තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධිය: වසන්ත කරන්නාගොඩට එරෙහි අභියාචනය විභාගයට දින නියම කරයි

වසන්ත කරන්නාගොඩ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඉවත් කිරීමට නීතිපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අභියාචනයක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජනවාරි 30 වැනිදා) දින නියම කළේය.

අතුරුදන් වූ තරුණයින්ගේ ඥාතීන් මේ අභියාචනය ඉදිරිපත් කර තිබිණි.

මෙම අභියාචනය අර්ජුන ඔබේසේකර, මේනකා විජේසුන්දර සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එහිදී වගඋත්තරකාර හිටපු නාවික හමුදාපති, වසන්ත කරන්නා ගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉල්ලීමක් කරමින් මෙම නඩුකරය විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය.

එහිදී අභියාචනය ඉදිරිපත් කළ අගතියට පත්වූවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ පුලස්ති හේවාමාන්න කියා සිටියේ මෙම පෙත්සම විභාගය සඳහා ඉතාම කෙටි දිනයක් ලබා දෙන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගය සඳහා මැයි මස 27 වනදා කැඳවන ලෙස නියම කළේය.

'වසන්ත කරන්නාගොඩ නඩුවේ විත්තිකරුවකු කරන්න'

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකුට පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් 2019 වසරේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පැවරූ බවයි.

මෙම නඩුව විභාගයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී එහි විත්තිකරුවකු ලෙස නම් කර සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නඩුවෙන් නිදහස් කිරීමට නීතිපතිවරයා තීරණය කළ බව පෙත්සම්කරුවන් කියා සිටියි.

නීතිපතිවරයා විසින් ගනු ලැබූ එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව විභාගයක් පැවැත්වූ අභියාචනය අවසානයේදී එම රිට් පෙත්සම නිෂ්ප්‍රභ කළ බවත් කියා සිටියේ ය.

අභියාචනාධිකරණයේ එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් කියා සිටියි.

අභියාචනාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවත් එය අවලංගු කර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නඩුවේ විත්තිකරුවකු වශයෙන් තවදුරටත් සිටිය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් අභියාචනයෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.