ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'PTA අහෝසි කරන්න' - මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පනස් තුන්වන සැසිවාරය 2023 ජුනි 19 දින ජිනීවා නුවර දී ආරම්භ විය. ජුලි 14 දක්වා පැවැත්වීමට පැවැත්වීමට නියමිත මෙහි ජුනි 21 වන දා පැවති සැසියේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය කොමසාරිස් නාඩා අල් නශීෆ් ශ්‍රී ලංකාව පිළිබඳ වාචික යාවත්කාලීන කිරීමක් සිදුකළා ය.
පනස් හතරවන සැසියේ දී ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමේ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත ය.
මින් පෙර පැවැති එහි පළමු සැසියේ දී, මානව හිමිකම් කවුන්සිලයේ නව මහ කොමසාරිස්වරයා වන වෝකර් ටර්ක් විසින් එම සැසියේ දී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන රටවල සංක්ෂිප්ත තත්ත්වය පිළිබඳ වාචික වාර්තාවක් ඉදිරිපත් කළේ ය.
ත්‍රස්ත විරෝධී පනත එපා
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීතියක් සම්පාදනයට රජය කැප වී සිටිය යුතුවුවත්, මාර්තු මාසයේ දී ගැසට් කළ නව 'ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත' අදහස් ප්‍රකාශ කිරීමට හා රැස්වීමට ඇති අයිතීන් මෙන් ම කම්කරු අයිතිවාසිකම් ද සීමා කරන පුළුල් විධි විධාන අඩංගු එකක් බවට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මානව හිමිකම් පිළිබඳ නියෝජ්‍ය කොමසාරිස් නාඩා අල් නශීෆ් පවසයි.
සාමාන්‍ය අපරාධ නීති හා අනෙකුත් පවතින නීති මඟින් දැනටමත් උක්ත පනතේ වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය මෙවලම් ඇති නිසා එම පනත අහෝසි කර එය භාවිත කිරීම නවත්වා දමන ලෙස ඇය ශ්‍රී ලංකා රජය දිරිමත් කළා ය.
ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව සම්මත කෙරුණේ පසුගිය වසරේ 2022 ඔක්තෝබර් හයවැනි දා ය. එම යෝජනාවේ කරුණු 19ක් අඩංගු වූ අතර, එයින් නවයක් ම ආර්ථික අර්බුදය සහ මෑතකාලීන මානව හිමිකම් කඩවීම් හා සම්බන්ධ ය.
වගවීම සම්බන්ධ එ.ජා. යෝජනා ශ්‍රී ලංකා රජය පැහැර හැරලා ද?
ජුනි 19 දා පැවැති සැසියේ දී මහ කොමසාරිස් ටර්ක්, "ශ්‍රී ලංකා රජය 'කණගාටුදායක' ලෙස වගවීම පිළිබඳ යෝජනාව ප්‍රතික්ෂේප කළත්, අපගේ වැඩකටයුතු සඳහා එය දිගටම යොදා ගන්නවා,"යි අදහස් දක්වා තිබුණි.
සැසිවාරයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා, දශක ගණනක් තිස්සේ ජනවරම දරා සිටි අය ක්‍රියාත්මක නොකළ මෙම යෝජනාවේ අඩංගු කරුණු ක්‍රියාත්මක කිරීමට ඔහු ශ්‍රී ලංකාව උනන්දු කරන බව ප්‍රකාශ කළේ ය.
මෙවැනි යෝජනා පැමිණි විට, [බොහෝ රටවල්] ඒවා ක්‍රියාත්මක කරනවා වෙනුවට නව සැසිවාරයන්හි දී 'ඔහේ රෝල්කරමින් ඉදිරියට ගෙන යන' බවත්, එම නිසා එම යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉදිරියට එන්නැ යි සියලු රටවල්වලින් බලවත් ඉල්ලීමක් සිදු කරන බවත් ඔහු පැවසුවේ ය.
කෙසේ වෙතත්, එම සැසිවාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති නීතිඥ අලි සබ්‍රි එම යෝජනාව ප්‍රතික්ෂේප කළේ ය.
'වගවීම් පැහැර හැරීම් බලධාරීන් පිළිගත යුතු යි'
මීට පෙර සිදු ව ඇති වගවීම් කඩකිරීම් සෘජුවම පිළිගෙන විශ්වාසවන්ත පරීක්ෂණ පවත්වා නඩු පැවරීම් කළ යුතු බවට නෂීෆ් ඇගේ කතාවේ දී පෙන්වා දුන්නා ය. පසුගිය වසරේ පැවති විරෝධතාවලින් වඩාත් හොඳ පාලනයක් ඉල්ලා සිටිය ද, තවමත් එම අරමුණු සාක්ෂාත් කරගැනීමට නොහැකි වී ඇති බව ඇය පවසයි.
"ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක්, ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ සහ වගවීම වෙනුවෙන් ද, ප්‍රතිසන්ධානය, මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් ද, මෙම අවස්ථාව භාවිතා කරන ලෙස අපගේ කාර්යාලය ශ්‍රී ලංකාවේ රජයෙන් සහ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා," ඇය එහි දී ප්‍රකාශ කළා ය.
"ශ්‍රී ලංකාවේ නිදහස සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය යන දෙකෙහිම 75 වැනි සංවත්සරය සනිටුහන් කරන වසරේ දී එය සිදු කිරීම වඩාත් යෝග්‍ය වෙන්න පුළුවන්."
පැරණි මර්දනය තවමත්
අරගල නායකයන් අත්අඩංගුවට ගැනීම, බලහත්කාරී ව මහජන රැස්වීම් විසුරුවා හැරීම මෙන් ම සිවිල් අවකාශය පාලනයට "කෲර" නීති භාවිත කිරීමේ පැරණි ලක්ෂණ අවාසනාවන්ත ලෙස පසුගිය මාසවලදී ද නිරීක්ෂණය වූ බව නෂීෆ් පැවසුවා ය.
විකට සංදර්ශනයක දී ප්‍රකාශ කළ කරුණු මත සිදු කළ අත්අඩංගුවට ගැනීම් සහ විරෝධතාවයක දී මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනිම එයට නිදර්ශනයැ යි ඇය පෙන්වා දෙයි.
ජනපති - දමිළ පක්ෂ අතර සංවාදය පැසසුමට
ජනාධිපතිවරයා විසින් මේ වන විට දමිළ දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති සංවාදය අගය කරන බවත්, පුරාවිද්‍යා හා වගා අරමුණු ඇතුළු හේතු මත ඉඩම් අත්පත් කරගැනීම නැවැත්වීමට ජනාධිපතිවරයා ලබා දී ඇති පොරොන්දුව සාදරයෙන් පිළිගන්නා බවත් නියෝජ්‍ය මහකොමසාරිස්වරිය පවසයි.
අතුරුදන්වූවන්ගේ පවුල්වලට සත්‍ය හෙළිදරවු කිරීමට, වන්දි ලබා දීමට, වගවීමට හා ඔවුන් අනුස්මරණයට අවස්ථාව ලබාදීම වෙනුවෙන් සත්‍ය සෙවීමේ කොමිසමක් හෝ ඊට සමාන යාන්ත්‍රණයක් ගොඩ නගන ලෙස එහි දී නිර්දේශ කර තිබේ.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයය මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ට තෘප්තිමත් විය හැකි පිළිතුරක් ලබා දීමට අපොහොසත් නිසා ඉහත කරුණු සාක්ෂාත් කරගත හැකි සැලැස්මක අවශ්‍යතාවය නෂීෆ් පැහැදිලි කළා ය.
තව ද, 2019 දී සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති තීන්දුව ද මෙහි දී පැසසුමට ලක් විය.
'IMF ආර්ථික ප්‍රතිසංස්කරණ අසමාන ලෙස සිදු නොකරන්න'
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දක්වන අතර ම, "[ආර්ථික] ප්‍රතිසංස්කරණවල බර තවදුරටත් අසමාන ලෙස වැඩි නොකරන බවට [ශ්‍රී ලංකා බලධාරීන්] සහතික විය යුතු," බව නෂීෆ් පවසයි. ඇය පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට සහ යහපැවැත්මට දැඩි බලපෑමක් එල්ල කරන බවයි. එමනිසා ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණයන් හි සෘණාත්මක අතුරු ප්‍රතිඵලවලින් වඩාත් අවදානමකට ලක් විය හැකි අය වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණයක් ගොඩනැගීමට ඇය නිර්දේශ කරයි.
තව ද මෙම අර්බුදයට යටින් ඇති දූෂණය සහ අනෙකුත් හේතු ආමන්ත්‍රණය කිරීමට ද ඇය ශ්‍රී ලංකා රජයට නිර්දේශ කරයි.
"සැමට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයටත් ජනතාවටත් සහය ලබාදීමට [අපගේ] කාර්යාලය සූදානම් ව සිටිනවා," ඇය අවසාන වශයෙන් ප්‍රකාශ කළා ය.
නව මහකොමසාරිස් 'වෝකර් ටර්ක්' කවු ද?
ඔස්ට්‍රියානු ජාතික නීතිඥවරයෙකු වන වෝකර් ටර්ක්, වියානා විශ්වවිද්‍යාලයයෙන් ජාත්‍යන්තර නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබූ තැනැත්තෙකු වන අතර, ඔස්ට්‍රියාවේ ලින්ස් විශ්වවිද්‍යාලයයෙන් නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළ අයෙකි.
ඔහු ජාත්‍යන්තර සරණාගත නීති සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති සම්බන්ධයෙන් බොහෝ ලියවිලි ප්‍රකශයට පත් කර තිබේ.
ඔහුගේ දිගුකාලීන වෘත්තිය ජීවිතය තුළ දී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විධායක කාර්යාලයයේ ප්‍රතිපත්ති පිළිබඳ උපලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, ඔහු රටවල් ගණනාවක ම මානව හිමිකම් සම්බන්ධයෙන් වසර ගණනාවක් විවිධ තනතුරු දරමින් කටයුතු කර ඇති බව මානව හිමිකම් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ දැක් වේ.
ඔහු, මීට පෙර මහකොමසාරිස් ලෙස කටයුතු කළ මිචෙල් බැචලේගෙන් පසු 2022 ඔක්තෝබර් 17 සිට මෙම තනතුර දරයි.
මෙවර සැසියේ ප්‍රධාන මාතෘකා මොනවා ද?
මෙවර මානව හිමිකම් සැසිවාරය ජුනි 19 සිට ජුලි 14 දක්වා පැවැත්වීමට නියමිත ය.
වෙනිසියුලාව, මියන්මාරය, යුක්ක්‍රේනයේ තත්ත්වය, ඇෆ්ඝනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් මුහුණ පා සිටින තත්ත්වය හා සුඩානයේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය මෙවර සැසියේ දී මූලික වශයෙන් ම සාකච්ඡා කිරීමට නියමිත ය.
- මියන්මාර හමුදා කුමන්ත්‍රණය: සටන් වැදීම ප්‍රතික්ෂේප කරන මියන්මාර හමුදා සෙබළු
- ඉරාන-තුර්කි දේශ සීමාවේදී පැහැරගෙන ගොස් වධහිංසාවන්ට ලක්වන ඇෆ්ගනිස්ථාන වැසියන්
- යුක්රේන වේල්ල:'රුසියාවට අවශ්‍ය වූයේ නගරය දියේ ගිල්වා දමන්න' - ගංවතුරට හසු වූ කර්සොන් කලාපයේ වැසියෝ
- සුඩානයේ ගැටුම් :ඔබේ රට යුද්ධයක පැටලුණු අවස්ථාවක ඔබට කතා කළ හැක්කේ කාට ද?
මීට අමතර ව, ශ්‍රී ලංකාවේ මානව භිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් වාචික යාවත්කාලීන කිරීමක් සහ, ශ්‍රී ලංකාව, පාකිස්ථානය ඇතුළු රටවල් 13ක විශ්වීය වාර සමාලෝචනයේ අවසන් ප්‍රතිඵල පිළිබඳ සලකා බැලීමට ද නියමිත ය.