අලුතෙන් විවාහ වන ඔබ ළඟ ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට වාර්තා කළ යුත්තේ ඇයි?

සුදු පැහැති නිල ඇඳුමකින් සැරසී සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ මේසය ඉදිරිපස අසුන්ගෙන සිටින සිනාමුසු මුහුණින් යුතු තරුණ යුවළක්

ඡායාරූප මූලාශ්‍රය, UNICEF SRI LANKA

    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල

ඔබත් මෑතකදී විවාහ වූ අයෙක් ද? එසේත් නැතිනම් මෑතකදී විවාහ වීමට අපේක්ෂාවෙන් පසුවන කෙනෙක් ද? එසේ නම් ඔබ ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සම්බන්ධ විය යුතු බව දැන සිටියා ද?

ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශ ආවරණය වන ආකාරයට මහජන සෞඛ්‍ය සේවාව හරහා අලුතෙන් විවාහ වන්නන් වෙනුවෙන් සෞඛ්‍ය පැකේජයක් හඳුන්වා දී තිබෙන්නේ වසර ගණනාවක සිට ය.

එය 2011 වසර තරම් කාලයක සිට ක්‍රියාත්මක වන්නක් වන අතර මේ හරහා අලුතෙන් විවාහ වන්නන් සඳහා විශේෂ උපදේශන සේවාවන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

මෙම සේවාව සඳහා සම්බන්ධ වීමට ඔබ පහත පියවර අනුගමනය කළ යුතු ය.

01. ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය අමතන්න

ඔබ විවාහ වූ වහා ම ඔබ ඒ බව ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට දැනුම් දිය යුතු ය.

සාමාන්‍යයෙන් ඔවුන් නිරන්තරයෙන් සිය ක්ෂේත්‍ර චාරිකාවල නියැලෙන නිසා ඔබ දැනුම් නොදුන්න ද ඔබේ නිවාසයට ඔබ ප්‍රදේශයේ නිලධාරිනිය පැමිණීමට ඉඩ තිබේ.

සාමාන්‍යයෙන් ප්‍රදේශයේ සේවා සපයන රජයේ නිලධාරීන් සහ විශේෂයන් ම විවාහ රෙජිස්ටාර්වරුන් හරහා ද මෙම පණිවුඩය ලබා දීමට වර්තමානයේ කටයුතු කරනු ලබයි.

02. නව දිවි සුව පිරික්සුම්පත සම්පූර්ණ කරන්න

ඔබේ ප්‍රදේශයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවූ විට ඇය ඔබට සම්පූර්ණ කිරීම සඳහා 'නව දිවි සුව පිරික්සුම්පතක්' ලබා දෙනු ඇත.

එහි ඔබ සහ ඔබේ සහකාරිය හෝ සහකරුගේ රෝග ඉතිහාසය ඇතුළු දත්ත සම්පූර්ණ කළ යුතු ය.

එමෙන් ම ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකයට අදාළ දත්ත, රුධිර වර්ගයට අදාළ දත්ත ඇතුළු තොරතුරු මෙහි පිරවිය යුතු ය.

03. නව දිවි සුව සායනයට සම්බන්ධ වන්න

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක පැවැත්වෙන නව දිවි සුව සායනයක්

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | DIVULAPITIYA MOH OFFICE

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔබට ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් දැනුම් දෙනු ලබන දිනකදී ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වෙන නව දිවි සුව සායනය වෙත සම්බන්ධ විය යුතු ය

ඉන්පසුව ඔබට ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් දැනුම් දෙනු ලබන දිනකදී ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වෙන නව දිවි සුව සායනය වෙත සම්බන්ධ විය යුතු ය.

ඒ සඳහා යාමට පෙර ඔබ දෙදෙනාගේ ම රුධිර පරීක්ෂාවක් සිදු කර ගත යුතු ය.

සායනයේදී වෛද්‍යවරයෙකු විසින් ඔබගේ රුධිර පරීක්ෂණ සහ ඔබගේ නව දිවි සුව පිරික්සුම්පතේ පුරවා ඇති දත්ත ද සමගින් පරීක්ෂාවක් සිදු කරනු ලබයි.

ඊට අමතරව තවත් බොහෝ කරුණු මෙම සායනයේදී සාකච්ඡා කෙරෙයි.

04. සාකච්ඡා කරන දේවල් මොනවා ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම වැඩසටහන් වාර දෙකකට ඔබ සහ ඔබේ සහකාරිය හෝ සහකරු යන දෙදෙනා ම සම්බන්ධ විය යුතු ය.

වැඩසටහන සති අන්තයේ පැවැත්වෙන අතර, ඇතැම් ප්‍රදේශවල පවතින සම්පත් සීමිත වීම හේතුවෙන් එය එක් වැඩසටහන් වාරයකට සීමා වී තිබේ.

මෙහිදී පවුල් සැලසුම්කරණය සම්බන්ධයෙන් විශේෂයෙන් අවබෝධයක් ලබා දෙයි.

එමෙන් ම ප්‍රජනන සෞඛ්‍ය, ලිංගාශ්‍රිතව පැතිරෙන රෝග, ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද මනා අවබෝධයක් ලබා දෙයි.

බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක පැවසුවේ, මෙහිදී තරුණ යුවළවල් බොහෝවිට මුහුණ දෙන ලිංගික ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලබන බව ය.

බොහෝවිට එම වැඩසටහන්වලට සම්බන්ධ වීමෙන් පසුව එවැනි ගැටලු ඇති අය ඒ බව හඳුනාගෙන පිළියම් ලබා ගැනීම සඳහා යොමු කෙරෙන බව ඇය පැවසුවා ය.

මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වීම තුළින් කල් ගත වීමකින් තොරව තමාට පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා ගැනීමට හැකි වීම නිසා විවාහ වූ වහා ම සායනයට සම්බන්ධ වීම වැදගත් බව ඇය පෙන්වා දෙයි.

මෙම වැඩසටහන මගින් පවුල් උපදේශනය ද සිදු කිරීම විශේෂත්වයකි.

මෙම වැඩසටහනේදී සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකා පහත පරිදි වේ.

  • ලිංගිකත්වය සහ ලිංගික ඇසුර
  • ලිංගාශ්‍රිතව බෝ වන රෝග
  • මනාව සැකසුණු පවුල
  • සුදුසු පෝෂණය ලැබීම
  • යහජීවන පැවැත්ම සහ අන්‍යෝන්‍ය අවබෝධය
  • දරු පිළිසිඳ ගැනීමක් ඇති වීමට පෙර කළ යුතු දේ
  • පුරුෂ සහභාගීත්වය සහ මව්පියභාවය

05. දරුවෙකු ලබන්න සැලසුම් කරන්නේ කොහොම ද?

ඔබ දරුවෙකු බලාපොරොත්තු වන දෙදෙනෙකු නම් ඒ සඳහා පූර්ව ගර්භණී අවධියේදී සිදු කළ යුතු දෑ සම්බන්ධයෙන් සැලකිලිමත් වීම වැදගත් ය.

මෙම සායනයේදී ඔබ දරුවෙකු බලාපොරොත්තු වන්නේ නම් සැලකිලිමත් විය යුතු දේවල් මොනවා ද? යන්න පිළිබඳව අවබෝධයක් ලබා දෙයි.

සෞඛ්‍යය සහ පෝෂණය සම්බන්ධයෙන් මෙහිදී ඔබට මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

ඔබ රුබෙල්ලා එන්නත ලබාගෙන තිබෙන්නේ ද? යන්න පරීක්ෂා කිරීම ඇතුළුව ෆෝලික් අම්ලය ලබා ගැනීම දක්වා උපදෙස් මෙහිදී ඔබට ලබා ගත හැකි ය.

යුනිසෙෆ් ආයතනය පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ පවතින මෙම ක්‍රමවේදය හරහා සායන සඳහා අලුතෙන් විවාහ වූවන්ගෙන් 60%ක් පමණ ලියාපදිංචි වීමේ ප්‍රවණතාවක් ඇති බව ය.

ඔවුන්ගෙන් අඩක් ම ගර්භණී වීමට පෙර ෆෝලික් අම්ලය භාවිත කරන බවත්, සහභාගී වූවන් ගැබ් ගත් අවස්ථාවලින් 91%ක් ම සැලසුම් කළ ගැබ්ගැනීම් බව ද යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි.

මන්දපෝෂණය ඇතුළු කාන්තාවන් දරුවන් බිහි කිරීමේදී මුහුණ දෙන බොහෝ ගැටලු මගහරවා ගැනීමට මෙම වැඩසටහන ඉතා වැදගත් බව එම ආයතනය පවසයි.