ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රාජ්‍ය ආයතනවලට අලුත් කැබ් 2000ක් ආනයනයට ගත් තීරණයේ අරමුණ කුමක් ද?
- Author, බීබීසී සිංහල
රාජ්‍ය ආයතනවල භාවිතය සඳහා නවතම කැබ් රථ 2,000ක් ආනයනය කිරීමට රජය තීන්දු කර ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
රාජකාරී සඳහා වාහන නොමැති වීම හේතුවෙන් බොහෝ රාජ්‍ය ආයතනවල පවතින ගැටලුවට විසඳුමක් ලෙස මෙසේ කැබ් රථ ආනයනයට තීරණය කර ඇති බව රජය පවසන අතර, 2026 අයවැය යෝජනාවක් ලෙස රාජ්‍ය ආයතනවලට අවශ්‍ය වාහන ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.
'පරණ කැබ් රථ තමයි තියෙන්නේ'
මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ආකාරය හෝ කුමන වර්ගයේ වාහන ආනයනය කරනවා ද මෙතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න බීබීසි සිංහල සේවයට කියා සිටියේ ය.
"ගොඩක් පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රජයේ අනිකුත් කාර්යාලවලට කාලෙකින් අලුතින් වාහන අරගෙන දීලා නැහැ. දුෂ්කර ප්‍රදේශවල නිලධාරීන් වැඩ කරන්නේ අවම පහසුකම් යටතේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා අලුතින් වාහන 2,000ක් ලබන අවුරුද්දේ මේ ආයතනවලට අරගෙන දෙන්න පුළුවන් කියන කාරණය කිව්වේ."
"වනජිවී දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ට ඒගොල්ලන්ගේ රාජකාරියේ හැටියට ගැලපෙන වාහන නෑ. පරණ කැබ් රථ වගේ දේවල් තමයි තියෙන්නේ. සමහර ඒවායින් පාරක යන්න බැහැ. අලි මිනිස් ගැටුම අවම කර ගන්න ඒගොල්ලන්ගේ මැදිහත් වීමේදී හොඳ වාහන නෑ. ගොඩක් රාජ්‍ය ආයතනවලට ඒගොල්ලන්ගේ රාජකාරී සඳහා අවශ්‍ය කරන වාහන නැතුව දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා."
'වාහනය ගන්නව නම් හොඳ තත්ත්වයේ වාහනයක් ගන්න එක හොඳයි'
වාහන 2000ක් ආනයනය සඳහා දැනට සැලසුම් කර තිබුණ ද ඇතැම් විට එතරම් වාහන සංඛ්‍යාවක් අවශ්‍ය නොවනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා අවශ්‍ය සෑම ආයතනයකට ම අවශ්‍ය පරිදි වාහන ලබා දීමට සැලසුම් කර ඇති බව ද පැවසීය.
වාහන මිල දී ගන්නා අවස්ථාවේදී ගුණාත්මක තත්ත්වයේ වාහන මිල දී ගැනීමට සැලසුම් කර ඇති අතර, වසර 15ක් පමණ භාවිත කළ හැකි වාහන මිලට ගැනීම රජයේ සැලසුම වී ඇත.
"පාවිච්චි කරන්න පුළුවන් හොඳ වාහනයක්, වාහනය ගන්න වෙලාවේ හොඳ තත්ත්වයේ වාහනයක් ගන්න එක හොඳ යි, මොක ද ගෙනල්ලා අවුරුදු 4කින්, 5කින් ආයේ අලුත් එකක් ගන්නවාට වඩා අවුරුදු 15ක් විතර වගේ ගැටලුවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්, සමහර විට ඊටත් වඩා කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ තත්ත්වයේ වාහන දෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ," යැයි චන්දන අබේරත්න ඇමතිවරයා පැහැදිලි කළේ ය.
'හොඳට රාජකාරිය කරන්න, මිනිස්සුන්ට සේවය කරන්න'
මෙසේ වාහන ලබා දීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ප්‍රමුඛත්වයක් ලබා දීමට තීරණය කර ඇති අතර අමාත්‍යවරයා ඒ පිළිබඳව ද විස්තර කළේ ය.
"දැනට පාවිච්චි කරන්න තියෙන්නේ ගොඩාක් ම පරණ ඒවා. 2020 විතර වගේ පස්සේ අලුත් වාහන ගෙනාවෙ ම නෑනේ. ඒ වෙනකොටත් තිබුණ වාහන අවුරුදු 10කට වැඩි කාලයක් පාවිච්චි කරලා තිබුණේ. ගොඩක් ආයතනවල තියෙන වාහන අවුරුදු 15කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරපුවා, සමහර ඒවා ඊටත් වැඩි යි අවුරුදු 20,25 පාවිච්චි කරපු ඒවත් තියෙනවා. අපි ඒ ආයතනවලට යනකොට දකිනවා, ඒ තත්ත්වය එක්ක තමයි ඒගොල්ලන්ට හොඳට රාජකාරිය කරන්න, මිනිස්සුන්ට සේවය කරන්න ඕන කරන පහසුකම් දෙන්න ඕන කියන අර්ථයෙන් තමයි අලුත් වාහන දෙන්න තීරණය කළේ."
ආයෙත් පර්මිට් එක වාහනයක් ගන්න අවස්ථාවක් ලැබෙයි ද?
රජයේ වෛද්‍යවරුන්ට, විශ්වවිද්‍යාල ආචාරයවරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන්ට තීරු බදු රහිතව වාහනයක් මිලට ගැනීමට අතීතයේදී සහනයක් හිමි විය.
කෙසේ වෙතත්, රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය සහ විදේශ සංචිත හිඟවීම වැනි කරුණු හේතුවෙන් එම සහනය පෙර පැවති රජය මීට වසර කිහිපයකට ඉහතදී නවතා දැමූ අතර එය යළි ක්‍රියාත්මක කිරීමේ අදහසක් වත්මන් රජයට තිබේ දැයි බීබීසී සිංහල සේවය චන්දන අබේරත්න ඇමැතිවරයාගෙන් විමසීය.
"පහුගිය කාලේ පර්මිට් එක දුන්නාට වාහන ආනයනය කරන්න දීලා නැහැ. ඩොලර් අර්බුදය කාලේ නවත්තපු එක නේ තියෙන්නේ. අපි ඒ ගැන ඉස්සරහට අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් වෙනසක් වෙන්න පුළුවන් ද කියන එක හිතන්න වෙයි. නමුත් දැනට නම් ඒ ගැන රජය පැත්තෙන් කිසි ම සාකච්ඡාවක් නැහැ."
මන්ත්‍රීවරුන්ට දෙන්නත් වාහන ගේනවා ද?
වත්මන් ආණ්ඩුව බලය පත්වීමට පෙරත් ඉන් පසුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනයක් මිලට ගැනීමට තීරුබදු රහිත බලපත්‍ර නිකුත් නොකර බව මෙන් ම ඒ වෙනුවට අදාළ ධූර කාලයේදී භාවිතය සඳහා රජයේ වාහනයක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි.
විවිධ හේතු මත එම තීරණය මෙතෙක් ක්‍රියාවට නංවා නැති අතර, පසුගිය දිනක ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී යළිත් ඒ පිළිබඳව ප්‍රකාශයක් කළේ ය.
"අයවැයෙන් වෙන් කරන මුදල් ප්‍රමාද වෙනවා කියන කතාව මින් පසු සිදු වන්නේ නැහැ. 2026 අපි අයවැය ලේඛනය අනුමත කළ විගස ජනවාරි මාසයේ සිට ආරම්භ කළ හැකි ලෙස මුදල් ලැබෙනවා. එසේ නොමැතිව, මේ ගොල්ලොන්ට මුදල් දෙන්නෑ වගේ දේශපාලනයක් අපි කරන්නේ නෑ. කාටත් මන්ත්‍රීවරු ලෙස අදාළ මුදල් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ලබන අයවැය ලේඛනයෙන් යම් සහන වාහනයක් මන්ත්‍රී ධුර කාලයට පාවිච්චි කර ආපසු දෙන පදනම මත ලබා දීමටත් අප අපේක්ෂා කරනවා," යැයි ජනාධිපතිවරයා අගෝස්තු 07 වන දා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එසේ වාහනයක් ලබා දීමට, වාහන ආනයනය කිරීමේ සැලසුමක් ඇති දැයි බීබීසී සිංහල සේවය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්නගෙන් විමසූ අතර අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන ලබා දෙන ආකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බව ය.
ඩොලර් සංචිතවලට බලපෑමක් වෙයි ද?
මෙලෙස වාහන "විශාල ගණනක්" ආනයනය කළහොත් රටේ විදේශ සංචිතවලට මෙන් ම ආරථිකයට ද බලපෑම් ඇති වීමේ අවදානම් ඇතැයි වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දෙයි.
"රජය යෝජනා කරන විදිහට වාහන ගොඩක් ගෙන්නුවොත් ඒක, එක පැත්තකින් අපේ ඩොලර් සංචිතයට විශාල බලපෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා රජය මේ වෙලාවේ ප්‍රමුඛතාවය මොකක් ද කියන කාරණය තේරුම් ගත්තා නම් ගොඩක් හොඳයි," මහාචාර්යවරයා බීබීසි සිංහල වෙත පැවසීය.
ආනයනය කෙරෙන වාහන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට යෝජනා කෙරෙන වාහන ද තිබිය හැකි බව ඔහු සඳහන් කළේ ය.
"වාහන ගෙන්වන කතාව තියෙන්නේ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වනවා නෙමෙයි, මන්ත්‍රීවරුන්ට පාවිච්චි කරන්න පුළුවන් වාහනයක් රජයෙන් ලබලා දෙනවා. එතකොට වාහනයක් ලබලා දෙන්න නම් රජයට ගේන වාහනවලින් ඒ වාහන දෙන්න පුළුවන්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ කවුද පාවිච්චි කරන්නේ කියන එක නෙමෙයි. මේ වෙලාවේ ඒ වගේ අතිවිශාල ගණනක් ගෙන්වන එක සාධාරණීකරණය කරන්න පුළුවන් ද කියන කාරණය," මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.
'වාහන ගේන්න ගිහිල්ලා ඩොලර් බිලියන 1.8ක විතර ෂොක් එකක් තියෙනවා'
රජය විසින් මීට ඉහතදී විකුණා දමන ලද වාහන සාපේක්ෂව අඩු මිලකට විකුණා ඇති බව පෙන්වා දුන් මහාචාර්ය අමින්ද මෙත්සිල, එලෙස වාහන විකුණා නැවත වාහන ආනයනයට පියවර ගැනීම වත්මන් ආණ්ඩුවේ දේශපාලන දර්ශනයට නොගැලපෙන බව පැවසීය.
"වැඩිපුර බදු ගෙවන පාර්ශවයට තිබුණ වෙහිකල් පර්මිට් එක පවා නවත්වලා තියෙන්නේ. වාහන බලපත්‍රය අතට දීලා නමුත් වාහනයක් ගෙන්වන්න අවසර නොදී ඉන්නවා ඩොලර් අර්බුදයක් තියෙනවා කියලා. එහෙම තියෙද්දි අපේ බදුවලින් නඩත්තු කරන තවත් පාර්ශවයකට වාහන ගේන්න ඒ බදු මුදල් පාවිච්චි කිරීම මම හිතනවා මේ වෙලාවේ කොහෙත් ම සාධාරණීකරණය කරන්න බැහැ සහ ඒක ආර්ථිකයට දරාගන්න අමාරුකමක් තියෙන්න පුළුවන්."
අදියර වශයෙන් හෝ මෙලෙස වාහන ආනයනය කිරීමට යාමෙන් රටේ ආර්ථිකයට හානි විය හැකි ආකාරය ද මහාචාර්යවරයා පැහැදිලි කළේය.
"මේ ටිකේ වාහන ගේන්න ගිහිල්ලා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.8ක විතර ෂොක් එකක් තියෙනවා. රජය පාර්ශවයෙන් විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළාට රජය ගන්නකොට බිලියන 6කට වඩා සංචිත තිබුණා. බිලියන 7ක තමයි ටාගට් එකට යන්න යන්නේ. අවුරුද්දක් ගිහිල්ලත් සංචිත වැඩි වෙන්නේ දශම 7කින්. ඒක තුළත් බිලියන 1.4ක් තියෙන්න ණය පහසුකමක්. අපි ගාව සංචිත තියෙන්නේ බිලියන 5.6ක් විතර, ඒකෙනුත් සංචිත මේ විදිහට දියාරු කරන්න ගියොත් ඒකෙන් අපේ රුපියල ක්ෂය වෙන්න පුළුවන්, ඩොලර් එකේ වටිනාකම වැඩි වෙන්න පුළුවන්."
අපි රාජ්‍ය සේවයට වාහන දෙනවාට විරුද්ධ නැහැ. මේ වෙලාවේ නොකළ යුතු තීරණයක් හැටියටයි මම දකින්නේ," මහාචාර්ය අමින්ද මෙත්සිල වැඩිදුරටත් පැවසීය.