ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
60 වන ජිනීවා මානව හිමිකම් සැසියේදී එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්: ශ්‍රී ලංකාව ඊට සූදානම් ද?
- Author, බීබීසී සිංහල
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ 60 වන සැසි වාරය සැප්තැම්බර් මස 08 වන දා සිට ඔක්තෝබර් 08 වන දා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහභාගී වීමට නියමිත ය.
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් නිල සංචාරයක් වෙනුවෙන් ජූනි 23 වන දින ශ්‍රී ලංකාවට පැමිණි අතර එම සංචාරයේදී ඔහු මේ වන විටත් කැණීම් කටයුතු සිදු වෙමින් පවතින චෙම්මනි සුසාන භුමියේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත් වී වසරක් සපිරෙන විට සහ ආණ්ඩුව බලයට පත් වී මාස 8කට ආසන්න කාලයක් ගෙවී යමින් පවතින මොහොතක පැවැත්වෙන මෙම මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය විසින් යෝජනාවක් ගෙන ඒමට සූදානම් බවට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව එම අමාත්‍යංශයෙන් ප්‍රකාශකයෙක් බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේ ය.
අතුරුදන් වූවන්, උතුරේ ඉඩම් සහ සත්‍යය හෙළිදරව් කිරීම
මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සමූහ සුසාන බවට සැක කෙරෙන සුසාන දෙකක කැණීම් සිදුවෙමින් පවතින අතරතුර ය.
යාපනය චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භුමියේ සංවර්ධන කටයුත්තක් අතරතුර මිනිස් අස්ථි හමුවීමෙන් පසුව අදියර ගණනාවකදී කැණීම් සිදු කෙරිණි.
එහි පස්වන අදියරේ කැණීම් මේ වන විට සිදු වන අතර එහිදී, මළ සිරුරු 200කට අධික සංඛ්‍යාවකට අයත් බවට විශ්වාස කෙරෙන අස්ථි කොටස් හමුවී තිබේ.
එමෙන් ම මේ වන විට කොළඹ වරාය ආසන්නයෙන් ද මිනිස් අස්ථි හමුවී තිබේ.
පසුගිය ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් ද චෙම්මනි කැණීම් නිරීක්ෂණය කළේ ය.
අගෝස්තු 22 වන දින විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
"අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීම පිළිබඳ කාර්යාලය ආදියේ ක්‍රියාවලිය පහුගිය කාලයේ හිතාමතා ම දුර්වලකොට පැවතුණා. නමුත් අපි ප්‍රතිපත්තියක් ලෙස එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය මුදල්, මානව සම්පත් ලබා දෙමින් එම ආයතන ශක්තිමත් කරමින් එම ක්‍රියාවලිය නිවැරදිව කිරීමට කටයුතු කළ යුතුව තියෙනවා," ඔහු පැවසුවේ ය.
"බොහෝ අවස්ථාවලදී චෙම්මනි ආදී සුසාන භූමි දැඩි ලෙස කතාබහට ලක්වුණා. චෙම්මනි පමණක් නොව තවත් බොහෝ සුසාන පිළිබඳ අපක්ෂපාතී අධිකරණමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට එම ඇටසැකිලි මහජනාවට පෙන්වමින් ඒවා හදුනා ගැනීමට අවස්ථාවක් ලබා දීම සිදු වුණා," මේ වන විට කැණීම් සිදු වෙමින් පවතින සුසාන භුමිය සම්බන්ධයෙන් ඔහු පැවසීය.
එයට රජයේ මැදිහත්වීමක් නොමැති බව ඔහු සහතික කළේ ය.
"ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරයාට ඒවා පෞද්ගලිකව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දී තියෙනවා. අපක්ෂපාතී ලෙස එම කටයුතු සිදු වන අතර අධිකරණ නියෝග අනුව ඥාතීන්ට හඳුනා ගැනීමට අවස්ථාව ලබා දී සාක්ෂි විමසා අදාළ විත්තිකරුවන් පිළිබඳව විභාග කිරීමට නියමිත යි."
එමෙන් ම "ජාතික ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය හමුදා කදවුරු පවත්වාගෙන වෙනත් අවශ්‍යතා මත ඉඩම් අත්පත් කරගෙන ඇත්නම් එය හඳුනාගෙන ඒවා නිදහස් කිරීම සිදු කරමින් පවතින," බව ද ඔහු පැවසුවේ ය.
සැප්තැම්බර් 04 වන දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කළ කැබිනට් තීරණ අතර අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ මෙතෙක් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ නිම කිරීමේ යෝජනාවක් ද ඇතුළත්ව තිබිණි.
ඒ සම්බන්ධයෙන් පිහිටුවා ඇති කාර්යාලයට පැමිණිලි 16,966ක් ලැබී ඇති බවත් විමර්ශනය කිරීම සඳහා පැමිණිලි 10,517ක් ඉතිරිව ඇති බවත් එහිදී ප්‍රකාශ විය.
ඒ අනුව 2027 වන විට ඒ සම්බන්ධ පරීක්ෂණ අවසන් කිරීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයන් 75 දෙනෙකුගෙන් සමන්විත අනුමණ්ඩල 25ක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
PTA, OSA සහ ICCPR පනත්වලට මොක ද වෙන්නේ?
පසුගිය වසරේදී පැවැත්වුණු 59 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශවල ප්‍රධාන වශයෙන් ම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම මෙන් ම, මාර්ගගත ක්‍රමවල ආරක්ෂාව පිළිබඳ පනත, ICCPR පනත වැනි පනත් අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සඳහන් කර තිබිණි.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට පෙර ඔහුගේ 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද ඉහත පනත් සංශෝධනය සහ අහෝසි කර ඒ සඳහා සුදුසු ආකාරයේ නව නීති පැනවීම සම්බන්ධයෙන් සඳහන් කර තිබිණි.
වර්තමාන ජනාධිපතිවරයා ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව ද අවස්ථා ගණනාවකදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මගින් විවිධ පුද්ගලයන්ව රැඳවුම් නියෝග මත රඳවා ගැනීම ද සිදු විය.
ඊශ්‍රායලයට එරෙහිව විරෝධතාවක නිරත වූ පුද්ගලයෙකු මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබා ගත් බවට සමාජයේ දැඩි කතාබහක් ඇති වූ අතර පසුව එම පුද්ගලයා මුදා හැරිණි.
මෑතකදී මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් ද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීම සිදු විය.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකදී විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් සිදු කිරීමට මේ වන විට කමිටුවක් පත් කර ඇති බවත්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් මෙම මාසය තුළ තීන්දුවක් ගැනීමට නියමිත බවත් ය.
එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්
බීබීසී සිංහල වෙත අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එළැඹෙන 60 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී යෝජනාවක් ගෙන එන බවට නිල වශයෙන් දැනුම් දී ඇති බව ය.
කැනඩාව සහ එක්සත් රාජධානිය එක්ව මෙම යෝජනාව ගෙන එන බවට දේශීය මාධ්‍ය වාර්තා කර තිබූ අතර, එම ප්‍රකාශකයා පැවසුවේ කැනඩාවෙන් එවැනි දැනුම්දීමක් මෙතෙක් සිදු කර නොමැති බව ය.
එවැනි වාර්තාවක් යෝජනාවක් පැමිණියහොත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවයෙන් අමාත්‍ය විජිත හේරත් කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව එම අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ ය.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල විසින් සැප්තැම්බර් 04 පවතී අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් විමසීමක් සිදු කරන ලදී.
"කලින් වසරවලදී අපේ රටේ පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ තත්ත්වය සැලකිය යුතු මට්ටමකට වෙනස් වෙලා තියෙන බව ජාත්‍යන්තර ප්‍රජාව පවා පිළි අරගෙන තියෙනවා. ඒ අනුව මානව හිමිකම් කොමසාරිස්වරයා පවා ඒ සම්බන්ධයෙන් තමන්ගේ වාර්තාවක් පවා ඉදිරිපත් කරලා තිබුණා," ඔහු පැවසුවේ ය.
"ඒ වගේ ම ඔවුන්ගේ පැත්තෙන් යම් යම් නිරීක්ෂණ ප්‍රමාණයකුත් තියෙනවා. මේ ගැන විදේශ අමාත්‍යංශයත් රජයත් විශේෂ අවධානයක් යොමු කරලා තියෙන්නේ. ඒ ගැන මානව හිමිකම් සැසියට පෙර හෝ අතරතුරදී අපි රජය පැත්තෙන් ප්‍රකාශයක් කරන්නම්," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.
කොළඹ සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට සහභාගී වීම සඳහා අමාත්‍ය විජිත හේරත් සැප්තැම්බර් 07 වන දින ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නියමිත අතර ඔහු සැප්තැම්බර් 11 වන දින නැවත පැමිණීමට නියමිත ය.
එමෙන් ම මෙම සැසි වාරයට ජනාධිපතිවරයා ද සම්බන්ධ වීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ ය.
මෙලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා මානව හිමිකම් සැසියට පිටත්ව යාමට දින කිහිපයක් පමණක් තිබියදී සැප්තැම්බර් 02 දින කොළඹ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබිණි.
අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය, හානි පූර්ණ කාර්යාලය හා ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය ඇතුළු දේශීය සංහිඳියා යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති පියවරයන් අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් හට අවධාරණය කළ බව අමාත්‍යංශය මගින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.
බීබීසී සිංහල වෙත අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ, ඉදිරි මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට සහය ලබා දීම සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග සාකච්ඡා කළ බව ය.