මැයි 9 ප්‍රහාරයට වසරයි

අද 2022 මැයි 09 වැනිදා 'ගෝඨා ගෝ ගම' ට සහ 'මයිනා ගෝ ගම' ට එල්ලවූ ප්‍රහාරයට වසරක් සපිරෙයි.

එය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් අඳුරු දිනයක් බවට පත්වුයේ මුලිකවම ගාලුමුවදොර අරගල භූමියේ සිටි සාමකාමී විරෝධතාකරුවන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් නිසාවෙනි.

ගාලු මුවදොරින් ආරම්භ වූ එම ප්‍රචණ්ඩත්වයට එරෙහි ප්‍රතිප්‍රචණ්ඩත්වයක් රටපුරා ව්‍යාප්ත වීමට වැඩි වේලාවක් ගත නොවූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ද දිවි අහිමිවුයේ ඛේදනීය සිදුවීමකිනි.

ප්‍රකෝපකාරී පිරිස් විසින් පහරදීම හේතුවෙන් මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුළු දේපළ රැසකට හානි සිදුවී ඇති අතර මේවන විට ඔවුන්ගෙන් අති බහුතරයකට රජයේ වියදමින් හානිපූර්ය කර ඇත.

මෙදින ඇතිවු ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් විශාල පිරිසක් අත්අඩංගුවට පත්වු අතර මේවන විට ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.

මැයි 9 ප්‍රහාරය..

එවක රට මුහුණ පා තිබු ආර්ථික අර්බුදය සහ දිගින් දිගටම ආණ්ඩුවට, ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා පාලකයින්ට එල්ල වෙමින් පැවති ජනතා විරෝධය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු බවට දේශපාලන කරළිය තුල කතාබහක් ඇති වී තිබුණි.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මස 09 වෙනිදා අරලියගහ මන්දිරයේදී ප්‍රකාශයක් සිදුකර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලඥයින් ප්‍රමුඛ ආධාරකරුවන් පසුගිය වසරේ මැයි මස 09 වෙනිදා උදෑසන සිට අරලියගහ මන්දිරයට රැස්වූයේ සිය නායකයාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස බලකිරිමටයි.

එදින දහවල් 12.00 තෙක් අරලියගහ මන්දිරය ඇතුළත පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග සිටි දේශපාලඥයින් සහ ආධාරකරුවන් අනතුරුව ඉන් පිටතට පැමිණ ගාලු පාරේ අරලියගහ මන්දිරයේ පිවිසුම් දොරටුව අසල පිහිටා තිබු ' මයිනා ගෝ ගම' දෙසට ගමන් කලහ.

පසුව එම ස්ථානයේදී පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් සාමකාමී විරෝධතාවයක නියැලී සිටි ' මයිනා ගෝ ගම' භූමියේ සිටි අරගලකරුවන්ට පහර දී ගාලු මුවදොර දෙසට ගමන් කලහ.

මිනිත්තු 15ක් වැනි කාලයක් තුලදී ඔවුන් ගාලු මුවදොර පිහිටා තිබු ' ගෝඨා ගෝ ගම' අරගල භූමියට ඇතුල් වූ අතර එහි සිටි සාමකාමී අරගලකරුවන්ට සහ ඔවුන් රැඳී සිටි කුඩාරම්, ඉදිකර තිබු වෛද්‍ය මධ්‍යස්ථානය, පුස්තකාලය ඇතුළු ස්ථාන රැසකට පහර දී විනාශ කරන ලදී.

ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ බවට පොලිසියට චෝදනා

අරලියගහ මන්දිරයේ සිට ' මයිනාගෝ ගම' සහ 'ගෝඨා ගෝ ගම' අරගලකරුවන් රැඳී සිටි භුමියට දේශපාලන ආධාරකරුවන් විසින් පහරදෙන අවස්ථාවේදී එය වැළැක්වීමට හෝ පිරිස විසුරුවා හැරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිසියට සෘජුව චෝදනා එල්ල විය.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය ඉදිරිපිටින් මාර්ගය අවහිර කරමින් පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් "ගෝඨා ගෝ ගම" දෙසට ගමන් කරමින් සිටි දේශපාලන ආධාරකරුවන් පාලනය කිරීමට මිනිස් පවුරක් නිර්මාණය කර තිබුණද, ඔවුන් ගාලු මුවදොර පිටිය හරහා යමින් අරගල භූමියට පහරදුන් අයුරු සමාජ මාධ්‍ය සහ රූපවාහිනී නාලිකා ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන වලින් පෙනෙන්ට තිබුණි.

මේ අතර මානව හිමිකම් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2022 මැයි 13 සිකුරාදා ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ බලධාරීන් දෙදෙනෙකු ප්‍රහාරය පාලනය කිරීමට සකස් කරන ලද සිය සැලසුම් ක්‍රියාත්මක කිරීමට තමන්ට ඉඩ ලබා නොදුන් බවයි.

එම ජ්‍යෙෂ්ඨ බලධාරීන් දෙදෙනා තමන් ඇතුළු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිතා නොකරන ලෙසට බලපෑම් කළ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී අවධාරණය කර තිබුණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන් පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බලකායට කතා කොට ජල ප්‍රහාරක රථ දෙකක්, කඳුළු ගෑස් සහ කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් 200කට වැඩි ප්‍රමාණයක් ගාලු මුවදොරට කැඳවීමට පියවර ගනු ලැබුවත් සිදුවූ ප්‍රමාදය නිසා කලහකාරී පිරිස් පොලිස් නිලධාරීන් අභිබවා විරෝධතා භූමියට ඇතුළු ව තිබූ බවයි.

ප්‍රහාරයෙන් "ගෝඨා ගෝ ගම" ට සහ "මයිනා ගෝ ගම" ට වූ හානිය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් "ගෝඨා ගෝ ගම" ට සහ "මයිනා ගෝ ගම" ට එල්ල කරනු ලැබූ ප්‍රහාර හමුවේ පුද්ගලයින් 76 දෙනෙකු තුවාල ලබා තිබු අතර ඉන් පුද්ගලයින් 25 දෙනෙකු රෝහල් ගත කර තිබුණි.

' ගෝඨා ගෝ ගම' ට සහ 'මයිනා ගෝ ගම' ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ආධාරකරුවන් විසින් ප්‍රහාර එල්ල කරනු ලබන බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු ප්‍රචාරය වීමත් සමග එය කොළඹ නගරය තුල මෙන්ම ඉන් පිටත ජනතාව ආවේගයට පත් කරවන ලද සිදුවිමක් විය.

ප්‍රහාරය හේතුවෙන් කොළඹ නගරය තුලදී සාමාන්‍ය ජනතාව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අරලියගහ මන්දිරයට පැමිණි බව කියන බස් රථවලට පහර දුන් අතර ඇතැම් ඒවාට ගිනි තබන ලදී.

මෙයට අමතරව ගංගාරාමය අසලදී පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසකට සාමාන්‍ය ජනතාව විසින් පහර දී ඔවුන් බේරේ වැවට බස්සවා සිටින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය තුල හුවමාරු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට දිවි අහිමි වෙයි

කොළඹ 'ගෝඨා ගෝ ගම' ට සහ 'මයිනා ගෝ ගම' ට එල්ලවූ ප්‍රහාරයෙන් පසු කොළඹ නගරයෙන් පිටත ප්‍රදේශ රැසක ද නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

කොළඹ සිට පොළොන්නරුවේ සිය නිවස කරා ගමන් කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ගමන් කරමින් තිබූ රථය නිට්ටඹුව ප්‍රදේශයේදී සාමාන්‍ය ජනතාවගේ ප්‍රහාරයට ලක්විය. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා විසින් සිදුකළ වෙඩි තැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

එම වෙඩි තැබීමත් සමග කුපිත වූ ජනතාව විසින් මන්ත්‍රීවරයාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී තිබු අතර එහිදී ඔවුන් දෙදෙනා ද මරණයට පත්විය.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය 2022 මැයි මස 10 වෙනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනය අනුව මැයි මස 09 වෙනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 ක් ලෙස තහවුරු කරන ලදී.

එලෙස මියගිය පිරිස අතරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු ද සිටින බව නිවේදනය කරන ලදී.

මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

මෙම සිදුවීම් වලින් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දෙනු ලැබීය.

එම ලිපිය ලැබීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

අග්‍රාමාත්‍ය ධූරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමත් සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කළ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් ද සිය ධුරවලින් ඉල්ලා අස්විය.

අගමැති ධුරයෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු ඇතිවූ අගමැති ධුරයේ පුරප්පාඩුව සඳහා රනිල් වික්‍රමසිංහ පත් කිරීමට මැයි මස 12 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගන්නා ලදි.

රනිල් වික්‍රමසිංහ හය වෙනි වරටත් අගමැති ධුරයට පත්වුයේ මෙරට ඉතිහාසයේ වැඩිම වාර ගණනාවක් අග්‍රාමාත්‍යධූරයට පත්වූ දේශපාලඥයා බවට පත්වෙමිනි.

ඉන් අනතුරු පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කෙරෙන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අමාත්‍යවරුන් 04 දෙනෙකු පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගන්නා ලදී.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කංචන විජේසේකර දිවුරුම් දුන්හ.

මන්ත්‍රීවරුන් 74 ක ගේ නිවාස වලට ප්‍රහාර

'ගෝඨා ගෝ ගම' ට සහ 'මයිනා ගෝ ගම' ට එල්ලවූ ප්‍රහාරයත් සමග ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ රටේ විවිධ ප්‍රදේශවල පිහිටි නිවාසවලට මහජනතාව ප්‍රහාර එල්ල කරන ලදී.

එලෙස පහරදීමට ලක්වූ නිවාස අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ වීරකැටියේ පිහිටි මැදමුලන නිවස ද විය. එමෙන්ම තංගල්ලේ පිහිටි ඩි.ඒ.රාජපක්ෂ පිළිරුව මෙන්ම කෞතුකාගාරය ද ප්‍රහාරයට ලක්විය.

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය මගින් නිකුත් කරනු ලැබූ වාර්තාවක සඳහන් වුයේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබූ මන්ත්‍රීවරුන් 74 දෙනෙකුගේ නිවාස ඇතුළු දේපළ වලට හානි සිදුවූ බවය.

ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරයි

අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටුවා තිබූ 'මයිනා ගෝ ගම' සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ඉදිකර තිබූ 'ගෝඨා ගෝ ගම'ට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව මැයි මස 10 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු දක්වන ලදි.

එහිදී සාමකාමී අරගලයට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු 17 දෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

ඒ අනුව,

  • හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
  • පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
  • පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු
  • පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත
  • පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න
  • පාර්ලිමේන්තු මන්ත්‍රි පවිත්‍රා වන්නිආරච්චි
  • පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන
  • පාර්ලිමේන්තු මන්ත්‍රී සී. බී. රත්නායක
  • සම්පත් අතුකෝරළ
  • කංචන ජයරත්න
  • රේණුක පෙරේරා
  • මහින්ද කහඳගම
  • පුෂ්පලාල් කුමාරසිංහ
  • නිශාන්ත ජයසිංහ
  • අමිත අබේවික්‍රම
  • දිලිප් ප්‍රනාන්දු
  • බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

යන පිරිසට එරෙහිව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවනු ලැබිය.

ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ විමර්ශනයන්වලට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ සනත් නිශාන්ත, මිලාන් ජයතිලක ඇතුළු 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර පසුව ඔවුන් ඇප මත මුදා හරින ලදී.

වසරක් ගත වුවත් හානියට වන්දි නොලැබුණු මන්ත්‍රීන්

මැයි 09 වෙනිදා ඇතිවූ පහරදීම් වලින් හානියට පත්වූ සිය නිවසට සහ කාර්යාලය වෙනුවෙන් මේ දක්වා තමන්ට කිසිඳු වන්දියක් නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වූ බවක් තමන්ට නොහැගෙන බවයි.

"ගිය අවුරුද්දේ මැයි මාසයේ 09 වෙනිදා අනුරාධපුරයේ පිහිටි මගේ නිවස සහ කාර්යාලය මුළු මනින්ම ගිනිබත් කළා. ත්‍රස්තවාදීන් පිරිසක් එකතු වෙලා. ඒක සම්බන්ධයෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා. නමුත් අද වෙනකම් මට සත පහකවත් වන්දි මුදලක් ඒ වෙනුවෙන් ලැබුනේ නැහැ. නමුත් රජයත් එක්ක කටයුතු කරන මන්ත්‍රීවරුන්ට යම් වන්දි මුදලක් ලැබුණු බවට අපිට දැනගන්න ලැබිලා තියෙනවා."

"අප ප්‍රතිපත්තිමය කාරණා නිසා රජයෙන් ඉවත් වෙලා ජුලි මාසයේදී පාර්ලිමේන්තුවේදී තිබුණු ජනාධිපතිවරණයේදී ඩලස් අලහප්පෙරුම මැතිතුමාටයි සහය දැක්වුයේ. ඒ නිසා වෙන්න ඇති අපිට වෙනස් ආකාරයක සැලකිල්ලක් ලැබුනේ රජය ඇතුලෙන්. අපි බලාපොරොත්තු වෙනවා සිදුවූ හානියට සාධාරණ වන්දි මුදලක් ලබා දෙන්න කටයුතු කරයි කියලා ඉදිරියේදී."

"ඒ වගේම මේ කටයුතු වලට සම්බන්ධ වූ අපරාධකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් ආකාරයට නීතිය ක්‍රියාත්මක වීමක් කෙරිලා නැහැයි කියලා මටනම් පෙන්නේ. මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච අපරාධකරුවන්ගෙන් ඇතැම් අය නිදැල්ලේ හැසිරෙනවා. ඒ වගේම ඉතාම පැහැදිලිවම අප දන්න කෙනෙක්, ගිනි තැබීම වලට උසි ගන්නපු ඒවාට සහභාගී වුනු අනුරාධපුරය නගර සභාවේ මාලිමාවේ යටතේ අපේක්ෂකයෙක් හැටියට කටයුතු කරනවා. ඒ කිසිම කෙනෙකුට නීතිමය කටයුත්තක් වුනා කියලා මටනම් පෙන්නේ නැහැ."

"අපට යම් කිසි තැනක තට්ටු නිවාස සංකීර්ණයක නිවාස ලබාදීමක් සිදුවුණා. නමුත් ප්‍රයෝගිකව මට එම ස්ථානයේ සිට කටයුතු කරන්න අපහසුයි. ඒ නිසා මම ඒක අරගැනීමක් කලේ නැහැ. ආරම්භයේදී අපිට යතුරු දුන්නා, නමුත් දවස් කිහිපයකට පසුව මම ඒ යතුරු ආපසු භාර දුන්නා. මම ඒ ස්ථානයෙන් නිවසක් ලබා ගත්තේ නැහැ."

"රජයේ තක්සේරුකරුවන් ඇවිත් මගේ නිවසට සිදුවූ හානිය ගැන තක්සේරු කළා. ඒ ඇස්තමේන්තුව අනුව රජයේ නිල තක්සේරුව හැටියට ගොඩනැගිලි සඳහා රුපියල් මිලියන 12ක් සහ එහි ඇතුලේ තිබු භාණ්ඩ වලට රුපියල් මිලියන 07ක හානියක් සිදුවෙලා තියෙනවා. සම්පුර්ණ හානිය මිලියන 19ක්." යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනයට මොකද වුනේ ?

මැයි මස 09 වෙනිදා ඇතිවූ ගැටුමේදී සිය මුලික මිනිස් අයිතිවාසිකම් කඩවූ බවට අරගලයේ යෙදී සිටි පුද්ගලයින් ද ඊට අමතරව සිය නිවෙස් වලට සහ දේපල වලට අරගලකරුවන් විසින් හානි සිදු කළ බවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් ද පැමිණිලි කරනු ලැබූ බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි අප වෙත පවසා සිටියේය.

"අපට ලැබුණු පැමිණිල්ල අනුව ඒ ඒ විමර්ශන සිදුකරනු ලැබුවා. මෙයට අමතරව විවිධ මාධ්‍ය කණ්ඩායම් සහ නීතිඥවරුන් ද පැමිණිලි ඉදිරිපත් කළා මැයි 09 වෙනිදා ඇතිවූ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන්. ඒ පැමිණිලි විමර්ශනයන් සිදුකරලා අදාල වාර්තා ලබාදීම සිදුකරලා තිබෙනවා"

"මීට අමතරව සමස්තයක් වශයෙන් සිදුවූ මෙම සිදුවීම් පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලිස්පතිවරයා, ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායම් ගෙනල්ලා ඔවුන්ගේ බලතල සම්බන්ධව සහ ඒවායේ යම් අනිසි හැසිරීම් සිදුවූවාද නැද්ද යන්න ගැන විමර්ශනය කළා. ඒ සාක්ෂි සටහන් කර ගත්තා."

"ඒ අනුව ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වගේම හදිසි තත්ත්වයක් යටතේ ක්‍රියා කළ යුතු ආකාරය ගැන නෛතික වශයෙන් පොලිසියට ලබාදී ඇති බලතල අනුව සහ අදාල කරුණු අනුව පොලිසියත්, හමුදාවත් මානව හිමිකම් කොමිෂන් සභාව සමග දිගින් දිගටම සාකච්ජා කළා ඒ කරුණු පෙරදැරි කරගෙන."

"ඔවුන් කිසිදු නීතිවිරෝධී උල්ලංඝණයක් සිදුකලේ නැහැ, ඔවුන් නීතියෙන් පැවරී ඇති බලතල අනුව රජය ආරක්ෂා කිරීමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට බැදිලා ඉන්නවා. ඉන් එහාට ගිය කටයුත්තක් සිදුකලේ නැහැයි කියලා පැවසුවා. ඒ අවස්ථාවේදී තිබුණු වීඩියෝ දර්ශන සහ වෙනත් දර්ශන උපයෝගී කරගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාව සිදුව තිබු යම් යම් අඩුපාඩු පෙන්වා දුන්නා."

"අඩුපාඩු පෙන්වා දීලා ඉදිරියේදී මෙවැනි තත්ත්වයකදී නැවත එවැනි දේ සිදුනොවීමට කටයුතු සලස්වා ගැනීමට යෝජනාවලියක් පොලිස්පතිවරයාට ලබාදුන්නා. ඒ වගේම තවත් කරුණු රාශියක් පිළිබඳ විමර්ශනය කරලා අදාළ අංශ වෙත වාර්තා ලබාදීමට මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කරනු ලැබුවා." යනුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි බීබීසී සිංහල වෙත ප්‍රකාශ කළේය.

‘අරගල භූමියට පහර දුන් මැරයින්ට පෙරලා පහර නොදුන්නානම් රටම අමු සොහොනක් වෙන්න තිබ්බා’

'ගෝඨා ගෝ ගම' ට පහරදුන් පිරිස් මැයි 09 වෙනිදා කිසිදු බාධාවකින් තොරව කොළඹින් පිටව ගියේ නම් එදා මුළු රටම අමු සොහොනක් බවට පත්වන්නට තිබු බව අරගල භූමිය් එවකට ක්‍රියාකාරීව කටයුතු කළ ජගත් මනුවර්ණ පැවසීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් ප්‍රචණ්ඩත්වයට අකමැති පුද්ගලයෙකු වුවත් එදින ගෝල්ෆේස් "ගෝඨා ගෝ ගම" ට පහරදීමට පැමිණි මැරයින්ට, අරගලයට ආදරය කරන පුද්ගලයින් එකතුවී පහරදීම නිසා සිදුවන්නට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකිවූ බවයි.

"මැයි මාසයේ 09 වෙනිදා තමයි රාජපක්ෂලාගේ මැරයෝ ගෝල්ෆේස් එකට පහර දෙන්නේ. ඒගොල්ලෝ විවිධ විධි වලින් උත්සාහ කළා මේ අරගලය ඒ මොහොතේ කඩාකප්පල් කරන්න. ඒ වෙනකොට විශේෂයෙන් රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට, ඒ වෙද්දී ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවට මරු පහරක් වෙලා තිබුනේ. අරගලය වටා මිනිස්සු එක් රොක්වෙලා හිටියා."

"ආර්ථික පීඩනය දරා ගන්න බැරුව, සමාජ අසාධාරණය දරා ගන්න බැරුව සහ බලයට එද්දී දීපු පොරොන්දු කඩ කිරීම් නිසා ඇතිවූ අපේක්ෂාභංගත්වයත් එක්ක එකතු වුනු මිනිස්සු අරගලය එක්ක එකතු වෙලා සිටියේ. ඒ අය දැන ගත්තා අරගලය ඉස්සරහට යන්න යන්න අනිවාර්යෙන්ම ඒ අයට බලය අත්හැරලා වෙනත් විකල්පයක් සඳහා යොමු වෙන්න වෙනවා කියලා."

"මේක කඩාකප්පල් කරන්න දරපු උත්සාහයේ ප්‍රබලතම උත්සාහය තමයි ඔය මැයි 09 වෙනිදා ඒගොල්ලෝ ගත්තේ. අරලියගහ මන්දිරයට පොහොට්ටුවේ මැරයෝ පිරිසක් ගෙනල්ලා පොලිසියේ සමහර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සහයද ඇතිව ගෝල්ෆේස් එකේ බොහෝම සාමකාමිව කඳවුරු බැඳන් හිටපු සහ ගෝල්ෆේස් එකේ අරගලයට සහභාගිවී සිටපු අයට පහර දුන්නා."

"ගෝල්ෆේස් එකේ ඒ වෙලාවේ ලොකු පිරිසක් හිටියේ නැහැ. ඒ අය කලින්ම හොයාගෙන තිබුනා දවල් වෙනකොට ගෝල්ෆේස් එකේ සෙනග අඩු වෙනවා කියලා. දෙදහක් විතර මැර පිරිස අපිට පහර දෙන්න එද්දී ඒ වෙලාවේ එතන සීයයක් වත් හිටියේ නැහැ. ඇහැට දැකපු දේ තමයි පොලිසිය මේ මැරයින්ට එන්න ඉඩ හැරියා කියන එක. ඒ අයගේ සැලැස්ම වෙලා තිබුනේ මැරයෝ දම්මලා ගෝල්ෆේස් එකට ගස්සලා අනිත් පැත්තකින් හමුදාව දාලා මේ මැර පිරිසත්, ගෝල්ෆේස් එකේ කඳවුරු බැදන් හිටපු අයවත් එතනින් අයින් කරලා දාන්න."

"අපි ළඟ තිබුණු එකම අවිය අතේ තිබුණු මොබයිල් ෆෝන් එක. අපි බොහොම සාමකාමී විදිහට තමයි අරගලය කරන් ගියේ. ගෝල්ෆේස් එකේ හිටපු තරුණ තරුණියන්ට පොලු මුගුරු අරන් මේ එන මැරයින්ට පහර දෙන්න තිබුනේ නැහැ. එහෙම වුනානම් ලොකු විනාශයක් වෙනවා එදා. කෙසේ හෝ සෝෂල් මිඩියා වලින් කරපු දැනුවත් කිරීම හරහා ගෝල්ෆේස් අරගලයට ආදරය කරපු මිනිස්සු පාරට බැහැලා මේ මැරයින් නැවත යද්දී පහර දුන්නා. ඇත්තටම පිරිසක් බේරේ වැවට දැම්මා. ඔවුන් පැමිණි බස් රථ ගිනි තැබීම සිදුවුණා. ඒක ටිකක් අපි හිතුවට වැඩිය ප්‍රචණ්ඩත්වයට පහර දුන්නා රට පුරාම"

"මේ වෙද්දී පවතින ආණ්ඩුව සහ පොහොට්ටුවේ ආරක්ෂාවට ගෙනාපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළුව ආණ්ඩුවට සම්බන්ධ පිරිස් සහ මේකේ පහරදීමට ඇවිත් ලැජ්ජාවට පත්වූ පොහොට්ටුවේ පිරිස් මේ ඇති වූ ප්‍රචණ්ඩත්වය බැර කරමින් ප්‍රධාන චුදිතයින් බවට පත් කරන්නේ අරගලකරුවන්."

"හැබැයි අපි ප්‍රධාන වශයෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මැයි 09 වෙනිදා උදේ වරුවකුත් තිබුණායි කියන එක. ඒගොල්ලෝ කියන්නේ සවස් වරුවේ රට පුරා වෙච්ච ප්‍රචණ්ඩ ක්‍රියා ගැන. හවස ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවුණේ ඇයි කියලා තාර්කිකව හොයලා බැලුවොත් උදේ වරුවේ සිදුවූ ප්‍රචණ්ඩ පහරදීම් නිසයි සවස් වරුවේ එහෙම තත්ත්වයක් ඇතිවුණේ ."

"අපි තේරුම් ගන්න ඕන ඉතා වැදගත් දෙයක් තියෙනවා. ගෝල්ෆේස් එකට පහර දෙන්න ආපු ඒ මැරයින්ට, කොළඹදී මේ ආකාරයෙන් පහර නොදුන්නානම්, ('මම පහරදීම් සහ ප්‍රචණ්ඩත්වය අනුමත කරන්නේ නැහැ') කුමක් වෙයිද කියලා අපි උපකල්පනය කරලා බලමුද මොකක් වෙයිද කියලා."

"මම හිතනදේ තමයි බැරි වෙලාවත් ගෝල්ෆේස් එකට ගහලා, ගෝල්ෆේස් එකේ හිටපු පිරිස පළවා හැරලා මේ පහර දෙන්න ආව මැරයෝ පිරිස ජයග්‍රාහකයින් වගේ කොළඹින් පිටතට ගියානම් ගම්වල ඉන්න එදා අරගලයට සහය පලකරලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාපු තරුණයින් පවා හොයලා පහර දෙනවා. එහෙම වුනානම් මුළු රටම අමු සොහොන් පිටියක් බවට පත්කරනවා ඔය පොහොට්ටුවේ මැරයෝ. අදටත් ඔවුන් බලයේ ඉන්නවා එහි ප්‍රතිඵලයක් විදිහට."

"ඒ පහරදීම අනුමත නොකලත්, ඒක සිදුවුණේ මේ රටේම වාසනාවකට කියලා අපි විශ්වාස කරනවා සහ අපි එය තේරුම් ගත යුතුයි. එසේ පහර නොදුන්නානම් මග දිගට ඉන්න අරගලයට සහය දුන්න සහ රටේ තැන් තැන්වල ඉදිකරලා 'ගෝඨා ගෝ ගම'ට සහය පළකරපු අරගල ස්ථාන වලට වගේම ගෙවල් වලට පැනලා පහර දෙනවා. අපිට පහර දීපු මැරයින්ගේ ගෙවල් ගිනි ගත්තා වගේ නෙමෙයි මේ රට පුරා අරගලයට සහය දුන්න මිනිස්සුන්ගේ ගෙවල් ගිනි ගන්නේ සහ මිනිස්සු ඝාතනය වෙන්නේ. එහෙම නම් මුළු රටම අමු සොහොනක් බවට පත්වෙලා තමයි ඔවුන් නවත්වන්නේ. වාසනාවකට ඒ පහරදීම සිද්ධ කරලා මේක මර්දනය කර ගන්න හැකිවුණු නිසයි ඒ මට්ටමින් මේක නතර කර ගන්න පුළුවන් වුනේ."

"ඒ අත්දැකීම හරි බිහිසුණු අත්දැකීමක්. ඒකට මුහුණ දුන්න අපි ඒක දන්නවා. අපි කියන්නේ මේවට සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕන වගේම සහ අරගලයේ අග්‍රඵලය අපට තවමත් අත්පත් කර ගන්න බැරිවෙලා තියෙනවා. අරගලය ලැබූ ජයග්‍රහණ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අරගලය ජයග්‍රහණයකින් කෙලවරවන්න නම් ඒ අරගලයට සම්බන්ධ පිරිස් සහ දේශපාලනයට සම්බන්ධ අය නොනවත්වා මේ රටේ තියෙන ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ඕන සහ වෙනසක් සිදුකරන්න ඕන කියලා මම හිතනවා." යනුවෙන් ජගත් මනුවර්ණ බීබීසී සිංහල සේවයට පැවසුවේය.