එප්ස්ටීන් ලිපිගොනු: වින්දිතයින්ගේ විරෝධය මැද ඉවත් නොකළ නිරුවත් ඡායාරූප රැසක් තවමත් අන්තර්ජාලයේ

- Author, බෙකී ඩේල්
- Author, මැට් මර්ෆි
- Role, BBC Verify
- කියවීමේ කාලය: මිනිත්තු 4
එප්ස්ටීන් ලිපිගොනුවල ඇති නිරුවත පෙන්වන සංස්කරණය නොකළ රූප සහ වීඩියෝ දින ගණනාවක් තිස්සේ අන්තර්ජාලයේ පවතින අතර, ඒවා සංස්කරණය කිරීමේ දුර්වලකම් පිළිබඳව එක්සත් ජනපද නිලධාරීන්ට අනතුරු අඟවා තිබේ. එමගින් වින්දිතයින්ට "ආපසු හැරවිය නොහැකි" හානියක් සිදුවී ඇති බව නීතිඥයෝ පවසති.
BBC Verify කණ්ඩායම දුටු ලිපිගොනුවල එප්ස්ටීන් වින්දිතයින් විශාල පිරිසක් හඳුනාගත හැකි තොරතුරු අඩංගු බවට නීතිඥයින් පවසන දහස් ගණනක් ලේඛන ඇතුළත් වේ.
ජනවාරි 30 වන දා එප්ස්ටීන් ලිපිගොනුවල කොටසක් ලෙස වෙන ම රූප 40කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළ විට, වින්දිතයින්ගේ කණ්ඩායම් මුලින් ම පසුගිය සති අන්තයේ මෙම ගැටලුව පිළිබඳව කතා කළහ.
පෙබරවාරි 03 වන දා, නිව්යෝර්ක් විනිසුරුවරයෙකු පැවසුවේ, නම් සහ රූප නිසි ලෙස සංස්කරණය කරන තෙක් වෙබ් අඩවිය වසා දමන ලෙස වින්දිතයින් ඉල්ලා සිටීමෙන් පසුව, අධිකරණ දෙපාර්තමේන්තුව (DoJ) ගැටලුව කඩිනමින් විසඳීමට එකඟ වූ බව ය.
"තාක්ෂණික හෝ මානව දෝෂයක්" මත අදාළ ලිපිගොනු උඩුගත කර ඇති බව පවසමින් අධිකරණ දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියෙන් ලේඛන දහස් ගණනක් ඉවත් කළේ ය. නව ඉල්ලීම් පරීක්ෂා කිරීම මෙන් ම තවදුරටත් සංස්කරණ අවශ්‍ය විය හැකි වෙනත් ලේඛන තිබේ දැයි පරීක්ෂා කිරීම ද අඛණ්ඩව සිදු කරන බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
පෙබරවාරි 04 වැනි දින සංස්කරණ ගැටලුව විසඳන බව එක්සත් ජනපද රජය ප්‍රකාශ කළ ද, හඳුනාගත හැකි පුද්ගලයින්ගේ රූප ගණනාවක් බදාදා දිනයේදීත් ලිපිගොනුවල පැවති බව BBC Verify ස්වාධීනව සොයා ගත්තේ ය. අදහස් දැක්වීම සඳහා බීබීසී පුවත් සේවය අධිකරණ දෙපාර්තමේන්තුව වෙත සංස්කරණය නොකළ ගොනුවල නම් සපයා තිබේ.
"සිදුවූ හානිය ආපසු හැරවිය නොහැකි යි," වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ බ්‍රැඩ් එඩ්වර්ඩ්ස් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
"තොරතුරු නිකුත් වී ඇති ගැහැනු ළමුන් ගැන මම හදවතින් කම්පා වෙනවා," එප්ස්ටීන්ගේ අපයෝජනවලට හසුව ඉන් ගැලවුණු ඈෂ්ලි රුබ්‍රයිට් බීබීසී වෙත පැවසීය. "ඒක ඔවුන්ගේ ජීවිතයේ භයානක ම අවස්ථාවන්ගෙන් එකක සිදුවූ දැවැන්ත අපයෝජනයක්."
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
BBC Verify විසින් හඳුනාගනු ලැබූ රූප හතරක අර්ධ වශයෙන් ඇඳුම් ඇඳගත් තරුණ කාන්තාවන්ගේ මුහුණු සහ සිරුරු සංස්කරණය නොකළ ආකාරය පෙන්නුම් කෙරිණි.
ප්‍රසිද්ධ පුද්ගලයින් සමග එප්ස්ටීන් පැවැත්වූ සබඳතා පිළිබඳ සාක්ෂි සඳහා නිකුත් කරන ලද මිලියන ගණනක් ලිපිගොනු සම්බන්ධයෙන් කළ සාමාන්‍ය නිරීක්ෂණයකදී ඒවා සොයා ගන්නා ලදී.
ඇතැම් ලේඛනවල ඇතැම් පුද්ගලයින්ගේ ඡායාරූප සංස්කරණය කර ඇති බව පෙනේ, නමුත් වෙනත් තැනක සංස්කරණය නොකර තබා ඇත. එක් ලේඛනයක එක ම පින්තූරයේ සංස්කරණ දෙකක් අඩංගු විය, එකක් කළු කොටුවකින් ආවරණය වූ මුහුණක් පෙන්වන අතර අනෙක් ඡායාරූපයේ එම මුහුණ සම්පූර්ණයෙන් ම නිරාවරණය වී තිබේ.
තවත් වීඩියෝවක දැක්වෙන්නේ, කාන්තාවකගේ උඩුකය ඇඳුම ඉහළට ඔසවා ඇගේ පියයුරු කැමරාවට පෙන්වන ආකාරය යි.
පසුගිය නත්තල් සමයේදී එප්ස්ටීන් ලිපිගොනුවල නවතම එකතුව නිකුත් කිරීමට පෙර, ලිංගික අසභ්‍ය ඡායාරූප හෝ වින්දිතයින් හඳුනාගත හැකි ඕනෑ ම තොරතුරක් සංස්කරණය කිරීම අධිකරණ දෙපාර්තමේන්තුවේ (DoJ) නිලධාරීන්ට පැවරී තිබිණි.
කොංග්‍රසය විසින් නියම කරන ලද අවසාන දිනයට පෙර, නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලාන්ෂේ පැවසුවේ, වින්දිතයින්ගේ අනන්‍යතා ආරක්ෂා කිරීම සඳහා අමතර කාර්යයන් කිහිපයක් සිදු කළ යුතු හෙයින් ලිපිගොනු නියමිත වේලාවට ප්‍රකාශයට පත් නොකරන බව ය. "සෑම වින්දිතයෙකු ම - ඔවුන්ගේ නම, ඔවුන්ගේ අනන්‍යතාව, ඔවුන්ගේ කතාව, එය ආරක්ෂා කළ යුතු ප්‍රමාණයට - සම්පූර්ණයෙන් ම ආරක්ෂා කර ඇති බව සහතික කිරීම සඳහා අපි නිෂ්පාදනය කිරීමට යන සෑම පත්‍රිකාවක් ම විමර්ශනය කරමින් සිටිමු," ඔහු එහිදී පැවසීය.
ලිපිගොනුවල ප්‍රකාශයට පත් කර ඇති වෛද්‍ය තොරතුරු සහ නීතිමය ප්‍රකාශනවල කිහිප දෙනෙකුගේ අනන්‍යතා හෙළිදරව් වී ඇති බව BBC Verify වෙන වෙන ම සොයාගෙන ඇත.
කළල අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් දර්ශන සහිත වීඩියෝ දෙකක එක් නමක් සම්පූර්ණයෙන් පෙන්වා ඇත. ස්කෑන් පරීක්ෂණ සිදු කළ වේලාව, දිනය සහ ස්ථානය ලෙස පෙනෙන දේ මෙන් ම කළලය වැඩී ඇති කාලය ද පැහැදිලිව දැකගත හැකි විය.
තවත් ලේඛනයක එප්ස්ටීන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන පටිගත කිරීමක් අඩංගු වූ අතර, එහි නීතිඥයෙකු අවම වශයෙන් එක් වින්දිතයෙකුගේ නම සඳහන් කරයි.
ලිපිගොනුවලින් හඳුනාගෙන ඇති සිය ගණනක් කාන්තාවන් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එප්ස්ටීන්ගේ වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්, අධිකරණ දෙපාර්තමේන්තුව දැඩි ලෙස විවේචනය කර තිබේ.
"වින්දිතයින්ගෙන් අපට නිරන්තරයෙන් ඇමතුම් ලැබෙනවා, මොක ද ඔවුන්ගේ නම් - ඔවුන් කිසි විටෙකත් ඉදිරිපත් නොවුණත්, මහ ජනතාව සම්පූර්ණයෙන් ම නොදන්නා නමුත් - ඒ සියල්ල මහජන නිරීක්ෂණය සඳහා නිකුත් කර ඇති නිසා," නීතිඥ බ්‍රැඩ් එඩ්වර්ඩ්ස් ඉරිදා පැවසීය.
"ඇත්තට ම වැරදි දහස් ගාණක් තියෙනවා."































