ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලිය, ශ්‍රී ලංකාවේ දැඩි ප්‍රතිචාරය සහ ඉන් ඇති වන බලපෑම
- Author, බීබීසී සිංහල
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කෙරිණි.
එය යෝජනා 14කින් සමන්විත ය.
'ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම' මාතෘකාව යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලියේ දළ සිංහල පරිවර්තනය මෙසේ ය.
යෝජනාවලිය
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම ප්‍රවර්ධනය කිරීම
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සහ අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් ගිවිසුම් මගින් මග පෙන්වනු ලැබේ.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මෑත කාලීනව 2024 ඔක්තෝබර් 9 වන දින ඉදිරිපත් කළ 57/1 යෝජනාව සිහිපත් කරමින්,
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය, එක්සත්භාවය සහ භෞමික අඛණ්ඩතාව සඳහා වූ කැපවීම නැවත තහවුරු කරමින්,
මානව හිමිකම්වලට ගරු කිරීම සහ එහි සමස්ත ජනගහනය සියලු මානව හිමිකම් සහ මූලික නිදහස පූර්ණ ලෙස භුක්ති විඳීම සහතික කිරීම සෑම රාජ්‍යයක ම මූලික වගකීම බව නැවත තහවුරු කරමින්,
2024 සැප්තැම්බර්, 2024 නොවැම්බර් සහ 2025 මැයි මාසවලදී, නිදහස් හා විනිවිද පෙනෙන ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති, පාර්ලිමේන්තු සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සාදරයෙන් පිළිගනිමින්,
ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ, සංහිඳියාවට සහ එහි ජනගහනයට අයත් සියලු ම සාමාජිකයින්ට මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීමට අත්‍යවශ්‍ය වන දේශපාලන අධිකාරිය බෙදා හැරීම සඳහා වන කැපවීම් ඉටු කරන ලෙසත්, පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීම ඇතුළුව පළාත් පාලන ආයතනවලට ගරු කිරීමට රජය දිරිමත් කරන ලෙසත්, උතුරු හා නැගෙනහිර පළාත් සභා ඇතුළුව සියලු ම පළාත් සභා, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන් වන සංශෝධනයට අනුකූලව ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට හැකි වන බව සහතික කරන ලෙසත්, දැඩි ආර්ථික අර්බුදයේ බලපෑම් විසඳීමට ශ්‍රී ලංකා රජය අඛණ්ඩව ගන්නා උත්සහයන් සාදරයෙන් පිළිගන්නා අතර, දූෂණය, පාලනයේ වගවීම නොමැතිකම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජන සඳහා දඬුවම් නොලැබීම ඇතුළු එම අර්බුදයට හේතු වූ යටින් පවතින පාලන සාධක සහ මූල හේතු ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්,
ආගම, විශ්වාසය හෝ ජනවාර්ගික සම්භවය වැනි කිසිදු ආකාරයක භේදයකින් තොරව ශ්‍රී ලංකාවේ සියලු ම පුද්ගලයින්ට ඔවුන්ගේ මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීමට හිමිකම් ඇති බව නැවත තහවුරු කරමින් සහ මානව හිමිකම් භුක්ති විඳීමට සාමයේ වැදගත්කම, කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ සහ ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීම සඳහා මුලපිරීම් ශක්තිමත් කිරීම ඇතුළුව, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් සිදු කරන ලද අපයෝජන ඇතුළුව සියලු ම පාර්ශවයන් විසින් ශ්‍රී ලංකාවේ සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සඳහා වගවීමේ වැදගත්කම අවධාරණය කරමින්, මානව හිමිකම් නීතිය සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ ඔවුන්ගේ අදාළ බැඳීම්වලට අනුකූල වීමේ රාජ්‍යයන්ගේ වගකීම සිහිපත් කරමින්, අදාළ වන විට, මානව හිමිකම් නීතිය දැඩි ලෙස උල්ලංඝනය කිරීම හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අයට නඩු පැවරීම ඇතුළුව,
1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් මානව හිමිකම් කවුන්සිලයේ 58 වන සැසියේදී ඉදිරිපත් කරන ලද වාචික යාවත්කාලීන කිරීම් සහ වත්මන් සැසියේදී කවුන්සිලයට ඉදිරිපත් කරන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව සාදරයෙන් පිළිගනී;
2. 2025 ජූනි මාසයේදී ශ්‍රී ලංකා රජයේ ආරාධනයෙන් සහ පහසුකම් සහිතව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ ක්‍රියා පටිපාටි සමග රජය සම්බන්ධ වීම ද සාදරයෙන් පිළිගනී, එවැනි සම්බන්ධකම් සහ සංවාදය දිගට ම කරගෙන යාමට දිරිගන්වයි, සහ කාර්යාලය විසින් කරන ලද නිර්දේශ සහ විශේෂ ක්‍රියා පටිපාටි ක්‍රියාකාරීව සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටී;
3. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් භුක්ති විඳීමට සැලකිය යුතු ලෙස අහිතකර බලපෑමක් ඇති කළ දූෂණය සහ ආර්ථික අවකළමනාකරණය සම්බන්ධයෙන් වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර හඳුනා ගන්නා අතර, වත්මන් සහ හිටපු රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන ලද දූෂණ විමර්ශන සහ අවශ්‍ය විටෙක නඩු පැවරීම ඇතුළුව මේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග දිරිමත් කරයි;
4. වාර්ගික ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව අත්විඳින ලද අතිමහත් දුක් වේදනා ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම සහ බෙදුම්වාදී ජාතිවාදී දේශපාලනය නැවත ඇතිවීමට ඉඩ නොදීමට, සියලු ප්‍රජාවන් තුළ පුද්ගලයන්ගේ බෙදාගත් වේදනාව සහ ශෝකය පිළිගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීමට, නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කිරීමට සහ වෙනස්කම් කිරීම්වලින් තොර සමාජයක් නිර්මාණය කිරීමට කැපවීම;
5. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට සහ එය අවලංගු කිරීම පිළිබඳව සොයැ බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් කරන ලද කැපවීම සාදරයෙන් පිළිගනිමු, එම නීතිය යටතේ රඳවා තබා ගැනීම් අඛණ්ඩව සිදුවන බවට සහ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගෙන් පුද්ගලයින්ට අසමාන ලෙස බලපා ඇති බවට වාර්තා පිළිබඳව කනස්සල්ල පළ කරන අතර, නීතිය භාවිතය සඳහා තාවකාලික තහනමක් පැනවීමට, එය අවලංගු කිරීම කඩිනම් කිරීමට සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිළිබඳ ඕනෑම නීති සම්පාදනයක් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය ඇතුළුව ජාත්‍යන්තර නීතියෙන් පැන නගින රාජ්‍යයේ බැඳීම්වලට සම්පූර්ණයෙන් ම අනුකූල වන බව සහතික කිරීමට රජයෙන් ඉල්ලා සිටී;
6. ශ්‍රී ලංකා රජය විසින් මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කිරීමට සහ නීතියට සංශෝධන සකස් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කරන ලද කැපවීම සාදරයෙන් පිළිගනිමු, පනතේ අධිකරණ අධීක්ෂණයක් නොමැතිකම සහ වැරදි සහ බලාත්මක කිරීමේ බලතල පිළිබඳ පුළුල් අර්ථ දැක්වීමක් පිළිබඳ කනස්සල්ල පිළිගනිමු, සහ පනත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීම සඳහා රාජ්‍යයේ ජාත්‍යන්තර බැඳීම්වලට සම්පූර්ණයෙන් ම අනුකූල වන බව සහතික කිරීම සඳහා එහි සංශෝධනය කඩිනම් කිරීමට රජය දිරිමත් කරමු;
7. ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ බොහෝ සිද්ධීන් තවමත් නොවිසඳී ඇති බවත්, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට මෙය දිගුකාලීන දුක් වේදනා ඇති කර ඇති බවත්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ ස්වාධීන හා ඵලදායී ක්‍රියාකාරිත්වයේ වැදගත්කම හඳුනා ගනී;
8. ශ්‍රී ලංකාවේ සමූහ මිනී වළවල් කිහිපයක් හඳුනා ගැනීම පිළිගනී,
ප්‍රමාණවත් සම්පත් සමග අඛණ්ඩ කටයුතු සඳහා අවශ්‍යතාව අවධාරණය කරයි, සහ
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගොඩගැනීම් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් මූල්‍ය, මානව සහ තාක්ෂණික සම්පත් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සහය කල්තියා ලබා ගැනීමට;
9. දීර්ඝ කාලීන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ නව මඟ පෙන්වීමක් සඳහා කැපවීම සාදරයෙන් පිළිගනිමු, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කිරීම පිළිගනිමු, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂණ සහ නඩු පැවරීම් කඩිනම් කරන ලෙසත්, ධාරිතාවන් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර තාක්ෂණික සහය ලබා ගන්නා ලෙසත්, වින්දිතයින්, දිවි ගලවා ගත් අය සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වය මෙන් ම වින්දිතයින් සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිමු.
10. ස්වාධීන මහජන නඩු පවරන ආයතනයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපවීම අගය කරමින් පිළිගන්නා අතර, එම ආයතනය සම්පූර්ණයෙන්ම ස්වාධීන, ඵලදායී සහ ශක්තිමත් විය යුතු බව ඉල්ලා සිටී;
11. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ බරපතල උල්ලංඝනයන් සම්බන්ධ සියලු චෝදනා එල්ල වන අපරාධ සම්බන්ධයෙන් කඩිනම්, පරිපූර්ණ සහ අපක්ෂපාතී පරීක්ෂණ සහ අවශ්‍ය නම් නඩු පැවරීම සහතික කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී, දිගුකාලීන සංකේතාත්මක නඩු ඇතුළුව, වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන්;
12. සිවිල් සමාජයේ නියෝජිතයින්, මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන්, වින්දිතයින්, දිවි ගලවා ගත් අය සහ ඔවුන්ගේ පවුල්, විශේෂයෙන් කාන්තාවන්, සියලු ආකාරයේ හිරිහැර හා පළිගැනීම්වලින් නිදහස් වන පරිදි පරිසරයක් නිර්මාණය කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී;
13. හමුදාව සහ අනෙකුත් රාජ්‍ය ක්‍රියාකාරිකයින් විසින් ආර්ථික වශයෙන් රඳවාගෙන භාවිත කරන ඉතිරි ඉඩම් නිදහස් කිරීමේ වැදගත්කම සහ පුරාවිද්‍යාත්මක, ආගමික සහ සංරක්ෂණ ගැටලු සම්බන්ධ ඉඩම් ආරවුල් විනිවිද පෙනෙන, උපදේශාත්මක, අපක්ෂපාතී සහ වෙනස් කොට සැලකීමකින් තොරව විසඳීමේ වැදගත්කම අවධාරණය කරයි;
14. 2022 ඔක්තෝබර් 6 වන දින 51/1 දරන යෝජනාවෙන් මානව හිමිකම් කවුන්සිලය විසින් ඉල්ලා සිටින ලද සියලු ම කාර්යයන් සහ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝගය දීර්ඝ කිරීමට තීරණය කරන අතර, එහි 63 වන සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්වල ප්‍රගතිය පිළිබඳ පුළුල් වාර්තාවක් එහි 66 වන සැසියේදී ඉදිරිපත් කරන ලෙස කාර්යාලය ඉල්ලා සිටී. මෙය අන්තර්ක්‍රියාකාරී සංවාදයකදී සාකච්ඡා කිරීමට නියමිත ය.
ශ්‍රී ලංකාවෙන් දැඩි ප්‍රතිචාරයක්
ඉහත සඳහන් යෝජනාවලියට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය ද නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට දැනුම් දී ඇත්තේ, එම යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බව ය.
එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.
'මෙම යෝජනාව පිළිබඳ සාකච්ඡාවලට ශ්‍රී ලංකාව සහභාගී වූයේ, විවෘත හා ඵලදායී මැදිහත්වීමක ස්වභාවයකින් වන අතර, මෙම කවුන්සිලය සමග අපගේ අන්තර්ක්‍රියාවලදී අප එය පෙන්නුම් කර ඇත.
ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලද භාෂා සංශෝධන සම්බන්ධයෙන් ප්‍රධාන කණ්ඩායමේ මැදිහත්වීම අපි අගය කරමු. කෙසේ වෙතත්, අපට ඇති ඇතැම් ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් එකඟතාවක් සොයා ගැනීමට නොහැකි වීම ගැන අපි කනගාටු වෙමු.
කෙටුම්පත් පෙළට ඵලදායී සහභාගීත්වය සඳහා සියලු ම නියෝජිතයින්ට අපි ස්තූතිවන්ත වන අතර, අවිධිමත් උපදේශන සහ ද්විපාර්ශ්වික රැස්වීම්වලදී ධනාත්මක යෝජනා ඉදිරිපත් කළ රටවලට ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉතා අවංකව ස්තූති කිරීමට කැමති යි.
ශ්‍රී ලංකාව ආරම්භයේ සිට ම ප්‍රධාන කණ්ඩායම දක්වා පෙන්වා දී ඇති පරිදි, යෝජනාවලිය සම්බන්ධයෙන් අපගේ මූලික ගැටලුව වන්නේ, 2022 දී 51/1 යෝජනාවට යොමු කිරීම වන අතර එය OHCHR තුළ ශ්‍රී ලංකාව පිළිබඳ බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය දක්වයි. එය අපගේ දැක්ම අනුව කවුන්සිලයේ බලතලවල පෙර නොවූ විරූ සහ තාවකාලික ව්‍යාප්තියකි.
සැප්තැම්බර් 8 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයට සහභාගී වෙමින්, විදේශ කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවරයා, අපගේ ම ජනතාවගේ අවශ්‍යතා සඳහා සංහිඳියාව සහ මානව හිමිකම් සඳහා සැබෑ කැපවීම මත පදනම්ව දේශීය ආයතන ශක්තිමත් කිරීම සඳහා රජය අඛණ්ඩව කටයුතු කරන අවස්ථාවක, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් පිහිටුවන ලද බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව පිළිනොගන්නා බව නැවත අවධාරණය කළේ ය. දැනට ක්‍රියාත්මක වන දේශීය ක්‍රියාවලීන් අතරට අතුරුදන්වූවන් සහ වන්දි ගෙවීමේ ස්වාධීන කාර්යාල සහ ජාතික එක්සත්කම සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ශක්තිමත් කිරීම මෙන් ම සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමක් සහ ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ.
ශ්‍රී ලංකාව මෙන් ම තවත් බොහෝ රටවල්, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය තුළ මෙම ව්‍යාපෘතිය ස්ථාපනය කළ ආකාරය, එහි කටයුතු සහ අයවැය ඒ සඳහා වෙන් කළ ආකාරය පිළිබඳ විශ්වසනීයත්වය සහ විනිවිදභාවය පිළිබඳව නැවත නැවතත් ප්‍රශ්න කර ඇත. එහි පැවැත්මෙන් වසර 4කට පසුවත්, මෙම කවුන්සිලය තවමත් ශ්‍රී ලංකාවේ ජනතාවට මෙම ව්‍යාපෘතියෙන් ලැබුණු කිසිදු ප්‍රතිලාභයක් දැක නැත. මෙය මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ අන්තර්ගතයෙන් ද පැහැදිලිව පෙනේ. එහි නියෝගය දීර්ඝ කිරීම ශ්‍රී ලංකාවේ බෙදීම් ඇති කිරීමට සහ ප්‍රජාවන් බෙදීමට උත්සහ කරන පාර්ශව සඳහා පමණක් සේවය කරනු ඇති අතර, එක්සත්කම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ උත්සහයන්ට විරුද්ධ ප්‍රතිඵලයක් අත් වනු ඇත.
මානව හිමිකම් සම්බන්ධ කරුණු ආමන්ත්‍රණය කිරීම සඳහා සැබෑ ජාතික අයිතිය සහිත ක්‍රියාවලීන් වඩාත් සුදුසු බව අපි තරයේ විශ්වාස කරමු. ජාතික ක්‍රියාවලීන් දේශීය සන්දර්භය තුළ මුල් බැස ඇති අතර, වැඩි හිමිකාරිත්වයක් සඳහා ඉඩ සලසයි, අද්විතීය සංවේදීතාවන් හඳුනා ගනී, සහ ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීම වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කරයි.
මෙම වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට ශ්‍රී ලංකා සමාජයේ සියලු ම පාර්ශව හරහා "වෙනස් වීමේ වේගය" සහ "ගැටලු විසඳීමට රජයේ සැබෑ විවෘතභාවය" අත්විඳීමට අවස්ථාව ලැබිණි. මෙම කවුන්සිලයට ඉදිරිපත් කළ සිය වාර්තාවේදී ද මහ කොමසාරිස්වරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික අවස්ථාවක් ඇති බව ය. මෙම කවුන්සිලයට කළ ප්‍රකාශයේ විදේශ කටයුතු අමාත්‍යවරයා දක්වා ඇති පරිදි, ඉතා කෙටි කාලයක් තුළ, රජය සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ස්පර්ශ්‍ය හා තීරණාත්මක පියවර මාලාවක් ගෙන ඇත. එබැවින්, දේශීය ක්‍රියාවලීන් හරහා තමන්ගේ ම ජනතාවගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාම සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩ දීම සාධාරණ වේ.
මෙම හේතූන් නිසා, අපි ජාත්‍යන්තර බලහත්කාර ක්‍රියාමාර්ග සමග එකඟ නොවන අතර, මෙම කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 60/L.1/Rev.1 යෝජනාවලිය අපි ප්‍රතික්ෂේප කරමු.'
'කළ යුතු නිවැරදි දේ කළේ නැහැ' - ආචාර්ය දයාන් ජයතිලක
ශ්‍රී ලංකාවට අහිතකර යෝජනාවලියක් තර්කානුකූලව ප්‍රතික්ෂේප කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය සමත් වීම අගය කළ හැකි බව ආචාර්ය දයාන් ජයතිලක පවසයි.
කෙසේ වෙතත්, ඔහු සඳහන් කළේ, තර්කානුකූලව ප්‍රතික්ෂේප කළ ද, අදාළ යෝජනාවලිය සම්බන්ධයෙන් ඡන්දයක් ඉල්ලා නොසිටීම හේතුවෙන් එය ඡන්ද විමසීමකින් තොරව ම සම්මත වීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බව ය.
"ඡන්දයක් අවශ්‍ය බව කීවා නම් ඡන්දයකදී අපට පක්ෂ රටවල් කිහිපයක් හරි යම් හඬක් නගාවි. දැන් ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා ම ලෝකයේ මිනිස්සු ශ්‍රී ලංකාව ගැන වැරදි ප්‍රතිරූපයක් ඇති කර ගන්න පුළුවන්. ඒක නරක දෙයක්. මට තේරෙන්නෙ නෑ මේ විදේශ ප්‍රතිපත්තිය මොකක් ද කියලා," ආචාර්ය දායන් ජයතිලක පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එහි මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය සාර්ථක නොවී ය.
'ශ්‍රී ලංකාවට අපකීර්තියක්'
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලිය ඡන්ද විමසීමකින් තොරව සම්මත් වීමට ඉඩ දීම හරහා ජාත්‍යන්තරය හමුවේ, 'ශ්‍රී ලංකාවට අපකීර්තියක් අත්වන" බව මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු පවසයි.
බීබීසී සිංහල සේවය සමග ඔහු ප්‍රකාශ කළේ, වත්මන් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව පැවති සැසි වාර දෙකේදී ම ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ යෝජනාවලි ඡන්දයකින් තොරව සම්මත වූ බව ය.
"අපට හිතවත් රටක් හරහා ඡන්ද විමසීමක් ලබා ගන්න තිබුණා. ඒත් ඒක කළේ නැහැ. 2024දිත් වුණේ මේක ම යි."
"යෝජනාවලිය ප්‍රතික්ෂේප කිරීමෙන් ලංකාවට අපකීර්තියක්, මානව හිමිකම් සහ වගවීම ගැන ආණ්ඩුවේ කැපවීම ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්," රුකී ප්‍රනාන්දු පෙන්වා දුන්නේ ය.
"යෝජනාවලියේ තියෙන ප්‍රධාන කාරණයක් තමයි, සාක්ෂි රැස් කිරීමේදී ජාත්‍යන්තර සහය ලබා ගැනීම කියන එක. ලංකාවේ මෙතෙක් සිද්ධ වුණ ඝාතන රැසක් තියෙනවා සාක්ෂි නිසි ලෙස රැස් කරපු නැති. ඝාතන සිද්ධ වුණා කියල පිළිගත්තත්, ඝාතකයින් කවුද කියන එක ඔප්පු වෙලා නෑ. එහෙම වෙන්න බෑනෙ හරියට සාක්ෂි රැස් කළා නම්. උදාහරණයක් විදිහට වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ඝාතන සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් ලැබුණෙ නෑ. මෙවැනි දේවල් නිසා සාක්ෂි රැස් කිරීමේදී ජාත්‍යන්තර සහය ලබා ගැනීමට ඉඩ දීමෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන ජාත්‍යන්තර වශයෙන් විශ්වාසයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කිරීමෙන් රටේ මානව හිමිකම් ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්."
මේ අතර, මේ යෝජනාවලිය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියක් ලෙස තමන් නොසලකන බව රුකී ප්‍රනාන්දු. වැඩිදුරටත් පැවසීය.
"මේක ලංකාවට එරෙහි චෝදනාවක් කියල මම දකින්නෙ නෑ. මම හිතන්නෙ මේක ලංකාවට, ජනතාවට, විශේෂයෙන් වින්දිතයන්ට හොඳ යි කියල. හැබැයි සමහර අය, විශේෂයෙන් බලයෙ ඉන්න ආණ්ඩු මේක ලංකාවට එරෙහි කියල කියනව. රනිල්, ගෝඨා, අනුර ඔක්කොම "එරෙහි" පදනමේ ඉඳල තමයි මේ ගැන ස්ථාවර අරන් තියෙන්නෙ."