඒක ඇයට සියදිවි නසාගන්න හිතෙන තරම් බලපාලා තිබුණා," යැයි කාන්තාවක් පැවසුවා ය.

එලෙස සිරගත වන්නට සිදු වූ සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් පැවසුවේ බන්ධනාගාර ගත වූ පසු අනාරක්ෂිත ලිංගික බලහත්කාරීත්වයන්ට ද තමාට මුහුණ දීමට සිදු ව ඇති බවයි.

එලෙස අත්අඩංගුවට පත් වූ ශ්‍රමිකයන්ගෙන් 40%ක් දින 14 සිට අවුරුදු 3 දක්වා වූ සිර දඬුවම්වලට මුහුණ දී ඇත.

ඔවුන්ට බොහෝ විට වරද කුමක්දැයි නොපවසා අත්අඩංගුවට පත්වන්නට සිදුව තිබූ අතර 50%කට පමණ වරද පිළිගන්නා ලෙස පොලිසියෙන් බල කර තිබුණි.

මැයි 16 වන දා දකුණු ආසියාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාව සහ ඔවුන්ගේ මිතුරන්ගේ ජාලයෙහි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සකස් කරන ලද "ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාවගේ තත්වය: ජාතික වාර්තාව 2022-2023" යනුවෙන් කොළඹදී එළිදක්වන ලද වාර්තාව
ඡායාරූප ශීර්ෂ වැකිය, මැයි 16 වන දා දකුණු ආසියාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාව සහ ඔවුන්ගේ මිතුරන්ගේ ජාලයෙහි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සකස් කරන ලද "ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමික ප්‍රජාවගේ තත්වය: ජාතික වාර්තාව 2022-2023" යනුවෙන් කොළඹදී එළිදක්වන ලද වාර්තාව

අනන්‍යතාවය පිළිබඳ අර්බුදය

ලිංගික ශ්‍රමිකයන් බොහෝ දෙනෙකුට ඡන්දය, හැඳුනුම්පත මෙන් ම උප්පැන්න පවා නොමැති වී තිබේ.

ඇතැමුන් ව නිවසින් එළවා දමා ඇති අතර එනිසා අත්‍යවශ්‍ය ලියකියවිලි ඔවුන් සතුව නොමැත.

ඇතැම් අය ඒවා නැවත සකස් කරගන්නා ආකාරය හෝ නොදනිති. එනිසා ම ඔවුන්ට ඡන්ද අයිතිය ලබා ගැනීම, බැංකු ගිණුමක් විවෘත කරගැනීම මෙන් ම රජයේ සමාජ ආරක්ෂණ සේවාවලට පවා අයදුම් කිරීමට නොහැකි ව තිබේ.

එක් කාන්තාවක් පැවසුවේ එලෙස තමාට අවශ්‍ය දේවල් සකසා ගැනීමට ග්‍රාම නිලධාරීවරයා හමු වූ විට ඔහු ලිංගිකත්වය ඉස්මතු කරන කතා කියමින් වාචික හිංසනයට ලක් කළ බවයි. එනිසා ඇය එම අදහස අතහැර තිබේ.

විශාල ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දී සිටින මෙම ශ්‍රමිකයන්ගෙන් සුළු පිරිසක් සමෘද්ධිය වැනි සාමජ ආරක්ෂණයන් සඳහා අයදුම් කළ ද බොහෝ අය ප්‍රතික්ෂේප වී ඇති අතර, එලෙස ප්‍රතික්ෂේප වූවන්ගෙන් 56%ක් පවසන්නේ නිලධාරීන් අපේක්ෂා කළ ලිංගික අල්ලස් දීම ප්‍රතික්ෂේප කිරීම එයට හේතු වූ බවයි.

ඔවුන්ගෙන් 77%ක් ඒවාට අයදුම් කරන ආකාරය හෝ නොදැන, කිසි දිනෙක අයදුම් කර නොමැත.

කොවිඩ් වසංගත සමයේ දී සහ ආර්ථික අර්බුද සමයේ රැකියාව කිරීමට නොහැකි වීම සහ මෙවැනි සහනාධාරවලට අයදුම් කිරීමට නොහැකි වීම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇත.

සංක්‍රාන්තික ලිංගිකයන්ට ද හැඳුනුම්පත සකස් කරගැනිමේ දී මෙවැනි ම අර්බුදයන්ට මුහුණ දීමට සිදු ව තිබේ.

මෙය ඔවුන්ගේ දරුවන්ගේ ලියකියවිලි සඳහා ද ගැටලුවක් වී තිබේ.

එක් සංක්‍රාන්තික ලිංගික කාන්තාවක් පැවසුවේ තමා වසර 15කින් පමණ ඡන්දය භාවිත කර නොමැති බවයි.

රැකියාවේ ස්වභාවය අනුව තැනින් තැනට මාරුවන්නට සිදුවීම ද එයට එක් හේතුවක් බව ඇය පැහැදිලි කළා ය.

Indian sex workers and their family members attend a health check up in the Khalpara Red light area in Siliguri on July 1,2012. Hundreds of sex workers along with their family members attended the free clinic set up to celebrate national Doctors day and also bring awareness to HIV-AIDS. AFP PHOTO/ Diptendu DUTTA (Photo credit should read DIPTENDU DUTTA/AFP/GettyImages)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මාව චෙක් කරපු මිසී ඇහුවා ඔයාට ලැජ්ජ නැද්ද මේ රස්සාව කරන්න, ඕකෙන් අයින් වෙන්න කියලා," යැයි කාන්තාවක් පැවසුවා ය.

සෞඛ්‍ය ප්‍රශ්නය

අධ්‍යනය සමග අදහස් බෙදාගෙන ඇති ශ්‍රමිකයන්ගෙන් 80%ක් රජයේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සායනයට ගොස් තිබුණ ද, රජයේ රෝහල්වල ම පවත්වන "සුවනාරී සායන" සඳහා සම්බන්ධ වී තිබුණෙ ඉතා සුළු පිරිසකි.

65%ක් ම ඒ සඳහා සම්බන්ධ වී නොතිබූ අතර ඇතැමුන් එය කුමක් ද කියාවත් දැන නොසිටි බව නිකුත් කරන ලද වාර්තාවේ සඳහන්ය.

ශ්‍රී ලංකාව තුළ පවුල් සෞඛ්‍ය සම්බන්ධයෙන් ශක්තිමත් ජාලයක් ඇති නමුත් මෙම ලිංගික ශ්‍රමිකයන්ගෙන් 83%ක් කෙදිනකවත් සිය පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගෙන නොමැත.

කෙදිනකවත් එම නිලධාරිනියන් සිය නිවසට පැමිණ නැතැයි 76%ක් පවසා තිබේ.

සෞඛ්‍ය සායන සදහා ගිය ද ඔවුන්ට බොහෝවිට කාර්‍යමණ්ඩලවල වාචික හිංසනයන්ට ලක් වන්නට සිදු ව තිබේ.

"මාව චෙක් කරපු මිසී ඇහුවා ඔයාට ලැජ්ජ නැද්ද මේ රස්සාව කරන්න, ඕකෙන් අයින් වෙන්න කියලා," යැයි කාන්තාවක් පැවසුවා ය.

එමෙන් ම හදිසියේ ගැබ්ගැනීම් සිදු වීමත් සමඟ ද ඔවුන් ඇතැම්විට ප්‍රශ්නවලට මුහුණ දෙයි.

"ප්‍රෙග්නන්ට් වුණොත් අපි පෙත්තක් බොනවා. ඒ මාස තුනට අඩු නම්," යැයි එක් කාන්තාවක් පැහැදිලි කළා ය.

"මගේ මිතුරියක් ඒ පෙත්තක් අරගත්තා. දැන් එයාට බඩේ කැකුමක් එනවා. නමුත් බෙහෙත් ගන්න විදිහක් නෑ ඇත්ත හේතුව කියන්න වෙන නිසා. ඒ නිසා එයා වේදනාව ඉවසාගෙන ඉන්නවා."

රැකියාව ගැන පවුල දැනුවත් ව සිටින්නේ 13%කි. 25%ක් පවසා ඇත්තේ ඔවුන් එය දන්නවා යැයි සිතන බවයි. 50%කගේ ම පවුල්වල අය ඔවුන්ගේ රැකියාව ගැන දන්නේ නැත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රැකියාව ගැන පවුල දැනුවත් ව සිටින්නේ 13%කි. 25%ක් පවසා ඇත්තේ ඔවුන් එය දන්නවා යැයි සිතන බවයි. 50%කගේ ම පවුල්වල අය ඔවුන්ගේ රැකියාව ගැන දන්නේ නැත.

ලිංගික ශ්‍රමිකයන්ගේ දරුවන් සහ පවුල

"දරුවාව බලාගන්න පවුලෙන් උදවුවක් නැති නිසා දන්න කෙනෙක් ගාව දරුවා ව දාලා මම රස්සාවට යනවා. නිතර ම දරුවා මතක් වෙනවා. දරුවාට කරදරයක් වෙයි කියලා නිතර ම බයයි," යනුවෙන් කුඩා දරුවෙකුගේ මවක් වන එක් කාන්තාවක් පැවසුවා ය.

දරුවන්ට අවශ්‍ය රජයේ පෝෂණ අතිරේක ලබාගැනීමේ දී ද ඔවුන් ලිංගික ශ්‍රමිකයන් ලෙස සලකා වෙනස්කොට සැලකීම නිසා එම ආධාර ද නොලැබෙන බව ඇය පැවසුවා ය.

පාසල් යන වයසේ දරුවන් සිටින කාන්තාවන්ට ද දරුවන් පාසල්වලට ඇතුළත් කරවීමට විශාල අරගලයක් කිරීමට සිදු ව ඇත.

ඔවුන්ගෙන් 42%ක් විවිධ හේතුමත දරුවන් පාසල් යැවීම නතර කර ඇත.

3.5%කගේ දරුවන්ට පාසලේ දී ඔවුන්ගේ රැකියාව ගැන පවසා උසුළුවිසුළු කළ නිසා ඔවුන් පාසල් අධ්‍යාපනය අතහැර තිබේ.

1.5%කගේ දරුවන් පාසල්වලින් ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

"මේ රස්සාවෙ යෙදිලා ඉන්න මගේ මිතුරියකගෙ දරුවන් දෙන්නාට ඉස්කෝල 15කට වඩා මාරු වෙන්න වුණා. ඒ එයලාගෙ අම්මා ගණිකාවක් කියලා දැනගත්තාට පස්සේ," යැයි තවත් කාන්තාවක කියා සිටියාය.

ඇය පැවසුවේ අවසානයේ ඇගේ මිතුරිය දරුවන් දෙදෙනාව වෙනත් කෙනෙකු ලවා පාසකට ඇතුළත් කර නේවාසික ව තබා අධ්‍යාපනය ලබා දෙන බවයි.

දරුවන් පාසල් යවන 58%කගෙන් එක් අයෙකුගේ දරුවෙකු පමණක් උසස් අධ්‍යාපනය ලබමින් සිටින අතර එම ප්‍රතිශතයෙන් සාමාන්‍ය පෙළ පන්තිවල අධ්‍යාපනය ලබන්නේ 5%කි.

දරුවන් සිය රැකියාව පිළිබඳ දැනගනු ඇතැයි ඇතැම් අය සිත්තැවුලට පත් ව සිටිති.

රැකියාව ගැන පවුල දැනුවත් ව සිටින්නේ 13%කි. 25%ක් පවසා ඇත්තේ ඔවුන් එය දන්නවා යැයි සිතන බවයි. 50%කගේ ම පවුල්වල අය ඔවුන්ගේ රැකියාව ගැන දන්නේ නැත.

එනිසා ම එවැනි දේ හෙළි වූ විට නිවසින් නෙරපා දැමීම, දික්කසාද කිරීම, හැරයාම වැනි දේවලට ද ඔවුන් මුහුණ දී තිබේ.

මෙම ශ්‍රමිකයන් බොහෝ දෙනෙක් සිය ගම්පළාතෙන් පිට රැකියාවේ නිරතවෙති. ඒ සිය පවුලේ අය දැනගනිතැයි වන බිය නිසාවෙනි.

"මේ රස්සාවෙ යෙදිලා ඉන්න ගේ මිතුරියකගෙ දරුවන් දෙන්නාට ඉස්කෝල 15කට වඩා මාරු වෙන්න වුණා. ඒ එයලාගෙ අම්මා ගණිකාවක් කියලා දැනගත්තාට පස්සේ,"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ රස්සාවෙ යෙදිලා ඉන්න ගේ මිතුරියකගෙ දරුවන් දෙන්නාට ඉස්කෝල 15කට වඩා මාරු වෙන්න වුණා. ඒ එයලාගෙ අම්මා ගණිකාවක් කියලා දැනගත්තාට පස්සේ"

'කළ යුත්තේ ලිංගික ශ්‍රමිකත්වය නීතිගත කිරීම නොව වරදක් නොවන බවට පත්කිරීම'

වාර්තාවේ කතුවරියක වන පබා දේශප්‍රිය බිබීසී සිංහල සමඟ අදහස් දක්වමින් පැවසුවේ "කළ යුත්තේ ලිංගික ශ්‍රමිකත්වය නීතිගත කිරීම නොව වරදක් නොවන බවට පත්කිරීම," යැයි පැවසුවා ය.

"ගණිකා වෘත්තිය නීතිගත කළොත් ඔවුන් තවත් ලේබල් වෙනවා. ඒනිසා ඔවුන්ට එරෙහිව බහුලව ම පාවිච්චි කරන 'පාදඩ ආඥා පනත' වගේ යල්පැනගිය නීති ඉවත් කරලා ඒක වරදක් නොවෙයි කියන දේ සමාජයට යන්න ඕනෑ. එතකොට ඔවුන්ට අහිමි වෙලා තියෙන මානව අයිතිවාසිකම් හා සමාජ ආරක්ෂණයන් බාධාවකින් තොර ව ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කරන්න පුළුවන්," ඇය කියා සිටියාය.

මෙම වාර්තාවෙන් ලිංගික ශ්‍රමික ප්‍රජාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට නිර්දේශ ද ඉදිරිපත් කර තිබේ.

ඔවුන් ද මූලික අයිතිවාසිකාම් සහිත පුද්ගලයන් යයි පොලිසියට, සෞඛ්‍ය සේවා වල නිලධාරීන්ට තේරුම් කරවන පුහුණු වැඩසටහන් සිදු කිරීමට යෝජනා කර ඇති අතර, පාදඩ ආඥා පනත හා ගණිකා නිවාස ආඥා පනත තුළ ඇති වරදේ අර්ථ නිරූපණ සම්බන්ධ ගැටලු නිසා ඒවායේ එම "වරද" ඉවත් කළ යුතු බව දක්වා ඇත.

ලිංගික ශ්‍රමිකයන් ව අයිතිවාසිකම් ගැන පුහුණුවලට ද ඇතුළත් කරගන්නා ලෙස මෙම වාර්තාවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවලට යෝජනා කරයි.

"ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ කතාන්දර හද පාරවන සුලු ය. ඔවුන්ට කතා කරන ස්වරූපය සහ යොදාගන්නා වචන ද හද පාරවන සුලු ය."

"ලිංගික ශ්‍රමිකයන්ගේ රාජකාරිය ද රාජකාරියකි. ලිංගික ශ්‍රමිකයන්ට ද අයිතීන් ඇත. ඒවා, සමාජය විසින් විකෘති ලෙස දකින සහ බොහෝ විට පිළිගැනීම ප්‍රතික්ෂේප කරන කාරණා ය." යැයි මෙම වාර්තාවේ විශේෂඥ මඩුල්ලේ සාමාජිකා, ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන් එහි ලියා තිබේ.