ලොව වයස්ගත ම පුරුෂයා වයස අවුරුදු 112දී මිය යයි

John Tinniswood, pictured with a blue checked shirt and blue tank top, smiling at the camera at his care home in Southport

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජෝන් ටිනිස්වුඩ් අප්‍රේල් මාසයේදී ලොව වයස්ගත ම පිරිමි පුද්ගලයා බවට පත් විය
    • Author, ජෙමා ෂර්ලොක්
    • Role, බීබීසී, ලිවර්පූල්

ලොව වයස්ගත ම පුද්ගලයා මිය ගිය බව ඔහුගේ පවුලේ සාමාජිකයින් තහවුරු කර තිබේ. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112ක් විය.

ජෝන් ඇල්ෆ්‍රඩ් ටිනිස්වුඩ් සඳුදා (නොවැ. 25) ඔහු ජීවත් වූ සවුත්පෝර්ට් සාත්තු නිවාසයේදී මිය ගියේ ය.

සිය ජීවිත කාලය පුරා ම ලිවර්පූල් පාපන්දු රසිකයෙකු වූ ඔහු ලොව වයස්ගත ම පුරුෂයා බවට පත් වූයේ, මේ වසරේ අප්‍රේල් මාසයේදී වයස අවුරුදු 114දී හුවාන් විසේන්තේ පෙරෙස් මෝරා මිය ගිය පසු ය.

ඔහුගේ පවුලේ අය පැවසුවේ, ටිනිස්වුඩ්ගේ අවසන් දිනය "සංගීතයෙන් සහ ආදරයෙන් පිරී පැවති" බව ය.

ටයිටැනික් නෞකාව ගිලී ගිය 1912 වසරේ අගෝස්තු 26 වන දින උපත ලැබූ ටිනිස්වුඩ් 2020දී එක්සත් රාජධානියේ වයස්ගත ම පුරුෂයා බවට පත්විය.

ලොව වයස්ගත ම පුරුෂයා ලෙස ඔහු ගිනස් වාර්තා පොතට ඇතුළත් වූයේ, 2024 අප්‍රේල් මාසයේදී ය.

John and Blodwen Tinniswood, wearing their wedding outfits, in a black and white photo

ඡායාරූප මූලාශ්‍රය, Family photo

ඡායාරූප ශීර්ෂ වැකිය, ලිවර්පූල්හි සාදයක් අතරතුරදී ටිනිස්වුඩ්ට ඔහුගේ බිරිඳ බ්ලොඩ්වෙන් හමුවූ අතර ඔවුහු 1942දී විවාහ වූහ

ඔහු ඇඩා ​​සහ ජෝන් බර්නාඩ් ටිනිස්වුඩ්ට දාව මෙලොව එළිය දුටුවේ ය. වැන්දඹු පුරුෂයෙකු වූ ඔහු මෙලොව හැර ගියේ දුව සූසන්, මුණුපුරු මිණිපිරියන් වන ඇනෝච්කා, මරීසා සහ මී මුණුපුරන් වන තබීතා, කැලම් සහ නීව් තනි කරමිනි.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් කියා සිටියේ, ඔහු "බොහෝ යහපත් ගුණාංගවලින් සමන්විත වූ" බව ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ඔහු බුද්ධිමත්, හොඳ තීරණ ගත්තා, නිර්භීත යි, ඕනෑ ම ප්‍රශ්නයකට සන්සුන්ව මුහුණ දුන්නා, ගණන්වලට දක්ෂ යි සහ හොඳ සංවාදශීලි කෙනෙක්."

ඔවුන් සඳහන් කළේ, දෙවන ලෝක සංග්‍රාමයේදී රාජකීය හමුදාවේ ගිණුම් අංශයේ සේවය කරන අවධියේ ගිණුම් සහ විගණන කටයුතුවලට අමතරව අතරමං වූ සෙබළුන් සෙවීම සහ ආහාර සැපයුම් කටයුතු කිරීම ආදී රාජකාරිවලදී ඔහුට මෙම ගුණාංග බෙහෙවින් උපකාර වූ බව ය.

ලිවර්පූල්හි සාදයක් අතරතුරදී ටිනිස්වුඩ්ට ඔහුගේ බිරිඳ බ්ලොඩ්වෙන් හමුවූ අතර ඔවුහු 1942දී විවාහ වූහ.

සූසාන් 1943දී උපත ලැබූ අතර, 1986දී ටිනිස්වුඩ් මහත්මියගේ මරණය දක්වා ම මෙම යුවළ වසර 44ක් සතුටින් දිවි ගෙවූහ.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු, ඔහු රාජකීය තැපෑලෙහි සේවය කළ අතර 1972 වසරේදී විශ්‍රාම ගැනීමට පෙර ෂෙල් සහ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් යන සමාගම්වල ගණකාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළේ ය.

ඔහුගේ පවුලේ සාමාජිකයින් පැවසුවේ, ඔහුට "ක්‍රියාශීලී විශ්‍රාම දිවියක්" තිබූ බව ය. එනම්, ඔහු බ්ලන්ඩල්සෑන්ඩ්ස් එක්සත් රෙපරමාදු දේවස්ථානයේ කටයුතුවලදී මුල් තැන ගෙන කටයුතු කළ වැඩිහිටියෙකු ලෙස ස්වේච්ඡාවෙන් සේවය කළ අතර ඔහු එහි ගිහි දේශකයෙකු ලෙස ද කටයුතු කළේ ය.

An elderly man sitting down in front of a plate of fish and chips.

ඡායාරූප මූලාශ්‍රය, BBC/Marc Gaier

ඡායාරූප ශීර්ෂ වැකිය, සාත්තු නිවාසයේදී ඔහු නිතර මාළු සහ චිප්ස් ආහාරයට ගැනීමට ප්‍රිය කළේ ය

ටිනිස්වුඩ් වරෙක බීබීසීයට පැවසුවේ, තමා "තරුණ වියේදී ක්‍රියාශීලී" අයෙකු වූ බව සහ "නිතර ඇවිදීම" කළ නමුත් මෙතරම් දීර්ඝ ආයු කාලයක් හිමි වූයේ මන්දැයි තමා නොදන්නා බව ය. තමා අන් අයගෙන් "වෙනස් නොවන" බව අවධාරණය කරමින්, "ඔබ එක්කෝ දීර්ඝ කාලයක් ජීවත් වෙනවා නැත්නම් කෙටි කාලයක්. ඔයාට ඒ ගැන කරන්න පුළුවන් දෙයක් නැහැ," යැයි ද පැවසීය.

ඔහුගේ ආදරණීය ලිවර්පූල් පාපන්දු සමාජය ඔහු ඉපදීමට වසර 20කට පෙර ආරම්භ කරන ලද අතර, ඔහු එය 1901දී සහ 1906දී දිනූ පළමු ලීග් ශූරතා දෙක හැර අනෙක් ජයග්‍රහණ 66 ම දැක ගැනීමට ජීවත් විය.

ඔහු සිය 100 වන උපන් දිනයට පෙර සවුත්පෝර්ට්හි හොලීස් රෙස්ට් සාත්තු නිවාසයට ගිය අතර එහිදී ඔහු තුළ වූ කරුණාව සහ ජීවිතය පිළිබඳ උද්යෝගය රැකවරණ නිවාස කාර්ය මණ්ඩලයට මෙන් ම එහි සිටි සෙසු වැඩිහිටියන්ට ද උත්ප්‍රේරකයක් වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ පැවසූහ.

2012දී වයස අවුරුදු 100 සම්පූර්ණ වූ දා සිට, ඔහුට බ්‍රිතාන්‍යයේ මාලිගයෙන් වාර්ෂිකව උපන් දින සුබ පැතුම් පතක් ලැබිණි. එවැනි සුබ පැතුම් පතක් පළමුව ලැබුණේ, ඔහුට වඩා වයස අවුරුදු 14කින් පමණ බාල වූ දිවංගත දෙවන එලිසබෙත් රැජිණගෙනි. අනතුරුව මෑතකදී තෙවන චාල්ස් රජුගෙනි.

ඔහුගේ පවුලේ සාමාජිකයෝ තවදුරටත් මෙසේ පැවසූහ: "ජෝන්ගේ පසුගිය උපන් දිනයට සුබ පැතුම් එවූ එක්සත් රාජධානියේ සහ ලොව පුරා සිටින හැම කෙනෙකුට ම අපි ස්තූතිවන්ත වෙනවා.

"ඔහු ඇත්තට ම ඒ උපන් දින සුබ පැතුම් සහ පණිවිඩ අගය කළා."

"ජෝන් කැමති යි නිතර ම ස්තුතියි කියන්න. ඒ නිසා ඔහු වෙනුවෙන්, [අපි] වසර ගණනාවක් පුරා ඔහුව රැකබලා ගත් සැමට, හොලීස් රැකවරණ නිවාසයේ ඔහුගේ භාරකරුවන්, ඔහුගේ වෛද්‍යවරයා, දිස්ත්‍රික් හෙදියන්, වෘත්තීය චිකිත්සක සහ අනෙකුත් ජාතික සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා."

ඔහුගේ මතකය වෙනුවෙන් කෙරෙන ඕනෑ ම පරිත්‍යාගයක් Age UK වෙත හෝ තමන් කැමති පුණ්‍යායතනයකට කරන ලෙස පවුලේ සාමාජිකයින් ඉල්ලා ඇත.

මේ දක්වා වැඩි ම කාලයක් ජීවත්ව සිටි ලොව වයස්ගත ම මිනිසා වූයේ, ජපානයේ ජිරෝමොන් කිමුරා වන අතර ඔහු වයස අවුරුදු 116යි දින 54ක් ජීවත් විය. ඔහු 2013දී මිය ගියේ ය.

දැනට 116 වන වියේ පසුවන ජපානයේ ටොමිකෝ ඉටෝකා ලොව වයස්ගත ම කාන්තාව සහ ජීවත්ව සිටින වයස්ගත ම පුද්ගලයා ය.