සංචාරය කිරීමට කැමති රැකියාවේ නියුතු දෙමාපියන්ට විසඳුමක්

ඩෙන්මාර්කයේ ව්‍යවසායකයින් වන නිකොලා ඇස්ට්‍රප් සහ මිෂෙල් රොඩ්ගාඩ්-ජෙසන් 2024 වසරේ ජනවාරි මාසයේදී The Traveling Village ආරම්භ කළහ)

ඡායාරූප මූලාශ්‍රය, Laerke Thorndal

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩෙන්මාර්කයේ ව්‍යවසායකයින් වන නිකොලා ඇස්ට්‍රප් සහ මිෂෙල් රොඩ්ගාඩ්-ජෙසන් 2024 වසරේ ජනවාරි මාසයේදී The Traveling Village ආරම්භ කළහ)

The Travelling Village යනු, ලොව පුරා මාස හතරක කාලයක් සහජීවන සහ සම-සංචාරක ගමනක් සඳහා ඩිජිටල් මෙවලම් ඔස්සේ රැකියා කරන සංචාරක පවුල් (digital nomad families) 19ක් එක් කරන අපේක්ෂාසහගත නව අත්හදා බැලීමකි.

දෙමාපියන් බවට පත්වීමට පෙර, ඩෙන්මාර්ක් ව්‍යවසායකයින් දෙපළක් වන නිකොලා ඇස්ට්‍රප් සහ මිෂෙල් රොඩ්ගාඩ්-ජෙසන්, වසර 6ක කාලයක් චීනය, ප්‍රංශය, ස්පාඤ්ඤය, නේපාලය සහ ආර්ජන්ටිනාව යන රටවල ඩිජිටල් මෙවලම් ඔස්සේ රැකියාවේ නිරත වූහ. දරුවන් ලැබීමෙන් පසුව පවා, ඔවුහු සංචාරක ජීවිතයක් ගැන සිහින මැවූහ. කෙසේ වෙතත්, පවුලක් ලෙස ප්‍රංශයට සහ මෙක්සිකෝවට ගිය ඔවුන්ගේ පළමු මාස ​​හයක සංචාරයේදී කුඩා දරුවන් දෙදෙනෙකු සමග සමාජ සම්බන්ධතා සහ ආධාරක ව්‍යුහයන් ගොඩනැගීමේදී ඇති වන අභියෝග අනාවරණය විය.

"දරුවන් ඉන්නකොට න්‍යෂ්ටික පවුල තුළ ඔබ හුදෙකලා වෙලා කියලා හිතෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් අපි තනියම ජීවත් වෙනවා කියලා කවදාවත් දැනුණේ නැහැ," පවුලක් ලෙස සිය පළමු සංචාරය පිළිබඳව ඇස්ට්‍රප් පැහැදිලි කළේ ය.

මෙම ආශාව සංසිඳුවීම සඳහා, ඇස්ට්‍රප් සහ රොඩ්ගාඩ්-ජෙසන්, තවත් පවුල් තුනක් සමග එක්ව අත්හදා බැලීමක් කළේ ය: එම අත්හදා බැලීම අනුව ගොඩනැගුණු The Travelling Village සංචාරක ගම්මානය, ඩිජිටල් සංචාරක පවුල් සඳහා ආසියාවේ ස්ථාන තුනක් හරහා අත්දැකීම් බෙදා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් සලසයි.

මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇත්තේ, සම-නිවාස සැලසුම්, ප්‍රජා ක්‍රියාකාරකම්, වැඩ කණ්ඩායම් සහ හවුල් ළමා රැකවරණය ලබා දීම යන ක්‍රියාකාරකම් හරහා වැඩ කරන දෙමාපියන්ට සහය වීම සඳහා ය. ප්‍රජාවක් පෝෂණය කිරීමෙන් සහ පවුල් සඳහා සංක්‍රාන්ති කාල පරිච්ඡේද සමග සෑම ස්ථානයක ම සති පහක නවාතැන් දීම හරහා දෛනික ක්‍රියාකාරකම් මගින් ඩිජිටල් රැකියාවල නිරත වන්නන්ට අහිමි වන සාම්ප්‍රදායික සහයක ජාලය ඔවුන්ට අත්විඳීමට සැලසීම මෙමගින් අපේක්ෂිත ය.

මාස හතරක් පුරා දිවෙන 2024 ජනවාරි 15 ​​වන දින ආරම්භ වූ මෙම අත්හදා බැලීම, වියට්නාමයේ හොයි ඇන් සහ තායිලන්තයේ කෝ ලන්ටා ප්‍රදේශවල ද පැවති අතර, මැයි 14 වන දා ජපානයේ කියෝතෝ නුවරින් අවසන් විය. මෙම පවුල් 19 (ඩෙන්මාර්කය, අමෙරිකාව, ඉන්දියාව, අයර්ලන්තය, ඉතාලිය සහ නෙදර්ලන්තය යන රටවලින් වයස අවුරුදු 1 සිට 14 දක්වා ළමුන් 34 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 70 දෙනෙකුගෙන් සමන්විත) විවිධ අයදුම්කරුවන් 82ක් අතරින් තෝරා ගන්නා ලදී. රැකියාවේ නිරත වෙමින්, සංචාරය කරමින්, පවුලක් පවත්වාගෙන යාමේ කැමැත්තෙන් එම පවුල් සියල්ල ම ඊට එක් වූහ.

මෙම අත්හදාබැලීම හරහා ප්‍රජා ආහාර ආදී සමූහ වශයෙන් ජීවත් වී‌මේ හොඳ ම භාවිතයන්ට අවස්ථාව සැලසෙයි

ඡායාරූප මූලාශ්‍රය, Leheng Sarac

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම අත්හදාබැලීම හරහා ප්‍රජා ආහාර ආදී සමූහ වශයෙන් ජීවත් වී‌මේ හොඳ ම භාවිතයන්ට අවස්ථාව සැලසෙයි

"අපට ගෙයක් නෑ. අපි සංචාරය කරනවා, දුෂ්කර ම දේවල් අතරින් එකක් තමයි, ප්‍රජාව. ඒක තවත් දුෂ්කර වෙනවා, නොදන්නා භාෂාවක් කතා කරන සහ නොදන්නා සංස්කෘතියක් තියෙන රටක ඉන්න වුණා ම," මිනසෝටා සිට පැමිණි ඇන්ඩි කොටර් පවසයි. 2019 වසරේ සිට ඔහුගේ පවුල දීර්ඝ කාලීන සංචාරයන්හි නිරත වූ අතර, මෙම අත්හදාබැලීමේ ආරම්භක පවුලක් බවට පත්ව සිටී.

ඇස්ට්‍රප් සහ රොඩ්ගාඩ්-ජෙසන්ගේ වෘත්තීය පසුබිම් තුළින් ප්‍රජා ක්‍රියාකාරීත්වය සහ විවිධ ජීවන රටාවන් පිළිබඳ වටිනා අත්දැකීමක් ලබා දුන්නේ ය. ඇස්ට්‍රප් මීට පෙර ව්‍යවසායකයින් සඳහා විවේකී සාද සංවිධානය කිරීම සඳහා විශේෂිත සමාගමක් පවත්වාගෙන ගිය අතර, රොඩ්ගාඩ්-ජෙසන් නිදහස් සේවකයින්ට (freelancers) ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ විශාල කිරීමට සහය වෙමින් ඇයගේ ම ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ ඔවුන්ගේ දැක්ම සඳහා 1970 ගණන්වල සිට ඩෙන්මාර්ක් සංස්කෘතිය තුළ මුල් බැස ගත් ප්‍රවණතාවක් වන "සජීවී ප්‍රජාවන්" යන සංකල්පය රැගත් ඩෙන්මාර්කයේ සමූහවාසී ව්‍යාපෘතිවලින් උත්තේජනයක් ලැබිණි. සිය අත්හදාබැලීම සඳහා මෙම දැනුමෙන් කොටසක් භාවිත කරමින් සහයෝගීතාව පිළිබඳ හොඳ ම භාවිතයන් පුළුල් ලෙස අධ්‍යයනය කළේ ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඉන් එකක් වන්නේ, සමීප සබඳතා පෝෂණය කිරීම සහ ඵලදායී තීරණ ගැනීම සක්‍රීය කිරීම සඳහා පවුල් 20ක පමණ සංඛ්‍යාවක් තබා ගැනීම ය. මෙම යුවළ සහභාගී වන පවුල් තෝරා ගැනීම සඳහා වසරක් පුරා ඉතා සූක්ෂම ප්‍රවේශයක් ගත්තේ ය. විවිධ පුරුෂාර්ථ සහිත පවුල් සමග තීරණ ගැනීම වැනි "සිදු විය හැකි ඍණාත්මක පැති ගැන අපි අවධානය යොමු කළා," ඇස්ට්‍රප් පවසයි.

තවත් භාවිතයක් වූයේ, සියලු දෙනාට සමීප පසුබිමක් නිර්මාණය කිරීම ය. පෞද්ගලිකත්වය සඳහා ප්‍රමාණවත් ඉඩක් ලබා දෙමින් ඇවිදීමේ හැකියාව ප්‍රවර්ධනය කිරීම සඳහා එකිනෙකාගෙන් සැතපුම් 1 සිට 1.5 දක්වා අරයක් තුළ නවාතැන් සොයා ගැනීමට පවුල් දිරිමත් කර ඇත. "පෞද්ගලිකත්වය අවශ්‍ය නිසා පවුල්වලට ඉන් ඉවත් වීමට අවශ්‍ය නම්, කණ්ඩායම තුළ තවත් බොහෝ දෙනෙක් ඉන්න නිසා ප්‍රජාවට ගැටලුවක් ඇති වෙන්නෙ නෑ," ඇස්ට්‍රප් පැහැදිලි කරයි.

සෑම දූරස්ථ රැකියාවල නිරත වන ප්‍රජාවක් ම - හොයි ඇන්හි කුඹුරු අසල රැඳී සිටිය ද, කෝ ලන්ටාහි ප්‍රධාන පෙළේ හෝටලයක හෝ කියෝතෝහි විසිරුණු නවාතැන්වල රැඳී සිටිය ද, - වෙන් වෙන් පවුල් අවශ්‍යතා සමග ප්‍රජාවේ ජීවන රටාව තුලනය කිරීම සඳහා උපායශීලීව තෝරාගෙන ඇත. සතියකට දෙවරක් පැවැත්වෙන සමූහ ආහාර ගැනීම සමස්ත කණ්ඩායම එක්රැස් කරන ප්‍රධානතම කටයුත්ත වන අතර, එය සෑම දෙනෙකු ම හමුවන ස්ථිර ස්ථානය බවට පත් වෙයි.

අත්හදාබැලීමට සම්බන්ධ වූ බොහෝ දෙමාපියන් ස්වයං රැකියාවල නිරත වන අතර, ළමුන් රැකබලා ගැනීම සහ ඔවුන්ට නිවස තුළ අධ්‍යාපනය ලබා දීම‌ට ඔවුන්ගේ වැඩ කරන වේලාව කළමනාකරණය කර ගන්නා අතර නිතර රාත්‍රියේ වැඩ කරති‍. "පවුල්වලින් අඩක පමණ දරුවන් නිවසේ සිට අධ්‍යාපනය ලබන අතර ඇතැම් පවුල් සංචාරක අත්දැකීම් සමග ඔවුන්ගේ විෂය මාලාවට අමතර දැනුමක් ලබනවා. අනිත් අය යම් විවේකයක් ලබා ගන්නවා," ඇස්ට්‍රප් පවසයි. "මෙම අත්දැකීමෙන් පමණක් කොපමණ උගත හැකි දැයි බොහෝ දෙනෙක් දකිනවා."

වියට්නාමයේ දේශීය දිය සායම් ශිල්පියෙකු සමග සිතුවම් ඇඳීම වැනි සංස්කෘතික අත්දැකීම්වලට පවුල් සහභාගී විය

ඡායාරූප මූලාශ්‍රය, Leheng Sarac

ඡායාරූප ශීර්ෂ වැකිය, වියට්නාමයේ දේශීය දිය සායම් ශිල්පියෙකු සමග සිතුවම් ඇඳීම වැනි සංස්කෘතික අත්දැකීම්වලට පවුල් සහභාගී විය

මෙම ප්‍රජාව සැලසුම් කරනු ලැබ ඇත්තේ, සජීවී සමාජ ජීවිතයක් වෙනුවෙන් දිරිමත් කිරීම සඳහා වන අතර, දෛනිකව සිදු කරන විවිධ ක්‍රියාකාරකම් දෙකේ සිට පහ දක්වා වූ කාර්ය බහුල දින දර්ශනයක් එහි ක්‍රියාත්මක වෙයි. මෙහි සිදු කෙරෙන ක්‍රියාකාරකම් කණ්ඩායම් ධාවන තරග සහ පාපන්දු ක්‍රීඩාවල සිට එක්ව-වැඩ කිරීමේ සැසි සහ යෝග වැඩමුළු මෙන් ම සංස්කෘතික අත්දැකීම් පෝෂණය කිරීම දක්වා පරාසයක විහිදෙයි. උදාහරණයක් ලෙස, වියට්නාමයේදී එරට චිත්‍ර ශිල්පියෙකු සමග දිය සායම්වලින් සිතුවම් ඇඳීමෙන් පවුල්වල සාමාජිකයෝ සතුටු වූහ. තායිලන්තයේදී, ඔවුහු කඩොලාන සිටුවීමට සහ දේශීය පරිසරය ගැන ඉගෙන ගැනීමට පරිසර කේන්ද්‍රීය ළමා මධ්‍යස්ථානයක් සමග එක්වූහ. ජපානයේදී, ඔවුහු කියෝතෝහි විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක හිමිකරු සමග එක්වූහ. එය, ඔවුන්ගේ දරුවන්ට එරට දරුවන් සමග මුසුවී සෙල්ලම් කිරීම, අත්කම් නිර්මාණ සහ තේ සාද හරහා එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව හිමි වූ ස්ථානයක් විය.

මෙය අනෙකුත් වැඩිහිටියන් සමග ළමුන්ගේ සුවපහසු මට්ටම් මත රඳා පැවතිය ද, ඇස්ට්‍රප්ට අනුව, දෙමාපියන් මාරුවෙන් මාරුවට දරුවන් බලා ගන්නා අතර, අනෙක් පිරිසට විවිධ සංචාර සහ අත්දැකීම්වලට සහභාගී විය හැක. "වැඩිහිටි දරුවන් ප්‍රජාව පවත්වන උත්සවවලට වෙනත් පවුල් සමග යාම සාමාන්‍ය දෙයක්," ඔහු පවසයි. මෙම සමූහයට එක්ව සිටින තනි මවක (single mother) වන ආශා නයිදර්මන් පැහැදිලි කළේ, තායිලන්තයේ මව්වරුන් සඳහා පැවති උත්සවයකට තමන්ට සහභාගී වීමට අවස්ථාව සැලසීම වෙනුවෙන් තම දෙහැවිරිදි පුතා රැකබලා ගැනීමට අනෙකුත් දෙමාපියන් කැමැත්තෙක් ඉදිරිපත් වූ බව ය. "මගේ පුතා දැන් විශේෂයෙන් ම පවුල් කීපයකට සමීපව ඉන්නවා මට කවදා හරි රාජකාරියක් වෙනුවෙන් පිටතට යන්න අවශ්‍ය වුණොත්, ඔවුන් ඔහු එක්ක රැඳී සිටීම ගැන ලොකු සතුටක් දැනෙනවා," ඇය තවදුරටත් පැවසුවාය.

එක් එක් ස්ථානයේදී, එදිනෙදා ජීවිතය සියලු සහභාගිවන්නන් විසින් සාමූහිකව වැඩ කණ්ඩායම් 17ක් හරහා සැලසුම් කෙරෙන අතර, එය සාමූහික ආහාර, ක්‍රියාකාරකම්, මූල්‍ය සහ සන්නිවේදන කළමනාකරණය ඇතුළු අනෙකුත් යටිතල පහසුකම්වලට විසඳුම් සපයයි. ඇතැම් කණ්ඩායම් නවාතැන් ස්ථාන වෙන් කරවා ගැනීම වැනි පූර්ව-සංචාර කාර්යයන් කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති අතර තවත් පිරිසක්, සාමූහික ආහාර සහ මූල්‍ය වැනි ක්‍රියාකාරකම් ඔවුන්ගේ සංචාරක කාලය පුරාවට ම කරගෙන ගොස් තිබිණි.

"ඔබ කණ්ඩායම් සංචාරයක යෙදෙනවනම්, ඒක භාරව කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඉහළ සිට පහළට යන ක්‍රමයක්," කොටර් පවසයි. මොනව හරි වරදක් සිද්ධ වුණොත් ඒ ගැන පැමිණිලි කරන්න කෙනෙක් ඉන්නවා. ඒත් මෙතන තියෙන්නේ, පහළ සිට ඉහළට යන ක්‍රමයක්. එතනදී අපි සියලු දෙනා භාරකරුවන් වෙනවා. සියලු දෙනා එකට වැඩ කළ යුතුයි." ඔහු අදාළ පවුල් 19 සමග වැඩකිරීමේදී මතු වන ආවේණික අභියෝග පිළිබඳව සටහන් කරයි. "ඔබේ දරුවන් ඇති දැඩි කරන ආකාරය හෝ ඔබේ මුදල් කළමනාකරණය කරන ආකාරය ගැන ඔබට සමාන වටිනාකම් තියෙන්නේ නැහැ." ඇස්ට්‍රප් අවධාරණය කරන්නේ, වැඩ කණ්ඩායම් සහ තීරණ ගැනීමේ රාමු මෙම වෙනස්කම් කළමනාකරණය කිරීමේදී සියලු ම සමූහ සාමාජිකයින් ක්‍රියාකාරීව සම්බන්ධ කර ගන්නා බවයි.

කෙසේ වෙතත්, ඔවුන් කණ්ඩායම් අරමුදල් වියදම් කරන්නේ කෙසේ ද? යන්න පිළිබඳ තර්ක මතු වී ඇති අතර, විශාල වියදම් සඳහා පුළුල් එකඟතාවක් අවශ්‍ය වන ඡන්ද ක්‍රමයක් භාවිත කරයි. මූල්‍යමය වශයෙන්, සෑම පවුලක් ම සාමූහික ආහාර, ළමා ක්‍රියාකාරකම් සහ විශේෂ සිදුවීම් සඳහා අරමුදල් සැපයීමට පවුලේ සංඛ්‍යාව අනුව පරිමාණය කරන ලද අමෙරිකානු ඩොලර් 3,000ක පමණ සාමූහික තැන්පතුවකට දායක විය.

මෙම අත්හදාබැලීමේදී බාධා මතු නොවූවා නොවේ. වියට්නාමයේ, හොයි ඇන්හි පවුල් පහක් විසින් වෙන් කරන ලද නිවාසවල ඔවුන් පැමිණීමේදී පුස් ආසාදනය වී ඇති බව සොයා ගන්නා ලදී. එකට සිටීමට ඔවුන් දැරූ උත්සහය නොතකා, පැවති එක ම විකල්ප වූ නවාතැන් මිල අධික වූ අතර කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගේ නවාතැන්වලට වඩා බොහෝ දුරින් පිහිටා තිබිණි.

දිනෙදා ජීවිතය වැඩ කණ්ඩායම් හරහා සියලු ම සාමාජිකයෝ සාමූහිකව සකසා ගනිති

ඡායාරූප මූලාශ්‍රය, Nikolaj Astrup

ඡායාරූප ශීර්ෂ වැකිය, එදිනෙදා ජීවිතය වැඩ කණ්ඩායම් හරහා සියලු ම සාමාජිකයෝ සාමූහිකව සකසා ගනිති

නැපි මිල දී ගත යුතු ස්ථාන සහ දරුවන් කන්නේ මොනවා ද? වැනි විස්තර සොයා ගැනීම ඇතුළුව සෑම සති කිහිපයකට වරක් නව වටපිටාවට හැඩගැසෙන අතරේ වැඩ තුලනය කිරීම, සමාජගත කිරීම සහ පවුල් වගකීම් සමතුලිත කිරීමේ අභියෝගවලට ද පවුල් මුහුණ දීමට සිදුවෙයි. "ඔබට ඕනේ දේ කරන්න ලෝකයේ හෑම විටම කාලය ඇතැයි ඔබ හිතනවා වෙන්න පුළුවන්. ඒත්, හැම දිනක ම වැඩ කෙරෙන්නේ ප්‍රමුඛතාව මතයි," කෝටර් පවසයි. සංවාද හෝ ක්‍රියාකාරකම් මගින් නිරන්තරයෙන් වැඩ පසෙක දැමීම ගැන ඔහු විස්තර කරයි.

එහෙත්, කොටර්ගේ බිරිඳ වන අයිරීන් ජෙනෙලින් විශ්වාස කරන්නේ, දෙමාපියන් මුහුණ දෙන සෙසු අභියෝගවලදී සමූහය සහය දෙන බව ය. "ඉස්සර අපේ දුව අපිත් එක්ක එන්න අකමැති වුණා ම දෙන්නගෙන් කෙනෙකුට ගෙදර නවතින්න සිද්ධ වුණා. දැන්, එයාට පුළුවන් සමූහයේ ඉන්න වෙනත් වැඩිහිටියන්‌ගේ ඇසුර ලබන්න. මේක හරහා මටත්, සැමියාටත් එකතු වෙලා හරි තනියම හරි යමක් කරන්න වැඩි නිදහසක් ලැබෙනවා," ඇය පවසයි.

ඇගේ වටපිටාවට හුරුවී සති පහකට වඩා වැඩි කාලයක් එක ම ස්ථානයක, විශේෂයෙන් ම වියට්නාමයේ රැඳී සිටීමට ජෙනලින් කැමැත්තක් දක්වයි. "ඔයා ජීවත් වන ස්ථානය, සිල්ලර බඩු ලබා ගන්නේ කොහෙන් ද?, වැනි අවශ්‍යතා හඳුනා ගන්න යම් උත්සාහයක් දරන්න වෙනවා," ජෙනෙලින් පැහැදිලි කරයි. "මම ප්‍රදේශ වාසීන් සහ ඔවුන්ගේ ව්‍යාපාර - කැෆේ හිමිකරුවන්, වීදි වෙළෙන්දන් සමග සබඳතා ගොඩනඟා ගන්නත් පටන් ගත්තා," අඩු ම තරමින් මාස දෙකක් හෝ ඔවුන්ට එක රටක රැඳී සිටිය හැකි නම් ඇය කැමති ය.

නීදර්මන් ද මන්දගාමී සංචාර සහ තනි රටක් ගවේෂණය කිරීමේ කැමැත්ත මෙසේ සටහන් කරයි: "විවිධ රටවලට පියාසර කරනවාට වඩා, මම එක රටක් තෝරාගෙන ඒ රට තුළ විවිධ නගර තුනකට වගේ ගිහිල්ලා වඩා වැඩි කාලයක් රැඳී ඉන්නවා," ඇය පවසයි. තම පුතා වැඩිවියට පත් වූ විට එනම්, කෙටි නින්දක් හෝ වේලාසන නිදාගැනීමක් අවශ්‍ය නොවන වයසට පැමිණි විට, නැවතත් මෙවැනි අත්හදා බැලීමකට සහභාගී වන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

අත්හදා බැලීම එහි අවසානයට ආසන්න වන විට, විශ්‍රාමිකයින් හෝ විශ්වවිද්‍යාල සිසුන් වැනි විවිධ ජන විකාශන නියෝජනය කරන්නන් ඇතුළත් කිරීම සඳහා මෙම අත්හදා බැලීම පුළුල් කිරීම සහ වඩාත් ඵලදායී වෙනසක් ඇති කිරීම සඳහා ප්‍රාදේශීය ප්‍රජා මුලපිරීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම් ඇතුළත් මීළඟ පියවර ගැන ඇස්ට්‍රප් සහ රොගාර්ඩ්-ජෙසන් කල්පනා කරමින් සිටිති. ජෙනෙලින් සහ කොටර් ඇතුළු බොහෝ පවුල් තවත් අත්හදා බැලීමකට සහභාගී වීමට උනන්දුවක් දක්වන බව ඇස්ට්‍රප් සටහන් කරයි. එහෙත්, එවැන්නකට සහභාගි වීම, ඔවුන්ගේ කාලය, ස්ථානය සහ වැඩ කැපවීම් මත රඳා පවතී.

ව්‍යවසායකයින් දෙදෙනා, ඔවුන් දමා ඇති අත්තිවාරම අන්තර් සම්බන්ධිතභාවය සඳහා වූ ගැඹුරු සමාජමය ළැදියාවකට ප්‍රතිචාරයක් දක්වයි. රොගාර්ඩ්-ජෙසන් පැවසුවේ, "දරුවන් හදා වඩා ගැනීම, එකට සිටීම සහ එදිනෙදා ජීවිතය බෙදා ගැනීම වගේ ක්‍රියාකාරකම්වලදී මේ ආකාරයෙන් මිනිසුන්ට සමීප වීම ඉතා සුන්දර"බවයි.

-රොබින් හුවාං-