කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වෙයි
- Author, මයික් වෙන්ඩ්ලිං
- Role, බීබීසී පුවත්
තමාගේම පක්ෂයෙන් වර්ධනය වන පීඩනය යටතේ, කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ධූරයෙන් ඉල්ලා අස්වන බවත්, පක්ෂ නායකයා ලෙස වසර නවයක ධූර කාලය අවසන් කරන බවත් අද නිවේදනය කළේය.
තම ලිබරල් පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීමට හැකි වන තෙක් තමා ධුරයේ රැඳී සිටින බවත්, මාර්තු 24 දක්වා පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීම හෝ අත්හිටුවන බවත් ටෲඩෝ පැවසීය.
"ඊළඟ මැතිවරණයේදී මේ රටට සැබෑ තේරීමක් ලැබිය යුතු වනවා, මට අභ්‍යන්තර සටනක් කරන්න සිදුවුණොත් එම මැතිවරණයේදී මාහට හොඳම විකල්පය විය නොහැකි බව මට පැහැදිලි වී තිබෙනවා," ඔහු සඳුදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ටෲඩෝට කැනේඩියානුවන්ගෙන් ඇති පුද්ගලික අප්‍රසාදය හේතුවෙන් මේ වසර අගදී පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණයේදී කල්තියාම ඔහුගේ පක්ෂයේ ප්‍රතිඵලයට වැඩි බලපෑමක් එල්ල වීමට ඉඩ තිබිණි.
"ඊයේ රාත්‍රියේ, රාත්‍රී ආහාරය අතරතුර, මම අද ඔබ සමඟ බෙදා ගන්නා තීරණය ගැන මං මගේ දරුවන්ට කිව්වා," ඔහු ඔටාවා හි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
"පක්ෂය රටපුරා තරගකාරී ක්‍රියාවලියක් හරහා මීළඟ නායකයා තෝරා ගැනීමෙන් පසුව, මම පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරනවා," ඔහු පැවසීය.
53 හැවිරිදි අග්‍රාමාත්‍යවරයාට ධූරයෙන් ඉවත්වන ලෙසට ඔහුගේ ම ලිබරල් පක්ෂය තුළින් ඉල්ලීම් වලට මුහුණ දීමට සිදු වූයේ, දෙසැම්බර් මාසයේදී නියෝජ්‍ය අගමැති සහ දිගුකාලීන සගයෙකු වූ ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් හදිසියේ ඉල්ලා අස්වීමත් සමගය. ආනයනික කැනේඩියානු භාණ්ඩ සඳහා තීරු බදු පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල් ට්‍රම්ප්ගේ තර්ජන බරපතල ලෙස භාර නොගැනීම සම්බන්ධයෙන් ටෲඩෝ අසාර්ථක බවට ඇයගෙන් විවේචන එල්ල විය.
ප්‍රසිද්ධ ඉල්ලා අස්වීමේ ලිපියක් මගින් ඇය ට්‍රම්ප්ගේ යෝජනා මගින් එල්ල කරන ලද "බරපතල අභියෝගය" ආමන්ත්‍රණය කිරීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නා බවට ටෲඩෝට චෝදනා කළාය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ආනයනික කැනේඩියානු භාණ්ඩ සඳහා 25% ක බද්දක් පැනවීමට ට්‍රම්ප් පොරොන්දු වී ඇති අතර කැනඩාව තම හවුල් දේශසීමාවේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර නොගතහොත් කැනඩාවේ ආර්ථිකයට සැලකිය යුතු හානියක් සිදුවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.
ෆ්‍රීලන්ඩ් ඇගේ තනතුරේ දිගටම රැඳී සිටිනු ඇතැයි තමා බලාපොරොත්තු වූ බව ටෲඩෝ සඳුදා පැවසීය, "නමුත් ඇය වෙනත් තෝරා ගැනීමක් කළා."
ටෲඩෝ යටතේ, ලිබරල් පක්ෂය කුඩා පක්ෂ කිහිපයක සහාය ඇතිව සුළුතර පක්ෂයක් ලෙස පාලනය කර ඇති, නමුත් ඉහළ උද්ධමනය සහ නිවාස මිල සමඟ සටන් කිරීමට උත්සාහ කරන අතරම සන්ධානය එකට තබා ගැනීමට අගමැතිවරයාට අරගලයක නිරත වීමට සිදුවිය.
ෆ්‍රීලන්ඩ්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව, ලිබරල් පක්ෂයට බලය පවත්වා ගැනීමට සහය දුන් පක්ෂවල සහාය ටෲඩෝට අහිමි විය - ක්විබෙක් ජාතිකවාදී පක්ෂය, බ්ලොක් ක්විබෙකොයිස් සහ වාම නැඹුරුවක් ඇති නව ප්‍රජාතන්ත්‍රවාදීහූ ඒ අතර වූහ.
විශාලතම විරුද්ධ පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂය, මාස ගණනාවක් තිස්සේ පැවති මතවිමසුම්වලදී ලිබරල්වාදීන්ට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටින බව අනාවරණය වී තිබේ. - අද මහ මැතිවරණයක් පැවැත්වුවහොත්, ලිබරල්වාදීන් සැලකිය යුතු පරාජයක් අත්විදිය හැකි බවට එමගින් යෝජනා වී තිබේ.
පක්ෂයේ දේශපාලන අර්බුය කියා පාමින්, පක්ෂයේ ඡන්ද බලකොටු ලෙස පැවති ටොරොන්ටෝ සහ මොන්ට්‍රියල් ඇතුළුව, පසුගිය මාසවල පැවති විශේෂ මැතිවරණ මාලාවක් ද ලිබරල් පක්ෂය පරාජයට පත් විය.
බදාදා තම පක්ෂයේ ජාතික නියෝජිත රැස්වීමට පෙර ටෲඩෝ ඉල්ලා අස්වීමට අදහස් කළේය.
ටෲඩෝගේ ඉල්ලා අස්වීම කලින් ඡන්දයක් ඉල්ලා සිටීමට ඉඩ ඇති අතර, ලිබරල්වාදීන් පක්ෂය මීළඟ මැතිවරණයට ගෙන යාමට දැන් නව නායකයෙකු තෝරා ගනු ඇත, එය ඔක්තෝබර් 20 හෝ ඊට පෙර පැවැත්විය යුතුය.
ටෲඩෝ යුගයේ අවසානය
ටෘඩෝ යනු 1970 සහ 80 දශකවල රටේ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ කැනේඩියානු අගමැති පියරේ ටෘඩෝගේ පුත්‍රයාය.
"Sunny Ways" හි නව, ප්‍රගතිශීලී යුගයක් ආරම්භ කිරීමේ පොරොන්දුව මධ්‍යයේ 2015 දී ලිබරල් පක්ෂය අතිවිශාල බහුතරයක් දිනා ගැනීමෙන් පසු තරුණ ටෘඩෝ අගමැති විය.
ඔහුගේ වාර්තාවට ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා කළ කැපවීම ඇතුළත් වේ, එනම් අඛණ්ඩව 50%ක කාන්තා නියෝජනයක් පවත්වා ගැනීම; කැනඩාවේ ආදිවාසීන් සමඟ සංහිඳියාවේ ප්‍රගතිය; ජාතික කාබන් බද්දක් ගෙන ඒම; පවුල් සඳහා බදු රහිත ළමා ප්‍රතිලාභ ක්‍රියාත්මක කිරීම; සහ විනෝදාත්මක භාවිතය උදෙසා ගංජා නීතිගත කිරීම ඇතුළත් වේ.
නමුත් මෑත වසරවලදී, දූෂණ චෝදනාවලට මුහුණ දී සිටින කැනේඩියානු සමාගමක් සමඟ ඇති කරගත් ගනුදෙනුවක් පිළිබඳ මතභේදයක් සහ අගමැති බ්‍රවුන්ෆේස් මේකප් පැළඳ සිටින ඡායාරූප ඇතුළු බොහෝ විට ස්වයං-නිර්මාණය කරන ලද අපකීර්ති මාලාවකට මුහුණ දුන් ටෘඩෝගේ රජය අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට පටන් ගත්තේය.
2019 දී ලිබරල්වාදීන්ට ඔවුන්ගේ බහුතරය අහිමි වූ අතර එතැන් සිට සුළු ජාතික පක්ෂයක් ලෙස ආණ්ඩු කළේය. 2021 සැප්තැම්බර් මාසයේදී ටෲඩෝ විසින් කැඳවන ලද හදිසි ෆෙඩරල් මැතිවරණයකින් ලිබරල්වාදීන්ට තවත් සුළුතර රජයක් භාර දුන්නේ, වසංගතය අතරතුර ඡන්ද පොළට යාම ගැන ඡන්දදායකයින් කලකිරීම ප්‍රකාශ කළ බැවිනි.
කොවිඩ් එන්නත් විධාන සහ අනෙකුත් සීමා කිරීම් ඇතැම් කැනේඩියානුවන් විසින් දැඩි ප්‍රතික්‍රියාවකට ලක්කළ අතර, 2022 මුල් භාගයේ එය රථ පෙළපාලි විරෝධතාවලට තුඩු දුන්නේය. අවසානයේ ටෲඩෝ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පෙර නොවූ විරූ හදිසි බලතල භාවිතා කළේය.
කැනඩාව වසංගත තත්ත්වයෙන් මිදීමට පටන් ගැනීමත් සමග නිවාස හා ආහාර මිල ගණන් අහස උසට නැඟුණු අතර, ඔහුගේ රජය අභිලාෂකාමී සංක්‍රමණික ඉලක්ක වෙත ආපසු යෑමට තැත් කළේය.
2024 අග වන විට, ටෲඩෝගේ අනුමත ශ්‍රේණිගත කිරීම අවම මට්ටමක පැවතුනි - එක් මත විමසුමකට අනුව, කැනේඩියානුවන්ගෙන් 22% ක් පමණක් ඔහු හොඳ කාර්යයක් කරන බව පිළිගෙන තිබුණි.
කැනඩාවේ මීළඟ ෆෙඩරල් මැතිවරණය 2025 ඔක්තෝබර් 20 හෝ ඊට පෙර පැවැත්විය යුතුය, නමුත් ටෲඩෝගේ ඉල්ලා අස්වීම හේතුවෙන් කලින් ඡන්දයක් ඉල්ලා සිටීමට ඉඩ ඇත.
මැතිවරණ ව්‍යාපාරය හරහා කවුරු අගමැති ලෙස බලයට පත් වුවද ලිබරල් පක්ෂයට නායකත්වය දීමට මෙන්ම එක්සත් ජනපදය සමඟ ඇති විය හැකි වෙලඳ යුද්ධයකට මුහුණ දීමට සිදුවනු ඇත















