රන් පදක්කම් 16ක් ඇතුළු පදක්කම් 40ක්: තරගාවලි වාර්තා අලුත් කළ ශ්‍රී ලංකාවට දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ අනුශූරතාව

    • Author, බීබීසී සිංහල

වසර 17කට පසුව පැවැත්වුණු සිව් වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේ රංචිහිදී ඔක්තෝබර් 26 වන දා අවසන් විය.

තුන් වන දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 8ක් සහ රිදී පදක්කම් 8ක් දිනා ගත්හ.

තෙවන දිනයේත් කැපී පෙනුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

තෙවන දිනයේ පළමු පදක්කම ලෙස අයෝමාල් අකලංක මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ ය.

ඔහු තරගය අවසන් කළේ, තත්පර 50.29කිනි.

දසුනි කෞශල්‍යා මීටර 400 කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තත්පර 58.66ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

එහි රිදී පදක්කම ද හිමි වූයේ, තත්පර 59.24කින් තරගය නිම කළ ශ්‍රී ලංකාවේ අරලියා සත්සරණිට ය.

හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ද රන් සහ රිදී පදක්කම් දෙක ම ශ්‍රී ලංකාවට හිමි විය.

රුමේෂ් තරංග එහි රන් පදක්කම දිනා ගත්තේ, මීටර 84.29ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

මීටර 81.62ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ සුමේධ රණසිංහ එහි රිදී පදක්කම දිනා ගත්තේ ය.

තරුෂි කරුණාරත්නගේ වැඩිමහල් සොහොයුරා හර්ෂ කරුණාරත්න මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තු 1:51.96ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

නදීශා දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්ව ජය ගත්තේ තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.

ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 60.14කි.

ටක්ෂිමා නුහන්සා කොඩිතුවක්කු මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා ය.

ඇය තරගය අවසන් කළේ, මිනිත්තු 2.06.51කිනි.

තුන් පිම්ම ඉසව්වෙන් නව තරගාවලි වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා සිටි මදුශානි හේරත් දුර පැනීමේ ඉසව්වෙන් ද රන් පදක්කමක් දිනා ගත්තා ය.

ඒ, දුර පැනීම ඉසව්වේදී මීටර 6.23ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

පෙහන්සා ගමගේ උස පැනීම කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා ය.

ඇය ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 1.74කි.

ඉඳුසර විදුශාන් මීටර 200 පිරිමි ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ, තත්පර 21.42ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

රසාරා විජේසූරිය මීටර 10,000 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා ය.

ඒ, මිනිත්තු 34:39.95ක දක්ෂතාවක් දක්වමිනි.

මීටර 100 ඉසව්වේ රන් පදක්කම දිනූ සෆියා යාමික් තෙවන මීටර 200 ධාවන ඉසව්ව ද ජය ගත්තා ය.

තරගාවලි වාර්තාවක් ද සමගින් ඇය තරගය අවසන් කළේ, තත්පර 23.58ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

ඇය බිඳ දැමුවේ වසර 27කට පෙර ඉන්දියාවේ පී.ටී. ඌෂා පිහිටුවා තිබූ වාර්තාව ය.

ඒ අනුව, මීටර 100, 200 සහ මීටර 100 සහය ධාවන ඉසව්වේ රන් පදක්කම ද සමගින් ඇය රන් පදක්කම් 3ක් දිනා ගත්තා ය.

මීටර 400 පිරිමි සහය ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තු 3.05.12කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ය.

එහි කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමි විය.

දුර පැනීම පිරිමි ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගත්තේ මීටර 7.56ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකාවේ විශ්මිත කුමාර ක්‍රීඩකයා ය.

මිටිය විසි කිරීම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ දමිත් ධර්මසේන ක්‍රීඩකයාට හිමි විය.

ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 46.55කි.

ඒ අනුව, දින තුන අවසානයේදී ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ දෙවන ස්ථානය හිමි විය.

දෙවන දිනයේදී රන් පදක්කම් 4ක්

සිව් වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී (ඔක්: 25) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් වූ අතර ඉන් පදක්කම් 3ක් ම හිමි වූයේ ජවන ඉසව්වලිනි.

කාලිංග කුමාරගේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ, තත්පර 46.21ක කාලයක් සටහන් කරමිනි.

එහි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කල්හාර ඉන්දූප හිමි කර ගත්තේ ය.

ඔහුගේ දක්ෂතාව තත්පර 46.81ක් ලෙස සටහන් විය.

මීටර් 100 පිරිමි සහය ධාවන ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාවට හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ජයග්‍රහණය හිමි කර ගත්තේ, තත්පර 39.99කින් තරගය අවසන් කරමිනි.

එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ.

ඔවුන් තරගය අවසන් කළේ, තත්පර 44.70ක කාලයකිනි.

දිනයේ අනෙක් රන් පදක්කම දිනා ගත්තේ, උස පැනීම ඉසව්වෙන් තරග කළ තරිඳු දසුන් ක්‍රීඩකයා ය.

ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 2.17කි.

ප්‍රවීණ ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි මීටර් 1500 ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ, මිනිත්තු 4.25.52ක කාලයකින් තරගය නිම කරමිනි.

එහි පිරිමි ඉසව්වෙන් තරග කළ රුසිරු චතුරංග ද රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

ඒ, මිනිත්තු 3.55.12ක කාලයක් සටහන් කරමිනි.

අද දිනයේදී ලෝකඩ පදක්කම් 5ක් ද ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවෝ දිනා ගත්හ.

රොෂාන් රණතුංග මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වෙන්, සයුරි මෙන්ඩිස් මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙන්, ලක්ෂිකා සුගන්ධි මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වෙන්, විනෝදනී ලක්මාලි කවපෙත්ත විසි කිරීම ඉසව්වෙන් සහ මලින්ත සම්පත් කව පෙත්ත විසි කිරීම ඉසව්වෙන් එම ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

මලින්ත සම්පත් හිටපු දුර පැනීමේ ශූරයෙකු ද වේ.

දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වසර ගණනකට පසු ශ්‍රී ලංකාවෙන් බිහි වීම ද විශේෂත්වයක් විය.

එහිදී චමෝද් යෝධසිංහ නව තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය.

යෝධසිංහ තරගය අවසන් කළේ, තත්පර 10.3ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.

යෝධසිංහ, 103 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ද ජය ගත්තේ ය.

ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

මේ අතර, සෆියා යාමික් මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා ය.

ඇය මීටර 100 ධාවන ඉසව්වේදී තත්පර 11.53ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා ය.

එය ද නව තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් විය.

ඒ අනුව, දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා සහ කාන්තාව යන දෙදෙනා ම ශ්‍රී ලංකාවෙන් බිහි විය.

මේ අතර, ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා ය.

ඇය තරගය අවසන් කළේ, තත්පර 11.72ක කාලයකිනි.

සෆියා සහ අමාශා යන ක්‍රීඩිකාවන් දෙදෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් ය.

සෆියා පසුගිය දා නිමා වූ ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වූවා ය.

එම ශූරතාවලියේදී මීටර 100 කාන්තා ධාවන ඉසව්ව ඇය අවසන් කළේ, තත්පර 11.51ක කාලයකිනි.

අමාෂා ද සිල්වා මෙවර 103 වන වරට පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ වේගවත් ම ක්‍රීඩිකාව බවට පත් වූවා ය.

2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් රැසක් දිනා ගත්හ.

තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ පසිඳු මල්ෂාන් ය.

ඔහු මීටර 16.19 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේ ය.

මදුශානි හේරත් එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.

ඇගේ දක්ෂතාව සටහන් වූයේ මීටර 13.26 ක් ලෙස ය.

මීට අමතරව මීටර 5000 පිරිමි සහ කාන්තා, යගුලිය පිරිමි සහ කාන්තා, මීටර 400 මිශ්‍ර සහය ධාවන ඉසව්ව යන ඉසව්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් දිනා ගත්හ.

රන් පදක්කම් 16ක් සමගින් ශ්‍රී ලංකාවට පදක්කම් 40ක්

රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14ක්, ලෝකඩ පදක්කම් 10ක් ද සමගින් මුළු පදක්කම් 40ක් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දිනා ගත්හ.

ඉන්දියාව පෙරමුණ ගත්තේ රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 20ක්, ලෝකඩ පදක්කම් 18ක්ද සමගින් මුළු පදක්කම් 58ක් දිනා ගනිමිනි.

පදක්කම් 6ක් දිනූ නේපාලයට තුන් වැනි ස්ථානය හිමි විය.

වසර 17කට පසුව මෙවර පැවති ශූරතාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 දෙනෙක් සහභාගී වූහ.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 63 දෙනෙක් සහභාගී වූහ.

තුන් වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල

මේ අතර, බහරේනයේ පැවැත්වෙන තුන් වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම බාලිකා ඉසව්වට සහභාගී වූ දිලිනි නෙත්සලා ක්‍රීඩිකාව ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.

ඒ, මීටර 12.31ක දක්ෂතාවයක් සමගිනි.

ඇය එම ඉසව්වට ප්‍රදර්ශනය කළ ඉහළ ම දක්ෂතාව එයයි.

බාලක මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමි විය.

ඒ, මිනිත්තු 1.52.82ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි.