දරුවන් ලැබීමෙන් පසු සැමියන් සහ භාර්යාවන් එකිනෙකා කෙරෙහි ඇති ආදරය සහ ලිංගික ජීවිතය පවත්වා ගන්නේ කෙසේ ද?

Young couple argue

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, එමිලි හෝල්ට්
  • කියවීමේ කාලය: මිනිත්තු 5

රෙබෙකා පසුගිය වසර දහයක කාලය පුරා ම තම සැමියා සමග ජීවත්ව සිටින නමුත්, පසුගිය වසර තුන තුළ දරුවන් තිදෙනා උපත ලැබීමෙන් අනතුරුව ඇය ඔහුගෙන් දුරස් වී තිබේ.

"අපි එකට ජීවත් වෙනවා විතරයි. අපි අඹු සැමියන් දෙදෙනෙක් නෙවෙයි, අපි මව්පියන් විතර යි."

අනෙක් බොහෝ මව්පියන් සේ ම ඔවුන් දෙදෙනාට ද එකට කාලය ගත කිරීම අපහසු වී ඇත.

"අපේ දරුවන් හරි ම පොඩි යි, ගොඩක් අවධානය ඉල්ලනවා. ඉතිං අපිට විනාඩි පහක්වත් සොයාගන්න අමාරු යි," රෙබෙකා පවසයි. "දවස ඉවර වෙනකොට අපි දෙන්න ම ගොඩක් වෙහෙසට පත්වෙලා."

ඇය පවසන්නේ, පළමු දරුවා උපත ලැබීමෙන් අනතුරුව තම සැමියා සමග තිබූ සම්බන්ධතාව වෙනස් වූ බව ය.

"අපේ පළමු දරුවා ගැන සැලසුම් කරද්දී අපේ ජීවිත වෙනස් වෙයි කියලා අපි දැනගෙන හිටියා. නමුත් මේකේ බරපතළකම අපි තේරුම් ගත්තේ නැහැ වගේ ම හැම දේ ම මේ තරම් වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වුණේත් නැහැ."

රෙබෙකාට ද තත්ත්වය දුෂ්කර වී ඇති අතර මීට පෙර ඇය ස්ථිර රැකියාවක් කළ ද දැන් ඇය තනිකඩ මවකි. තම හැඟීම් සැමියා සමග බෙදාගැනීම ඇයට බොහෝවිට අසීරු වන බවත් ඇය පවසයි.

"ඔහුගේ [ස්වාමි පුරුෂයාගේ] ජීවිතය තවමත් ඔහුට ම අයිති එකක් වගේ. ගෙදර තත්ත්වය මට කොච්චර අමාරු ද කියලා ඔහුට පේනවා. මේක අපේ සම්බන්ධතාවට බලපානවා කියලත් ඔහු දන්නවා. නමුත් ඔහු කවදාවත් ඒ ගැන කතා කරන්නේ නැහැ"

A man with a yellow shirt and a brown hair, a woman with blonde hair and a red shirt and a young child with blonde hair and navy jumper sat at a dinner table. The man and woman look aloof and the child is staring down at his plate.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙමාපියන් වූ පසු සබඳතා වෙනස් වීම සාමාන්‍ය දෙයක් බව කේට් මොයිල් පවසයි

මනෝලිංගික සහ පුද්ගල සම්බන්ධතා පිළිබඳ චිකිත්සක කේට් මොයිල් පවසන්නේ, මව්පියන් බවට පත්වීමෙන් අනතුරුව සබඳතා වෙනස් වීම අතිශයින් ම සාමාන්‍ය තත්ත්වයක් බව ය.

"මවක් හෝ පියෙකු වීම සඳහා ඔබව සූදානම් කරන්න බැහැ," ඇය පවසයි. "ඔබ අඹු සැමියන් ලෙස එකිනෙකා ගැන හොඳින් දන්නවා කියලා සිතනවා. නමුත් හදිසියේ ම, ඔබ කෙනෙකු ගැන දන්නවා කියලා හිතපු දේවල් බොහොමයක් වෙනස් වෙලා යනවා."

අලුතින් මව්පියන් බවට පත්වන අඹු සැමියන්ට එම අවධියේ පළමු වසර කිහිපය වඩාත් දුෂ්කර වන අතර අධ්‍යයනවලින් පෙනී යන්නේ, දරුවෙකුගේ උපතෙන් පසු පළමු වසර තුන තුළ සබඳතා සඳහා පවතින අතෘප්තිමත්භාවය බොහෝවිට ඉහළ ම මට්ටමක පවතින බව ය.

කේට් පවසන්නේ, සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහා සිදු කරන වෙනස්කම්වල අරමුණ, දරුවන් ලැබීමට පෙර තිබූ ජීවිතය නැවත ලබා ගැනීම නොව ඒ වෙනුවට නව තත්ත්වයට අනුවර්තනය වීම බව ය.

"ජීවිතය කවදාවත් පෙර තිබූ තත්ත්වයට සමාන වෙන්නේ නෑ, නමුත් දැන් අපි ඒ ගැන අලුත් ආකාරයකින් හිතන්න ඕනේ."

වැළඳගැනීම් සහ සිපගැනීම් සඳහා කාලය වෙන් කරන්න

කේට් යෝජනා කරන්නේ, එකට කාලය ගත කරන විට එකිනෙකා දෙස බැලීම හෝ ස්පර්ශ කිරීම වැනි කුඩා දේ ගැන සිතීම ඔබට නැවත අඹු සැමි යුවලක් ලෙස දැනෙන්නට උපකාර වන බව ය.

"අපි අපේ ක්ෂේත්‍රයේදී ඒකට 'sex currency' කියලා කියනවා. ඒකෙන් අදහස් කරන්නේ එකිනෙකාගේ අත් අල්ලාගැනීම, වැළඳගැනීම, සිප ගැනීම හෝ ඔයාලා දෙන්නා එකිනෙකාට සම්බන්ධව සිටින බව දැනෙන ඕනෑ ම දෙයක්."

"අපිට එවැනි අවස්ථා ලැබුණු විට, අනෙක් සියල්ල පසෙක දමා මේ සඳහා පමණක් ප්‍රමුඛත්වය දෙමු."

කේට් පවසන්නේ, එවැනි කුඩා පියවර ඔබේ ආදර සම්බන්ධතාව වැඩිදියුණු කර ගනිමින් දිගු ගමනක් යා හැකි බව ය.

හාදුවක් හෝ ස්පර්ශයක් සම්බන්ධතාව ශක්තිමත් කිරීමට පාලමක් ලෙස ක්‍රියා කළ හැකි බව ඇය පවසයි.

හැඟීම් විවෘතව ප්‍රකාශ කරන්න

අපගේ සම්බන්ධතාව ගලා යන්නේ කෙසේ ද? යන්න නිස්කලංක අවස්ථාවකදී අවංකව සිතා බැලිය යුතු බව ද කේට් යෝජනා කරයි.

"මෙම අවධානය අපට බොහෝවිට මග හැරෙන දෙයක්. තනි වෙලා කියලා අපිට දැනෙනවා. එතකොට අපේ සහකරුත් තනි වෙලා ඇති කියලා අපිට හිතෙනවා. ඒක අපේ අතර පරතරයක් නිර්මාණය කරනවා."

කේට් පවසන්නේ, මිත්‍රත්වයක් හෝ පවුල් සම්බන්ධතාවක් මෙන් ම, අඹු සැමියන් අතර පවතින සම්බන්ධතාව ද නිරන්තරයෙන් ආරක්ෂා කර ගත යුතු අතර, ආරම්භයේදී වැඩි අවධානයක් දී පසුව එය සම්පූර්ණයෙන් ම අහිමිව යාමට ඉඩ නොදිය යුතු බව ය.

දරුවන් නොමැති විට එකිනෙකා සමග කාලය ගත කරන්න

සබඳතා පුහුණුකරුවෙකු සහ කතුවරයෙකු වන සෑම් ඕවන් පවසන්නේ, දරුවන් ලැබීමෙන් පසු බොහෝවිට "නැවත එකිනෙකා දැන හඳුනා ගැනීමේ අවශ්‍යතාවක්" ඇති වන බව සහ අඹු සැමි දෙදෙනා පිටතට ගොස් දරුවන් හැර වෙනත් මාතෘකා ගැන කතා කිරීම ප්‍රයෝජනවත් විය හැකි බව ය.

ඇය පවසන්නේ, සම්බාහන සඳහා දින වෙන් කර ගැනීම, ළමා සුරැකුම් පහසුකම් පවතින හෝටලයක නවාතැන් ගැනීම, ක්‍රීඩාවක නිරත වීම හෝ එකට එක්ව රසවත් ආහාරයක් පිළියෙළ කිරීම සිදු කළ හැකි බව ය.

"මෙවැනි උත්සහයන් පසු කාලෙක පුරුදු බවට පත්වෙනවා සහ පසුව ඒවා ඔබේ සම්බන්ධතාවයේ ස්ථිර කොටසක් බවට පත්වෙනවා."

සෑම් පවසන පරිදි ශාරීරික සමීපතාව ද වැදගත් වේ.

"එය ඔබේ සම්බන්ධතාව එකට බැඳ තබා ගන්නා ගම් එකක් වගේ. එය ඔබ අතර සන්නිවේදනය වැඩිදියුණු කරනවා වගේ ම ගැටුම් අඩු කරනවා."

Couple

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවන් ලැබීමෙන් පසු අඹු සැමියන්ට 'බොහෝවිට නැවත එකිනෙකා දැන හඳුනා ගැනීමට අවශ්‍ය' බව සෑම් ඕවන් පවසයි

තම සම්බන්ධතාව පිළිබඳව C Babies Parenting Helpline නමැති උපකාරක සේවාව සමග කතා කිරීමෙන් පසු, රෙබෙකා පවසන්නේ, ඇය සහ ඇගේ සැමියා ඔවුන්ගේ සම්බන්ධතාව වැඩිදියුණු කර ගැනීම සඳහා වෙනස් දේ සිදු කළ බව ය.

දැන් ඇය දරුවන් සමග එකට ආහාර ගන්නා බවත්, එම අවස්ථාවේදී දුරකතනය ද භාවිත නොකරන බවත් ඇය පවසන අතර, එවිට සංවාදය වඩාත් සුමටව, බාධාවකින් තොරව ගලා යයි.

දරුවන් නින්දට ගිය පසු දෙදෙනාට ම තනිව ගත කිරීමට කාලයක් ලබා ගැනීමටත් බොහෝවිට චිත්‍රපටයක් හෝ රූපවාහිනී වැඩසටහනක් නැරඹීමටත් ඔවුන් වගබලා ගන්නා අතර, ඉන් අදහස් කෙරෙන්නේ ඔවුන්ට දැන් එකට විවේක ගැනීමට කාලය පවතින බව ය.

"සම්බන්ධතා පවත්වගෙන යන්න මහන්සි වෙන්න ඕනෙ," රෙබෙකා පවසයි. "ඔබ දෙදෙනා ම එකට ඉන්න කැමති නම්, නැවත එකිනෙකා වෙත යාමට මාර්ගයක් සැමවිට ම හමුවෙනවා. අසීරු සංවාදවල නිරත වෙන්න බය වෙන්න එපා. ඔබේ සම්බන්ධතාව තුළ ශක්තිමත්ව සිටින්න."