වෛද්‍ය ෂාෆි:'කාත් එක්කවත් තරහ නෑ.චෝදනා කළ අය එක්ක සතුටින් වැඩ කරන්න සූදානම්'

සිසේරියන් සැත්කම් කිරීමේදී පැලෝපීය නාල අවහිර කර මව්වරුන් වඳභාවයට පත්කළේයැ යි චෝදනා ලැබූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් පිළිබඳ කතාබහක් යළි ත් නිර්මාණය වී තිබේ.

ඒ, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් සමාජ මාධ්‍යවල පළ කිරීම ත් සමග ය.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුවේ ලේකම් එල්.ඒ. කළුකපුආරච්චිගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ, 'වෛද්‍ය එස්.එස්.එම්. ෂාෆි මහතාට එරෙහිව පැවති විනය කටයුතු අවසන් කිරීමට සහ නිලධාරියා වහා ම ක්‍රියාත්මක වන පරිදි නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතට අනුයුක්ත කිරීමට නියෝග කරන,' බව ය.

ඉහත කී නියෝගය අනුව වෛද්‍ය ෂාෆි වහා ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත අනුයුක්ත කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර ලේකම්වරියකට උපදෙස් දුන් බව මේ වන විට සෞඛ්‍ය සමුළුවක් සදහා විදෙස් සංචාරයක නිරතව සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත බීබීසී සිංහල සේවයට පැවසීය.

"මම කාත් එක්කවත් තරහ නෑ"

වසර 4ක කාලයක් සේවයෙන් නෙරපා දමා තිබූ එමෙන් ම සමාජයේ චෝදනාවන්ට ලක්ව සිටි වෛද්‍ය ෂාෆි මේ වන විට එම සියලු චෝදනාවලින් නිදහස් වී සිටින අතර ඒ පිළිබදව බීබීසී සිංහල සේවය ඔහුගේ අදහස් විමසීය.

"මේක ලොකු ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය මගේ නෙවෙයි. මේ රටේ ආගම් භේද නොසලකන, මාව විශ්වාස කරපු සහ කරන, ඒ වගේ ම අසාධාරණයට අකමැති සියලු දෙනාගේ ම ජයග්‍රහණයක්. ඒ නිසා මට ඒ ගැන ගොඩක් සතුටු යි. අවුරුදු ගණනාවක් තිස්සේ මට ත් මගේ පවුලේ සාමාජිකයින්ට ත් මේ බොරු චෝදනා නිසා ලොකු පීඩනයකට මුහුණ දෙන්න සිද්ධ වුණා," වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් පැවසීය.

ඔහු පැවසුවේ, ලබන සතියේ පමණ තමන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ යළි ත් වැඩ භාර ගැනීමට සූදානමින් සිටින බව ය.

"තාම මගේ අතට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ලිපිය ලැබුණෙ නෑ. ඒක ඉක්මනින් ලැබෙයි කියල විශ්වාස කරනවා. බොහෝ විට ලබන සතියේ වැඩ භාර ගන්න යන්න සූදානමින් ඉන්නවා."

"මේ වෙලාවේ මට කරන්න තියෙන එක ම ඉල්ලීම තමයි, මේ වගේ දෙයක් ආපහු වෙන කාටවත් ම කරන්න එපා. ඒක අසාධාරණ දෙයක්. මම මගේ රාජකාරිය හරියට ම කරපු කෙනෙක්. ඒ නිස යි අවුරුදු ගණනක් විමර්ශන කරල ත් මගේ එක ම වරදක්වත් හොයා ගන්න බැරි වුණේ. මාව බොරු වරදක පටලවලා මගේ දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාට ම විශාල පීඩනයක් එල්ල කරන්න ක්‍රියා කරපු කිසි ම කෙනෙක් එක්ක මගේ තරහක් නෑ. මම ඔවුන්ට සමාව දීලා ඉවර යි," වෛද්‍ය ෂාෆි ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසූ පරිදි තමන්ට යළි ත් සේවය කිරීමට සිදුව ඇත්තේ, තමන්ට එරෙහිව "අසත්‍ය චෝදනා" එල්ල කළ රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු තව ත් විශාල පිරිසක් සමග ය.

"තවමත් රෝහලේ අධ්‍යක්ෂවරයා ඔහු යි. කාර්ය මණ්ඩලයේ ඒ කාලේ හිටිය ගොඩක් අය තාම ත් එහේ වැඩ කරනවා. ඒ කිසි කෙනෙක් එක්ක මගේ තරහක් නෑ. මම ආයෙත් ඔවුන් එක්ක සතුටින් වැඩ කරන්න සූදානම්," ඔහු වැඩිදුරට ත් පැවසීය.

වෛද්‍ය ෂාෆිට එල්ල කළ චෝදනා

වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් සඳහා ඔහු වෙත යොමු කෙරුණු මව්වරුන් වඳභාවයට පත්කළේයැ යි චෝදනා එල්ල වන්නේ 2019 වසරේදී ය.

ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා අළලා දැඩි ආන්දෝලනයක් ඇති වූයේ 2019 මැයි 23 වන දා "තවුහිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මව්වරුන් හාරදහසක් වඳ කරලා, සාක්ෂි සහිතව තොරතුරු හෙළිවේ" යනුවෙන් දිවයින පුවත්පත පළකර තිබූ ප්‍රධාන පුවතත් සමග ය.

2019 ජනාධිපතිවරණ සමයේදී මව්වරුන් 1,000ක් පමණ වඳභාවයට පත්කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල කළ අතර, ඒ සම්බන්ධයෙන් කුරුණෑගල එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේ, 2019 වසරේ මැයි 25 වන දා ය.

ඒත් සමග ම ඔහු අනිවාර්ය නිවාඩු යැවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේ ය.

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් CIDය පරීක්ෂණයක් ආරම්භ කළේ 2019 මැයි 27 වන දා ය.

එම කාලය ඇතුළත කුරුණෑගල සහ දඹුල්ල රෝහල්වලදී මෙම වෛද්‍යවරයා අතින් සිසේරියන් සැත්කමට බඳුන් වූ මව්වරුන් සිය ගණනක් පොලිසියට පැමිණිලි කර තිබුණේ තමන්ට දරුවන් නොමැති බවට ය.

එම චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ පරීක්ෂණයට අදාලව ප්‍රකාශ 758ක් ලබාගෙන තිබිණ.

  • සිසේරියන් සැත්කම්වලට භාජනය වූ කාන්තාවන්: 601
  • ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්: 07
  • ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරුන්: 01
  • නොමේරු ළදරුවන් පිළිබඳ වෛද්‍යවරුන්: 06
  • සිසේරියන් සැත්කම්වලට සහය වන වෛද්‍යවරුන්: 11
  • නිර්වින්දන වෛද්‍යවරුන්: 10
  • හෙද නිලධාරිනියන්: 70
  • ප්‍රධාන හෙද නිලධාරිනියන්: 01
  • උපස්ථායක සේවකයින්: 18
  • මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍යවරුන්: 01
  • කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා

2019 ජූනි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධිකරණයට දන්වා සිටියේ, වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට එරෙහිව එල්ල කර ඇති චෝදනා සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි නොමැති බව ය.