නවසීලන්තයේ රැකවරණ මධ්‍යස්ථානවල සිදුවූ අපයෝජනයන් ගැන ප්‍රබල හෙළිදරව්වක්

Members of the public arrive as part of a hikoi prior to the release of The Royal Commission of Inquiry into Abuse in Care report at Parliament on July 24, 2024 in Wellington, New Zealand

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බදාදා කොමිසමේ අවසන් වාර්තාව ප්‍රකාශයට පත් වන්නේ, පුද්ගලයන් 3,000කට ආසන්න පිරිසකගේ අත්දැකීම් පිළිබඳ වසර හයක් සිදු කළ විමර්ශනයකින් අනතුරුව ය
    • Author, කැත්‍රින් ආම්ස්ට්රෝං සහ ජොයෙල් ග්වින්ටෝ
    • Role, බීබීසී පුවත්

පසුගිය වසර 70ක කාලය තුළ නවසීලන්තයේ රජයේ සහ ආගම් පදනම් කරගත් රැකවරණ මධ්‍යස්ථාන තුළ සිටියදී දරුවන්, තරුණයින් සහ අවදානමට ලක්විය හැකි වැඩිහිටියන් 200,000ක් පමණ අපයෝජනයන්ට ලක්ව ඇති බව සුවිශේෂී විමර්ශනයකින් හෙළි වී තිබේ.

රැකවරණයේ සිටියදී අපයෝජනයට ලක්වීම් පිළිබඳ රාජකීය විමර්ශන කොමිසම අනුව, එයින් අදහස් වන්නේ, 1950 සිට 2019 දක්වා කාලය තුළ රැකවරණ ලැබූ ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකු හෝ ස්ත්‍රී දූෂණ, විදුලි සැර වැදීම්වලට ලක්වීම සහ බලහත්කාරයෙන් ශ්‍රමයේ යෙදවීම ඇතුළු යම් ආකාරයක අපයෝජනයන්ට ලක්ව ඇති බව ය.

මෙම කොමිසමේ අවසන් වාර්තාව ප්‍රකාශයට පත් වන්නේ, 3000කට ආසන්න පිරිසකගේ අත්දැකීම් සම්බන්ධව වසර හයක් පුරා සිදු කළ විමර්ශනයකින් අනතුරුව ය.

අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් මෙම සොයාගැනීම් සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළේ, එය "සමාජයක් ලෙස නවසීලන්ත ඉතිහාසයේ අඳුරු සහ ශෝකජනක දිනයක්" ලෙස හඳුන්වමිනි.

නවසීලන්ත ඩොලර් මිලියන 170ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 101) පිරිවැයක් දරා සිදු කළ මෙම විමර්ශනය නවසීලන්තයේ මෙතෙක් සිදු වූ විශාලතම සහ වැඩි ම මුදලක් වැය කළ විමර්ශනය විය.

අපයෝජනයට ලක් වූවන්ගෙන් බොහෝ දෙනෙක් මඕරි සහ පැසිෆික් දූපත් ජනයා මෙන් ම ආබාධ සහිත අය ඇතුළු අඩු වරප්‍රසාද ලත් හෝ ආන්තික ප්‍රජාවන්ට අයත් පිරිස් වෙති.

මෙම සොයාගැනීම් පැමිණෙන්නේ, තමන් විශ්වාස කරන ලෙසට බලවත් නිල දරන්නන්, රාජ්‍ය සහ ආගමික ආයතන සමග ගැටෙමින් සහ නිරන්තරයෙන් අරගල කරමින් සිටි ජනතාව වෙත ලැබෙන සහතිකයක් ලෙස ය.

ආගම් මත පදනම් වූ ආයතනවල බොහෝ විට රාජ්‍ය රැකවරණ මධ්‍යස්ථානවලට වඩා ලිංගික අපයෝජන අනුපාත ඉහළ මට්ටමක පවතින බව විමර්ශනයෙන් අනාවරණය විය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සිවිල් සහ ආගමික නායකයින් අපයෝජකයින් වෙනත් ස්ථානවලට ගෙන යාමෙන් සහ වරදකාරිත්වය ප්‍රතික්ෂේප කිරීමෙන් අපයෝජන වසන් කිරීමට සටන් කළ බව ත් බොහෝ වින්දිතයින් යුක්තිය ලැබීමටත් පෙර මිය යන බව ත් මෙම වාර්තාවේ සඳහන් වේ.

කිලෝග්‍රෑම් 14ක් බරින් යුක්ත වූ මෙම වාර්තාව 2018 වසරේ සිට දින 100ක් පුරා මහජන මත විමසීම් සඳහා ගෙන එන ලදී.

එය එළි දැක්වුණු අවස්ථාවේදී අදහස් දක්වමින් එවකට අගමැතිනි ජසින්ඩා ආඩර්න් කියා සිටියේ, එය "අපගේ ඉතිහාසයට මුහුණ දීමට සහ නැවත එම වැරදි සිදු නොකිරීමට වග බලා ගැනීමට අවස්ථාවක්" බව ය.

දිවි ගලවා ගත් 2,300කට වැඩි පිරිසක් මෙම විමර්ශනයේදී අදහස් දැක්වූ අතර එහිදී අනාවරණය වූයේ, බොහෝ අවස්ථාවලදී, "අපයෝජනයන් සහ නොසලකා හැරීම් සෑම විට ම පාහේ පළමු දිනයේ සිට ම ආරම්භ වී ඇති" බව ය.

දිවි ගලවා ගත් අයෙකු වන ඇනා තොම්සන්, ආගම් මත පදනම් වූ අනාථ නිවාසයක ශාරීරිකව හා වාචිකව තමා අතවරයට ලක් වූ ආකාරය කොමිසමට පැවසුවා ය.

"රෑට, කන්‍යා සොහොයුරියන් මගේ ඇඳුම් ගලවලා, මුහුණ පහළට තියෙන විධියට ඇඳට තියලා ගැටගහලා, බකල් එකක් තියෙන පටියකින් මට පහර දෙනවා. මගේ හමෙන් ලේ එනකම් ම, ඒ පාරවල් වැදිලා සති ගාණක් යනකම් මට වාඩි වෙන්න බැරි වුණා." වාර්තාවේ පළවුණු සාක්ෂියක ඇය මෙසේ පැවසුවා ය.

ජෙසී කෙට් තමාව වයස අවුරුදු අටේදී ඕක්ලන්ඩ්හි නේවාසික පාසලක කාර්ය මණ්ඩලය විසින් පහර දී දූෂණය කරන ලද ආකාරය ගැන කතා කළේ ය. අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතැම් අවස්ථාවලදී අපයෝජනය සිදු වන ආකාරය දෙස බලා සිටින බව ඔහු සිය සාක්ෂියේ විස්තර කරයි.

මෝයපුලූ ෆ්‍රැන්සිස් ටැගලෝවා 1970 ගණන්වල වයස අවුරුදු පහේ සිට වසර දෙකක කාලයක් පූජකයෙකු අතින් අපයෝජනයට ලක් වූවා ය.

"ඔහු ජනප්‍රිය, ප්‍රසිද්ධ ගුරුවරයෙක්," ඇය පැවසුවා ය.

"නමුත් ඔහු ළමයින් සමග ලිංගිකව හැසිරෙන කෙනෙක් වගේ ම අවාසනාවන්ත ලෙස ඔහු අතින් අපයෝජනයට ලක් කරපු තවත් කුඩා ගැහැනු ළමයින් හිටියා."

ටැගලෝවා දැන් දිවි ගලවා ගත් අනෙකුත් අයට උපකාර කිරීමට කටයුතු කරන අතර වාර්තාවේ ඇතුළත් නිර්දේශ 138 ම ක්‍රියාත්මක කරන ලෙස ඇය ඉල්ලා ඇත.

දිවි ගලවාගත් මඕරි සහ පැසිෆික් දූපත් ජනයා ඉහළ මට්ටමේ ශාරීරික හිංසනයන් විඳ දරාගත් බවත් , බොහෝ විට "ඔවුන්ගේ වාර්ගිකත්වය සහ සමේ වර්ණය නිසා අවමානයට ලක්ව ඇති" බව ත් වාර්තාවේ සඳහන් විය.

විවිධ සමාජ ශුභසාධන සේවා සයපන ආයතන අතර ළමුන් සහ කැපකරු රැකවරණයේ සිටින පුද්ගලයින් ඉහළ ම මට්ටමේ ලිංගික අපයෝජන අත්විඳ තිබෙන බව ද මෙම විමර්ශනයේදී සොයා ගැනිණි.

"රාජ්‍ය සහ ආගම් පදනම් වූ ආයතනවල රැකවරණය යටතේ ලක්ෂ සංඛ්‍යාත ළමුන්, තරුණයින් සහ වැඩිහිටියන් අපයෝජනයට හා නොසලකා හැරීමට ලක්වීම ජාතික වශයෙන් අපකීර්තියක්" යැයි වාර්තාවේ සඳහන් වේ.

"බොහෝ දිවි ගලවා ගත් අය ඔවුන් රැකවරණය යටතේ සිටියදී හෝ රැකවරණයෙන් මිදුණු පසු සියදිවි නසාගැනීමෙන් මිය ගියහ. අනෙක් අයට, එදිනෙදා ක්‍රියාකාරකම් සහ තේරීම් අභියෝගාත්මක කරමින් අපයෝජනයේ බලපෑම් සිදුවෙමින් පවතින අතර ම ඒවා සංකීර්ණ වෙමින් පවතී," එහි තවදුරටත් සඳහන් විය.

අගමැති ලක්සන් මෙසේ පැවසීය: "අපි මීට වඩා හොඳ දෙයක් කළ යුතුව තිබුණා, සහ අපි එසේ කරන බවට මම අධිෂ්ඨාන කර ගන්නවා."

"සහභාගී වූ සෑම පුද්ගලයෙකුට ම, ඔබේ සුවිශේෂී ශක්තිය, ඔබේ ඇදහිය නොහැකි ධෛර්යය සහ ඔබේ මුහුණ දීමට තරම් තිබුණු අවංකභාවය සඳහා මම ඔබට ස්තූතිවන්ත වෙනවා. ඔබ නිසා, ඔබ විඳි අපයෝජනයන් සහ කම්පනය පිළිබඳ සත්‍යය අපි දන්නවා," යැයි ඔහු පැවසුවේ බොහෝ සිදුවීම් බිහිසුණු හා අතිශය ඛේදජනක ලෙස විස්තර කරමිනි.

"මට ඔබේ වේදනාව නැති කරන්න බැහැ, නමුත් මට ඔබට මෙය පැවසිය හැකි යි: ඔබව ඇසුණා වගේ ම ඔබව විශ්වාස කරනවා."

වින්දිතයින්ට වන්දි වශයෙන් රජය කොපමණ මුදලක් ගෙවීමට අපේක්ෂා කරනවා ද යන්න හෙළි කිරීමට ඉක්මන් වැඩි බව ද ඔහු පැවසීය. නොවැම්බර් 12 වැනි දින විධිමත් ලෙස සමාව අයැද සිටින බව ඔහු පැවසීය.

බීබීසීයට අදහස් දක්වමින්, වාර්තාව සකස් කිරීමට සම්බන්ධ වූ හිටපු නියෝජ්‍ය අගමැතිවරයකු වන ග්‍රාන්ට් රොබට්සන් කියා සිටියේ, එය "බොහෝ කාලයක සිට බලා සිටි දෙයක්" බව ය.

බොහෝ නවසීලන්ත වැසියන් මෙන්, ඔහුට ද "විශාල ලැජ්ජාවක්" සහ "දිවි ගලවා ගත් අයට දැනෙන වේදනාවේ ගැඹුර ගැන අවබෝධයක් තියෙනවා වගේ ම මෙම අවස්ථාවේ අවශ්‍ය පියවර ගැනීමට අපේක්ෂා කරන බව ද" පැවසීය.

වාර්තාවට අනුව, වැඩි වූ මානසික සහ ශාරීරික සෞඛ්‍ය සේවා වියදම්, නිවාස නොමැතිකම සහ අපරාධ ඇතුළු ඍණාත්මක ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින්, මෙම අපයෝජනයන්වල සහ නොසලකා හැරීම්වල ආර්ථික පිරිවැය නවසීලන්ත ඩොලර් බිලියන 96 සිට ඩොලර් බිලියන 217 අතර ඕනෑ ම අගයක් විය හැකි ය.

බදාදා, රැකවරණ මධ්‍යස්ථානවල අපයෝජනයන්ගෙන් දිවි ගලවා ගත් විශාල ගණනක් මෙම විමර්ශන වාර්තාව නිකුත් කිරීමට පෙර පාර්ලිමේන්තුව වෙත ගිය පාගමනකට සහභාගී වූහ.

දිවි ගලවා ගත් එක් අයෙකු වාර්තාව හැඳින්වූයේ එය "ඓතිහාසික" වාර්තාවක් යනුවෙනි.

"දශක ගණනාවක් තිස්සේ ඔවුන් අපට කිව්වේ ඒක අපි ගොතපු කතාවක් කියලා," ටෝනි ජාවිස් රොයිටර්ස් පුවත් ඒජන්සිය වෙත පැවසීය. "එබැවින් අද මේ දවස ඓතිහාසික වන අතර ම ඒක පිළිගැනීමක්. ඔවුන්ගේ කතා බෙදා ගැනීමට තරම් ධෛර්ය සම්පන්න වූ දිවි ගලවා ගත් සියලු ම දෙනා පිළිගන්නා දවසක්."

Christopher Luxon

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝෆර් ලක්සන් මේ වසර අගදී අපයෝජනයන් සම්බන්ධයෙන් විධිමත් ලෙස සමාව අයැද සිටිනු ඇත

විමර්ශනයේ සාක්ෂිකරුවෙකු වූ ශාස්ත්‍රාලික ආචාර්ය රවිරි වරෙටිනි-කරීනා මීට පෙර "රාජ්‍ය රැකවරණ මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් බන්ධනාගාරයෙන් අවසන් වන රටාව" ගැන සඳහන් කර ඇත.

වසර 10ක් සිරගතව සිටි ආචාර්ය වරෙටිනි-කරීනා ළමා නිවාසයක තමන් ළමා වියේදී අත්විඳින ලද අපයෝජනයන් පිළිබඳව විමසීමේදී පැවසීය.

"ජීවිතේ කවදාවත් හිර ගෙදරක නොහිටපු මම නව යොවුන් වියේ හිටපු අයෙක් විදිහට පළමු වාතාවට හිර ගෙදර මිදුලට යද්දී එතන හිටපු පිරිමි 80%ක් ම මම දැනගෙන හිටියා. අපි පසුගිය වසර 11 ගත කළේ, රාජ්‍ය රැකවරණ මධ්‍යස්ථානයක එකට හැදී වැඩෙමින්," ඔහු Radio New Zealand වෙත ලියූ ලිපියක සඳහන් විය.

"එතකොට තමයි මම දැනගත්තේ හිර ගෙදරින් කෙළවර වෙන රටාවක් තියෙනවා කියලා; දශක ගණනාවක් තිස්සේ මඕරි දරුවන් රාජ්‍ය රැකවරණයේ ඉඳලා සිරගෙදර දක්වා ගෙන යන රටාවක්."

"අපගේ ක්‍රියාවන්ට අප වගකිව යුතු අතර, අනෙකාට හානි කර එක් පාර්ශවයකට වරප්‍රසාද ලබා දෙන අප ඉපදී සිටින පරිසරය තුළ ක්‍රියාත්මක සැඟවුණු යාන්ත්‍රණවලට අප වගකිව යුතු නොවන බව," Royal Commission වාර්තාව පිළිගෙන ඇති බව ආචාර්ය වරෙටිනි-කරීනා වැඩිදුරටත් පැවසීය.