සතියකට පසු ජපානය 'මහා භූ කම්පන' අනතුරු ඇඟවීම ඉවත් කළේ ඇයි?

    • Author, ෂයිමා කලීල්
    • Role, බීබීසී පුවත්, ටෝකියෝ
    • Author, ෆ්ලෝරා ඩ්රූරි
    • Role, බීබීසී පුවත්, ලන්ඩන්

"මහා භූ කම්පනයක්" සිදුවීමේ අවදානමක් ඇති බවට නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම එය නිකුත් කර සතියකට පසු ජපානය විසින් ඉවත් කර ගනු ලැබ තිබේ.

ප්‍රබල භූ කම්පනයක් ඇතිවීමේ සම්භාවිතාව වෙන දාට වඩා ඉහළ නමුත් එය ඉතා ආසන්න නොවන බව පවසමින් එම අනතුරු ඇඟවීම හරහා ජනතාව වෙත දැනුම් දී තිබුණේ, අවධානයෙන් සිටින නමුත් තම ප්‍රදේශවලින් ඉවත් නොවන ලෙස ය.

තවදුරටත් විශේෂ පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලා නොසිටින අතර ඔවුන්ට "සාමාන්‍ය ජීවන රටාව වෙත ආපසු යාමට" නිදහස ඇති බවට ජපාන රජය පැවසීය.

අනතුරු ඇඟවීමෙන් පසු, දහස් ගණන් ජපන් ජාතිකයින් තමන් සැලසුම් කළ සංචාර අවලංගු කර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගබඩා කර ගත් අතර ඉන් ඇතැම් අධිවේගී දුම්රිය ගමන්වලට ද බලපෑම් එල්ල විය.

බදාදා වන විට මහා භූ කම්පනයක් ඇති විය හැකි යැයි අනුමාන කළ ප්‍රදේශයේ කිසිදු වෙනසක් පෙන්නුම් කරන භූ කම්පන ක්‍රියාකාරකම් කිසිවක් සිදුව ඇති බවට අනාවරණය නොවූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසූ බව කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

පසුගිය සතියේ නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කර තිබුණ ද ප්‍රබල භූ කම්පනයක් ඇතිවීමේ අවදානම තවමත් පවතින බව ආපදා කළමනාකරණ අමාත්‍ය යොෂීෆුමී මට්සුමුරා පැවසීය.

"භූ කම්පන ක්‍රියාකාරකමවල සහ කබොල විරූපකරණයේ" කිසිදු අසාමාන්‍යතාවයක් අනාවරණය වී නොමැති බව ත් එබැවින් දැඩි සූදානමකින් පසුවන ලෙසට සිදු කළ ඉල්ලීම දේශීය වේලාවෙන් පස්වරු 5:00 ට (09:00 BST) ඉවත් කළ බව ත් ඔහු පැවසීය.

"නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ (ප්‍රබල භූ කම්පනයක්) සිදුවීමේ අවදානම තුරන් වෙලා කියලා," ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

"විශේෂ පෙර සූදානමකින් පසුවන ලෙසට අපි ඉල්ලා සිටියා. නිදාගෙන හිටියත් ඉක්මනින් ඉවත් වෙන්න ලෑස්ති වෙලා ඉන්න වගේ. නමුත් අපි තවදුරටත් මේ පියවර ගන්න කියලා අපි කියන්නේ නැහැ. ඒ වගේ ම ජපානයේ ජනතාවට සාමාන්‍ය ජීවන රටාවකට යාමට නිදහස තියෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

මහා භූ කම්පන අනතුරු ඇඟවීමෙන් අදහස් කරන්නේ සැබවින් ම විශාල භූ කම්පනයක් ඇති වන බව ද?

එක්වර ම බැලූ කල බ්‍රහස්පතින්දා දකුණු ජපානයට බලපෑ භූමිකම්පාව මහා කම්පනයක් නො වන බව කිව හැකි ය.

මැග්නිටියුඩ් 7.1ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාවෙන් සිදු වූයේ, සුළු හානියක් පමණක් වන අතර සුනාමි අනතුරු ඇඟවීම ද ඉතා ඉක්මනින් ඉවත් කරන ලදී.

නමුත්, මෙම භූමිකම්පාවෙන් පසුව මීට පෙර කිසි දිනෙක ලබා නොදුන් ආකාරයේ ප්‍රබල අනතුරු ඇඟවීමක් ලබා දී තිබිණි.

"විශාල භූමිකම්පාවක්" ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කර තිබූ අතර, මධ්‍යම ආසියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා යාමට නියමිතව තිබූ සංචාරයක් අවලංගු කර, එළඹෙන සතිය පුරා රටේ රැඳී සිටීමට ද ජපාන අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබේ.

ජපානයේ බොහෝ දෙනෙකු විශාල භූමිකම්පාවක් එනු ඇතැයි සිතමින් සිටිති. මෙය ජපානයේ බොහෝ දෙනා කාලයක් තිස්සේ අසා ඇති, සියවසකට වරක් සිදු වන සුවිසල් භූමිකම්පාව වනු ඇතැයි බොහෝ දෙනෙකු අනතුරු අඟවා ඇත.

වඩාත් දරුණු තත්ත්වයක් තුළදී, නැඟෙනහිර ආසියානු පැසිෆික් වෙරළ තීරයේ මීටර් 30 (අඩි 100) ක් පමණ උස සුනාමි රළක් ඇති විය හැකි බව මෙන් ම 300,000කට වඩා පිරිසක් මරණයට පත්වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

මෙය ඉතා භයානක අනාවැකියක් වුවත්, මසායෝ ඔෂියෝ තුළ එයින් ඇති වී තිබුණේ ඉමහත් ව්‍යාකූල හැඟීමකි.

"මෙම උපදෙස ගැන මම ව්‍යාකූල වී සිටිනවා. ඒවාට අනුව කුමක් කළ යුතු දැයි මම දන්නේ නැහැ." ටෝකියෝ අගනුවරට දකුණින් පිහිටි යොකොහාමා හි පිහිටි ඇගේ නිවසේ සිට ඇය BBC වෙත කියා සිටියා ය.

“අපි දන්නවා අපිට භූමිකම්පා ගැන අනාවැකි කියන්න බැහැ කියල. ලොකු භූමිකම්පාවක් කවදා හෝ එන බව අපි අසා තිබෙනවා. මේ කියන්නේ එය ගැන ද? මම මගෙන් ම අසාගත්තා. නමුත් මට එය සැබෑවක් විදිහට පෙනෙන්නේ නෑ..."

ඉතින් මොකක් ද මේ ‘විශාල එකක්’ කියන්නේ? එය පුරෝකථනය කළ හැකි ද? එමෙන් ම, එය ඉක්මනින් ම ඇති වීමේ ඉඩක් තිබේ ද?

ජපාන බලධාරීන් බියපත්ව සිටින්නේ කුමක් ගැන ද?

ජපානය භූමිකම්පාවලට හුරු වූ රටකි. ගිනි වළල්ල මත පිහිටා තිබීම හේතුවෙන් එරට, වසරකට භූමිකම්පා 1,500 ක් පමණ අත්විඳියි.

මෙම භූ කම්පාවලින් වැඩි ප්‍රමාණයක් ඉතා සුළු හානිවලට වඩා වැඩි යමක් සිදු නොකරන නමුත්, විශාල විනාශයන් කළ හැකි භූ කම්පනද තිබේ. 2011 දී සිදුවූ මැග්නිටියුඩ් 9.0 ක භූ කම්පනය එවැන්නකි. ඒ හේතුවෙන් ඊසානදිග වෙරළට සුනාමියක් කඩා වැඳුණු අතර, මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18,000 ඉක්ම වීය.

එහෙත් මෙවර අනුමාන කරන භූ කම්පනය, ඉතිහාසයේ මෙතෙක් සිදුවූ හෝ ඊටත් වඩා දරුණු ආකාරයෙන් දකුණේ පිහිටි වඩාත් ජනාකීර්ණ කලාපවලට බලපානු ඇතැයි බලධාරීහූ බිය පළ කරති.

ජපානයේ පැසිෆික් වෙරළ තීරයේ විහිදී ඇති භූ කම්පන ක්‍රියාකාරකම් සහිත ප්‍රදේශයක් වන නන්කායි කලාපය ආශ්‍රිතව ඇති වූ භූමිකම්පා දැනටමත් දහස් ගණනක් මරණවලට හේතු වී තිබේ.

1707 දී, එහි කිලෝමීටර 600 ක් දිග ප්‍රදේශයක පොළොව අභ්‍යන්තරයේ වූ පිපිරීමක්, ජපානයේ මෙතෙක් වාර්තා වූ දෙවන විශාලතම භූමිකම්පාව ඇති කළ අතර පසුව ෆුජි කන්ද ද විදාරණය විය.

මෙම 'සුවිසල්' භූමිකම්පා සෑම වසර සියයකට වරක් හෝ, බොහෝ විට යුගල වශයෙන් සිදු වේ. අවසන් වරට එවැනි භූ කම්පන සිදුව තිබුණේ 1944 සහ 1946 වසර වලදී ය.

විශේෂඥයන් පවසන්නේ, ඉදිරි වසර 30 තුළ මැග්නිටියුඩ් 8 හෝ 9 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් ඇතිවීමට, 70% සිට 80% දක්වා සම්භාවිතාවක් පවතින බවයි. වඩාත් දරුණු තත්ත්වයකදී මෙම භූ කම්පාවලින් ට්‍රිලියන ගණනක දේපළ හානියක් සහ සිය දහස් ගණනක් මරණයට පත් විය හැකි බවද අනුමාන කර තිබේ.

භූ විද්‍යාඥයන් වන කයිල් බ්‍රැඩ්ලි සහ ජුඩිත් ඒ හබර්ඩ්ට අනුව, දිගු කාලයක් තිස්සේ සිදුවෙතැයි අපේක්ෂා කළ විශාල භූ කම්පනයේ නිර්වචනය මෙයයි.

"නන්කායි හි සිදුව ඇති මහා භූමිකම්පාවල ඉතිහාසය බියජනකයි", යි විද්‍යාඥයන් දෙපල, භූ කම්පාව පිළිබඳ තොරතුරු හෙළිකරමින් පසුගිය බදාදා නිකුත් කළ පත්‍රිකාවේ කියා තිබේ.

නමුත් සැබවින්ම භූමිකම්පාවක් ගැන අනාවැකි කිව හැකිද?

ටෝකියෝ විශ්වවිද්‍යාලයේ භූ කම්පන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය රොබට් ගෙලර්ට අනුව භූ කම්පන පිළිබඳව අනාවැකි කිව නො හැක.

"මේ නිකුත් කළ අනතුරු ඇඟවීම කිසිදු අයුරකින් විද්‍යාත්මක එකක් නෙමෙයි" යි ඔහු BBCයට පැවසීය.

ඔහු තර්ක කරන්නේ, භූමිකම්පා 'පොකුරු සංසිද්ධියක්' ලෙස හැඳින්විය හැකි නමුත්, "කම්පනයක් පෙර කම්පනයක් ද පසු කම්පනයක් ද යන්න කල්තියා පැවසිය නොහැකි" බවයි

සත්‍ය වශයෙන්ම, භූමිකම්පා වලින් 5% ක් පමණ 'පෙර කම්පන' බව බ්‍රැඩ්ලි සහ හබර්ඩ් පවසයි.

කෙසේවෙතත්, 2011 භූමිකම්පාවට පෙර ද මැග්නිටියුඩ් 7.2 ක් ලෙස සටහන් වූ පෙර කම්පනයක් ඇති වූ බවත් ඔවුන් පවසයි. එහෙත් එය බොහෝ දුරට නොසලකා හැර තිබුණි.

2011 න් පසු මෙම පරිමාණයේ ව්‍යසනයක් වළක්වා ගැනීමේ උත්සාහයක් ලෙස අනතුරු ඇඟවීමේ පද්ධතිය සකස් කරන ලද අතර ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය (JMA) එය භාවිතා කළ පළමු අවස්ථාව වූයේ බ්‍රහස්පතින්දා ඇති වූ භූ කම්පනය ය.

එහෙත් මිනිසුන්ට සූදානම්ව සිටින ලෙස පැවසුවද, කිසිවෙකුට තමන් සිටින ස්ථානවලින් ඉවත් වන ලෙසට පවසා නැත. ඇත්ත වශයෙන්ම, ඇතිවිය හැකි ඕනෑම දැවැන්ත අවදානමක් අඩු කිරීමට පමණක් ඔවුන් උනන්දු වී තිබුණි.

"විශාල භූමිකම්පාවක් ඇතිවීමේ සම්භාවිතාව සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි යි. නමුත් මෙය නියත වශයෙන්ම විශාල භූමිකම්පාවක් සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීමක් නොවේ," යි JMA පවසයි.

එසේ වුවද, අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා නිවේදනය කළේ “අපගේ සූදානම සහ සන්නිවේදනය ප්‍රමාණවත්ව සිදුවන බව සහතික කිරීම සඳහා, ඔහුගේ ජපානයෙන් පිටත සංචාර අවලංගු කර රටේ රැඳී සිටීමට කටයුතු කරනවා." යනුවෙනි.

එවැනි උපදේශනයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වන බැවින් මිනිසුන් බියපත් වනු ඇතැයි තමා කනස්සල්ලට පත්වන බවත් ඔහු පවසා තිබේ. කෙසේවෙතත් මසායා ඔෂියෝට ඒ ගැන එතරම් තැකීමක් නොමැත.

“රජය මේ තත්ත්වය අතිශයෝක්තියෙන් කියන බව මගේ හැඟීමයි." ඇය පැවසුවා ය.

මහාචාර්ය ගෙලර් දැඩිව කියා සිටියේ ජනතාවට ලබා දුන් උපදේශය ප්‍රයෝජනවත් තොරතුරක් නොවන බවයි.

එසේනම් අනතුරු ඇඟවීම නිකුත් කළේ ඇයි?

මෙම පද්ධතිය අනතුරු ඇඟවීමක් හෝ පහළ මට්ටමේ අනතුරු ඇඟවීමක් සඳහා යොදාගනී. බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවීමක් සිදු කළ අතර, මිනිසුන්ට ඉවත් වීමට සූදානම් වන ලෙස උපදෙස් දුන්නේ ය.

තවද, තම දුරකථනවලට අනතුරු ඇඟවීම් ලැබීමට පුරුදු වී සිටි රටක පවා, මෙම අනතුරු ඇඟවීමේ පද්ධතිය අවශ්‍ය අවධානය දිනාගත් බව මෙයින් පෙනී යයි. "නන්කායි ට්‍රෝ" භූ කම්පාවේ මතකය සහ විශාල භූ කම්පාවක තර්ජනය නැවතත් මෙවන් අනතුරු ඇඟවීම් වෙතට මිනිසුන්ගේ අවධානය ඇදගත්තේ ය.

"උපදේශනය දුටු විට මම කළ එක් දෙයක් නම්, අප නිවසේ ඇති දේ පරීක්ෂා කර අප එයට මුහුණ දීමට සූදානම් බවට වග බලා ගැනීමයි. එය මම කාලයකින් නො කළ දෙයක්" යනුවෙන් මසායෝ ඔෂියෝ පැවසුවා ය.

තවද මෙය පැසිෆික් වෙරළ තීරය දිගට ද සිදුවී තිබේ.

බ්‍රහස්පතින්දා 7.1 ක භූ කම්පනය සිදුවූ අපිකේන්ද්‍රය ආසන්නයේ මියසාකි ප්‍රාන්තයේ නිචිනන්හි නිලධාරීන්, දැනටමත් එහි විවෘත කර ඇති තාවකාලික නවාතැන්වල තත්ත්වය පරීක්ෂා කරමින් සිටියහ. එමෙන් ම කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කරන්නේ, බටහිර ජපානයේ කොචි ප්‍රාන්තයේ මහ නගර සභා 10ක් සිකුරාදා උදෑසන වන විට අවම වශයෙන් ඉවත් කිරීමේ නවාතැන් 75ක් අලුතින් විවෘත කළ බවයි.

ටෝකියෝ විදුලි බල පුද්ගලික සමාගම සහ චුබු විදුලි බල සමාගම අතර හවුල් ව්‍යාපාරයක් ලෙසට පවත්වාගෙන යන තාප බලාගාරයක් වන ජෙරා සමාගම කියා සිටියේ, තමන් සංනිවේදන කටයුතු පවත්වාගෙන යමින්, හදිසි ඉවත් කිරීම් සැලසුම් කරමින්,හදිසි අවස්ථාවක් සඳහා සුදානමින් සිටින බවයි.

කුරෝෂියෝ නගරයේ, කොචිහි ද, වයෝවෘද්ධ නිවැසියන්ගෙන් සහා වෙනත් පිරිස්වලින්, ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් ව යන ලෙස ඉල්ලම් කර තිබේ.

බටහිර ජපානයේ වකයාමා ප්‍රාන්තයේ නිලධාරීන්, ප්‍රාදේශීය මහ නගර සභාවල නිලධාරින් සමඟ එක්ව, ඉවත් කිරීම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හ. මහාචාර්ය ගෙලර් පවසන්නේ, "ඔබ අනිවාර්යෙන් කළ යුතු, සාමාන්‍ය පූර්වාරක්ෂක උපක්‍රම සියල්ල ක්‍රියාත්මක කරන බවට වග බලා ගැනීම සඳහා මෙය හොඳ අවස්ථාවක් " යනුවෙනි.

"සතියකට අවශ්‍ය ජලය, ටින් කළ ආහාර, ඔබේ ට්‍රෝච් එකට බැටරි කිහිපයක් වැනි දේ ළඟ තබා ගන්න" යි ඔහු උපදෙස් දෙයි.

අතිරේක වාර්තාකරණය චිකා නකයාමා සහ ජේක් ලම්පම්