එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා යෝජනාවක් සම්මත කරයි

වීඩියෝ ශීර්ෂ වැකිය, නරඹන්න: ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්මත වූ මොහොත

ගාසා තීරය තුළ "වහා සටන් විරාමයකට" එළඹෙන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඉල්ලා සිටියේ, එක්සත් ජනපදය තම පෙර ස්ථාවරය වෙනස් කරමින් මෙම පියවරට එරෙහි වීමට සිය නිශේධ බලය භාවිත නොකිරීමෙන් පසුව ය.

සියලු ප්‍රාණ ඇපකරුවන් වහා ම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය එහිදී ඉල්ලා සිටියේ ය.

ඔක්තෝබර් මාසයේ යුද්ධය ආරම්භ වීමෙන් පසු අසාර්ථක උත්සහයන් කිහිපයකින් අනතුරුව කවුන්සිලය සටන් විරාමයක් ඉල්ලා සිටි පළමු අවස්ථාව මෙය වේ.

එක්සත් ජනපදයේ මෙම පියවර, ගාසා තීරයේ ඊශ්‍රායලය සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් මෙන් ම ඇමෙරිකාව සහ එහි මිත්‍ර ඊශ්‍රායලය අතර වැඩෙන විරසකයක් පිළිබඳව සංඥා කරයි.

අසාමාන්‍ය දැඩි ස්වරයකින්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වූයේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමක් සඳහා පමණක් සටන් විරාමයකට එළඹීම සම්බන්ධයෙන් පෙර පැවති ස්ථාවරය එක්සත් ජනපදය "අත්හැර දැමූ" බව ය.

"ශෝචනීය ලෙස එක්සත් ජනපදය නව යෝජනාවට එරෙහිව තම නිෂේධ බලය පාවිච්චි කළේ නැහැ," එහි සඳහන් විය.

එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වූයේ, එය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ප්‍රයත්නයන්ට හානි කළේ, රඳවා ගෙන සිටින පිරිස නිදහස් නොකර, සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා ඊශ්‍රායලයට ජාත්‍යන්තර වශයෙන් බලපෑම් කිරීම යොදා ගත හැකි බවට හමාස් සංවිධානයට බලාපොරොත්තුවක් දෙමින් බව ය.

ඊශ්‍රායල නියෝජිත පිරිසක් සහ එක්සත් ජනපද නිලධාරීන් අතර වොෂින්ටනයේදී මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම් අවලංගු කිරීමට නෙතන්යාහු තීරණය කළ බවට ද එහි සඳහන් විය.

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් රඳවාගෙන සිටින තුරු ඊශ්‍රායලය තම යුද්ධය නතර නොකරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

එක්සත් ජනපදයේ මෙම පියවර, ගාසා තීරයේ ඊශ්‍රායලය සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් මෙන් ම ඇමෙරිකාව සහ එහි මිත්‍ර ඊශ්‍රායලය අතර වැඩෙන විරසකයක් පිළිබඳව සංඥා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපදයේ මෙම පියවර, ගාසා තීරයේ ඊශ්‍රායලය සිදු කරන ප්‍රහාර සම්බන්ධයෙන් මෙන් ම ඇමෙරිකාව සහ එහි මිත්‍ර ඊශ්‍රායලය අතර වැඩෙන විරසකයක් පිළිබඳව සංඥා කරයි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිත රියාද් මන්සූර් යෝජනාව පිළිගත් නමුත් එය පැමිණියේ ප්‍රමාද වී බව පැවසීය.

"මේ කවුන්සිලයට අවසානයේ වහා ම සටන් විරාමයකට එළඹෙන්න කියලා ඉල්ලන්න මාස හයක් ගත වුණා. පලස්තීනුවන් 100,000කට අධික සංඛ්‍යාවක් ඝාතනය වෙලා ආබාධිත වුණා, මිලියන දෙකක් අවතැන් වුණා වගේ ම සහ සාගතයකට ගොදුරු වුණා," මන්සූර් පැවසීය.

ඔක්තෝබර් 7 දා ඊශ්‍රායලය වෙත පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කරමින් යුද්ධය ඇවිළ වූ, ගාසා තීරය පාලනය කරන පලස්තීන ඉස්ලාමීය කණ්ඩායම වන හමාස් සංවිධානය ද මෙම යෝජනාව පිළිගත්තේ ය. "දෙපාර්ශවයේ ම සිරකරුවන් නිදහස් කිරීමට තුඩු දෙන ක්ෂණික සිරකරුවන් හුවමාරු කිරීමේ ක්‍රියාවලියකට එළඹීමට" තමන් සූදානම් බව එම සංවිධානය පැවසීය.

ඕනෑ ම ප්‍රාණ ඇපකරුවෙකු නිදහස් කිරීම සඳහා ඊශ්‍රායල සිරකඳවුරුවල සිටින පලස්තීනුවන් නිදහස් කළ යුතු ය යන කොන්දේසියක් ඔවුන් විසින් පනවනු ලැබ ඇත.

සඳුදා පැවති ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසීමේදී එක්සත් ජනපදය ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ඉතිරි සාමාජිකයින් 14 දෙනා පක්ෂව ඡන්දය ලබා දුන්හ.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් සඳහා සූක්ෂම සාකච්ඡා සහ ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම් අඛණ්ඩව සිදුවෙමින් තිබියදී එවැනි පියවරක් ගැනීම වැරදි බව පවසමින් එක්සත් ජනපදය මීට පෙර සටන් විරාමයක් ඉල්ලා සිටි යෝජනා අවහිර කර තිබිණි.

නමුත් බ්‍රහස්පතින්දා ඔවුන් තමන්ගේ ම කෙටුම්පත සභාගත කළ අතර, එය ඊශ්‍රායලය කෙරෙහි තම ස්ථාවරය දැඩි කරමින් සටන් විරාමයක් සඳහා ප්‍රථම වතාවට ඉල්ලා සිටියේ ය.

සමස්ත ජනගහනයම ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බව පවසන ගාසා තීරයට ආධාර ලබා දීම සඳහා වැඩි යමක් කරන ලෙස එක්සත් ජනපදය ඊශ්‍රායලයට බලපෑම් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සමස්ත ජනගහනයම ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන බව පවසමින්, ගාසා තීරයට ආධාර ලබා දීම සඳහා වැඩි යමක් කරන ලෙස එක්සත් ජනපදය ඊශ්‍රායලයට බලපෑම් කර ඇත.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසුවේ, යෝජනාව සම්මත කිරීමට එක්සත් ජනපදය ගත් තීරණය "අපගේ ප්‍රතිපත්තියේ වෙනසක්" වූ බව අදහස් නොකරන බව ය. එක්සත් ජනපදය සටන් විරාමයකට සහය දුන් නමුත් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා නොදුන්නේ එහි හමාස් සංවිධානය හෙළා දැක නැති නිසා යැයි ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසුවේ, සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීමට සහ "සියලු ප්‍රාණ ඇපකරුවන් වහා ම සහ කොන්දේසි විරහිතව නිදහස් කර ගැනීම" සඳහා යෝජනාව "අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු" බව ය.

2009 සිට 2015 දක්වා එක්සත් ජාතීන්ගේ එක්සත් රාජධානියේ නියෝජිතයා ලෙස කටයුතු කළ මාර්ක් ලයල්-ග්‍රාන්ට් BBC Radio 4 PM වෙත පැවසුවේ, මෙම යෝජනාවෙන් අදහස් කරන්නේ, ඊශ්‍රායලය දැන් "ඉඳුරා ම ඉදිරි දින 15 තුළ සිය හමුදා මෙහෙයුම නැවැත්වීමට බැඳී සිටින" බව ය. පලස්තීන කණ්ඩායම රාජ්‍යයක් නොවන බැවින් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය නීත්‍යනුකූලව බැඳී ඇති නමුත් හමාස් සංවිධානය වෙත එසේ නොවන බව ද ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා සිය නිෂේධ බලය භාවිත කළ බවට මීට පෙර එක්සත් ජනපදයට චෝදනා එල්ල විය.

සඳුදා ගාසා තීරයට ඉහළින් RAF ගුවන් යානයකින් බ්‍රිතාන්‍ය ආධාර අතහැර දමනු ලැබේ

ඡායාරූප මූලාශ්‍රය, UK Ministry of Defence/ PA

ඡායාරූප ශීර්ෂ වැකිය, RAF ගුවන් යානයකින් සඳුදා ගාසා තීරයට ඉහළින් බ්‍රිතාන්‍ය ආධාර ගුවනින් මුදා හැරි ආකාරය

ගාසා තීරයේ ඉහළ යන මරණ ගණන හමුවේ, එනම්, ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාරවලින් 32,000කට වැඩි පිරිසක් (ප්‍රධාන වශයෙන් කාන්තාවන්) මියා යාම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එල්ල වන විවේචන වැඩි වී තිබේ.

එක්සත් ජනපදය ඊශ්‍රායලයට බලපෑම් කර ඇත්තේ ගාසා තීරයට ආධාර ලැබීමට ඉඩ සැලසීම සඳහා වැඩි යමක් කරන ලෙස ය. එහි සමස්ත ජනගහනය ම උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයකින් දැඩි ලෙස පෙළෙන බව ඔවුහු පවසති.

ඊශ්‍රායලය ආධාර ලබා දීමට බාධා කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරන අතර බෙදාහැරීම් සිදුකිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දොස් පවරා තිබේ.

හමාස් තුවක්කුකරුවන් දේශසීමා හරහා කඩා වැදී ඊශ්‍රායල ප්‍රජාවන්ට පහර දී 1,200ක් පමණ ඝාතනය කර 253 දෙනෙකු ගාසා තීරය වෙත ප්‍රාණ ඇපකරුවන් ලෙස [ඊශ්‍රායල ගණන් බැලීම්වලට අනුව] රැගෙන යාමෙන් පසුව යුද්ධය ආරම්භ විය.

නිදහස් කිරීම්, මුදාගැනීම් සහ මළ සිරුරු හමුවීම් ආදිය සිදු වුව ද රැගෙන ගිය අයගෙන් 130 දෙනෙකු පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැත.