හුදෙකලා හමුදා දූපතක රඳවා සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් බ්‍රිතාන්‍යයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ඇලිස් කුඩී සහ ස්වාමිනාදන් නටරාජන්
- Role, බීබීසී පුවත්
වසර තුනකට වැඩි කාලයක් ඉන්දියන් සාගරයේ දූරස්ථ දූපතක් වන දියෙගෝ ගාර්සියාහි අතරමංව සිටි සංක්‍රමණිකයන් එක්සත් රාජධානියට ගෙන එනු ලැබ තිබේ.
මෙම ශ්‍රී ලාංකික දෙමළ සංක්‍රමණිකයින්ට බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව මාස හයක් රට තුළ රැඳී සිටීමට අවසර ඇති බව බීබීසීය විසින් අනාවරණය කර ගත් ලේඛනවල දැක්වේ.
ඔවුන් එක්සත් රාජධානියට ගිය ගමන ඔවුන්ගේ ඉරණම සම්බන්ධයෙන් සැතපුම් දහස් ගණනක් පුරා ගෙන ගිය සංකීර්ණ නීතිමය සටන්වල අවසානය සනිටුහන් කරන නමුත් ඔවුන්ගේ දිගුකාලීන අනාගතය අවිනිශ්චිතව පවතී.
සංක්‍රමණිකයින් 60 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ වැඩි දෙනෙක් 2021 ඔක්තෝම්බර් මාසයේ සිට, දියෙගෝ ගාර්සියා හි තාවකාලික කඳවුරක වාසය කරති. උපායමාර්ගික වශයෙන් වැදගත් වන එක්සත් රාජධානි-එක්සත් ජනපද හමුදා කඳවුරක් පිහිටි දියෙගෝ ගාර්සියාහි සරණාගත ඉල්ලීම් ගොනු කළ පළමු සංක්‍රමණිකයින් වන්නේ මොවුන් ය.

සඳුදා, බ්‍රිතාන්‍ය රජයේ ප්‍රකාශකයෙකු මෙම ක්‍රියාමාර්ගය විස්තර කළේ “මෙම නඩුවල සුවිශේෂී ස්වභාවය සහ ඔවුන්ගේ සුබසාධනය සඳහා ගත් පියවරක් ලෙස” ය.
"පසුගිය පාලනය යටතේ වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු ගැඹුරු කරදරකාරී තත්ත්වයක් මේ රජයට භාර ගන්න වුණා," ප්‍රකාශකයා පැවසීය. සමහර සංක්‍රමණිකයන් නියෝජනය කරන එක්සත් රාජධානියේ නීති සමාගමක් වන ලී ඩේ හි ටෙසා ග්‍රෙගරි පැවසුවේ දිවයිනේ "මානුෂීය අර්බුදය අවසන් කිරීමට ඇති එකම සංවේදී විසඳුම" මෙය බවයි.
"ළමයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම අවදානමට ලක්විය හැකි කණ්ඩායම මාස 38ක් ක්‍රවුන් භූමියේ ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ රඳවලා තිබ්බා... අපගේ ගනුදෙනුකරුවන්ට දැන් ආරක්ෂිත තෝතැන්නක් සොයා ගිහිං ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා," ඇය පැවසුවාය.
දියෙගෝ ගාර්සියා සහ එහි සංක්‍රමණික කඳවුරට ප්‍රවේශ වීමට මෙම වසර මුලදී බීබීසීයට පෙර නොවූ විරූ ආකාරයේ අවස්ථාවක් ලැබුණි, එහි දෙමළ සංක්‍රමණිකයින් කණ්ඩායම් වශයෙන් හමුදා කූඩාරම්වල නවාතැන් ගෙන සිටි අතර, සමහර කූඩාරම් තුළ ජල කාන්දුවීම් සහ මී ගුල් ද පැවතුණි.
මෙම සංක්‍රමණිකයින් දිවයිනේ රඳවා සිටි කාලය තුළ එහි පැවති දුෂ්කර තත්ත්වයට එරෙහිව ඔවුන් උපවාස කිහිපයක නිරත වූ අතර ශාරීරික හානි සිදුකර ගැනීම් සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීමේ සිද්ධි රැසක් පැවති අතර, පසුව සමහර පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රුවන්ඩාවට මාරු කරන ලදී.
කඳවුර තුළ ලිංගික අපයෝජන සහ හිරිහැර කිරීම් පිළිබඳ චෝදනා ද එල්ල විය.
සංක්‍රමණිකයන් බීබීසීයට පවසා තිබුණේ, එය "අපායේ" ජීවත් වීමට සමාන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Supplied
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
රුවන්ඩාවේ සිටින අය ද එක්සත් රාජධානියට රැගෙන ඒමට නියමිතය.
එක් අයෙක් බීබීසීයට පැවසුවේ "මම අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. මගේ සෞඛ්‍යය යහපත් අතට හැරෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා, මම අලුත් පුද්ගලයෙකු බවට පරිවර්තනය වෙනවා."
අපරාධවලට වරදකරුවන් වූ දෙදෙනෙකු සහ විමර්ශනයට ලක්ව සිටින තවත් අයෙකු දිවයිනේ තවමත් රඳවා සිටින බව බීබීසීය අනාවරණය කර ගත්තේ ය.
එක්සත් රාජධානියට මෙම දෙමළ සංක්‍රමණිකයින් පැමිණෙන්නේ, ඔවුන් රඳවා සිටි භූමියේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව මධ්‍යයේ ය.
දියෙගෝ ගාර්සියා කොටසක් වන චාගෝස් දූපත් වල පාලනය මොරිෂස් වෙත පවරා දෙන බව එක්සත් රාජධානිය ඔක්තෝම්බර් මාසයේදී නිවේදනය කළේය. නමුත් නව මොරිෂස් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ඔහුගේ පූර්වගාමියා විසින් සිදු කරන ලද සහ තවමත් අත්සන් කිරීමට ඇති ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට වෙනත් අදහසක් ඇති බැවින්, ස්වාධීන සමාලෝචනයක් කැඳවා ඇති බවය.
මෙම සැලැස්ම එක්සත් රාජධානියේ ඇතැම් දේශපාලනඥයින්ගේ සහ එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මිත්‍ර පාක්ෂිකයින්ගේ විරෝධයට ලක්ව තිබේ.
එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමි එම විවේචන ප්‍රතික්ෂේප කර ඇති අතර, එය මොරිෂස් සහ එක්සත් රාජධානිය යන රාජ්‍යයන් දෙකටම "හොඳ ගනුදෙනුවක්" ලෙස විස්තර කර ඇති ඔහු එය දියෙගෝ ගාර්සියා කඳවුරේ අනාගතය පිළිබඳ එක්සත් ජනපදය මතු කරන කරුණ ආමන්ත්‍රණය කරන බව ය.
මෑත වසරවලදී, මෙම භූමිය වෙනුවෙන් එක්සත් රාජධානිය පවුම් මිලියන දස දහස් ගණනක් වැය කර ඇති අතර, මෙයින් වැඩි ප්‍රමාණයක් "සංක්‍රමණික වියදම්" යටතේ වර්ගීකරණය කර ඇත.
ජුලි මාසයේදී විදේශ කාර්යාල නිලධාරීන්ගෙන් බීබීසීය විසින් ලබාගත් සන්නිවේදනයන් අනතුරු ඇඟවූයේ, ඔවුන් එහි රැඳී සිටියහොත්, "පිරිවැය වැඩි වන අතර, නවතම අනාවැකිය අනුව එය වසරකට පවුම් මිලියන 50 ක් වනු ඇති බව" ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ස්වදේශ කටයුතු කාර්යාලයෙන් සිකුරාදා දෙමළ ජාතිකයින්ට යවන ලද ලිපිවල, එක්සත් රාජධානියට තාවකාලික ඇතුල්වීමේ අවසරය ලබා දෙන බව දන්වා ඇත්තේ, මෙය ඔවුන්ට ඔවුන්ගේ "දිගුකාලීන විකල්පයන්" සලකා බැලීමට ඉඩ සැලසීම සඳහා "ආගමන නීතිවලට පිටින්" ගත් ක්‍රියා මාර්ගයක් ලෙස ය.
මෙම අවස්ථාව "එක්සත් රාජධානියේ ස්ථිර පදිංචි කිරීමක් හෝ එක්සත් රාජධානියේ රජය විසින් සරණාගත තත්ත්වය පිළිගැනීමක්" නොවන බව අවධාරණය කර ඇති අතර, මෙම සංක්‍රමණිකයින් කණ්ඩායමට වැඩ කිරීමට අවසර නොදෙන බවද ස්වදේශ කටයුතු කාර්යාලය සඳහන් කර තිබේ.
බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර ප්‍රදේශය (Biot) ලෙස හැඳින්වෙන චාගෝස් දූපත් එක්සත් රාජධානියෙන් "ව්‍යවස්ථාපිතව වෙනස්" බවත්, මෙම අසාමාන්‍ය තත්ත්වය දිගු නීතිමය ආරවුලකට තුඩු දෙන බවත් රජය පවසයි.
සරණාගත තත්ත්වයට සමාන හෝ ප්‍රතික්ෂේප කිරීම්වලට එරෙහිව අභියාචනා කළ හැකි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන - ජාත්‍යන්තර ආරක්ෂාව සඳහා වන ඉල්ලීම් පිළිබඳ අවසන් තීරණ එනතුරු බොහෝ දෙමළ ජනතාව බලා සිටිති.
සමස්තයක් වශයෙන්, අට දෙනෙකුට ජාත්‍යන්තර ආරක්ෂාව ලබා දී ඇත, ඉන් අදහස් වන්නේ ඔවුන් ට යළි ශ්‍රී ලංකාවට යා නොහැකි බව යැයි බීබීසී ය අවබෝධකර ගෙන තිබේ.
දෙමළ ජනයා එක්සත් රාජධානියට ගෙන ඒම "පිටුපස දොරින් විවෘත වූ සංක්‍රමණ මාර්ගයක්" නිර්මාණය කිරීමේ අවදානමක් ඇති බව අනුප්‍රාප්තික ආන්ඩු මීට පෙර පවසා තිබිණි.
නමුත්, එවැන්නක් සිදු නොවන බව සහතික කිරීමට කටයුතු සම්පාදනය කර ඇතැයි රජය සඳුදා ප්‍රකාශ කළේ, අනාගතයේ පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයින් සැතපුම් 5,000 ක් පමණ දුරින් පිහිටි එක්සත් රාජධානියට අයත් තවත් භූමියක් වන ශාන්ත හෙලේනා වෙත යැවීමේ සැලැස්මක් උපුටා දක්වමිනි.
"මොරිෂස් සමඟ ස්වෛරී ගිවිසුම සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වූ පසු, අනාගතයේ පැමිණෙන සංක්‍රමණිකයන්ගේ වගකීම ඔවුන් භාර ගනී," ප්‍රකාශකවරයා පැවසීය.














