ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ලෝකයේ ආසියානු අලි බලන්න හොඳම තැන මින්නේරිය, කවුඩුල්ල'
2018 වසරේ දී මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු ජලය මුදා හැරිම නිසා මින්නේරිය සහ කවුඩුල්ල වනෝද්‍යාන හැරගිය අලි මේ දිනවල යළි පැමිණ සිටිති.
අලි පිළිබඳ පර්යේෂකයන් වාරිමාර්ග, මහවැලි සහ වනජීවී බලධාරීන් සමග පසුගිය කාලයේ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මින්නේරියට සහ කවුඩුල්ලට ලැබෙන ජලය අඩු කිරීම නිසා වැව් පිටිවල ආහාර බහුලවීමත් සමග මෙලෙස අලි දක්නට ලැබේ.
''මුළු ලෝකෙන්ම ආසියානු අලි ඉන්න රටවල් තියෙන්නේ 13ක් විතරයි. ආසියානු අලි හොඳටම බලන්න පුළුවන් අපේ ලංකාවේ. ලංකාව තුළත් හොඳම තැන මින්නේරිය, කවුඩුල්ල වනෝද්‍යාන. මෙහි අලි 100, 200 රංචු දකින්න පුළුවන්. ඉදිරියටත් අපි මේ ජල පාලනය කර ගත්තොත් මේ ලෝක ප්‍රසිද්ධ දර්ශනය අනාගත පරපුරටත් දකින්න පුළුවන් වෙයි.'' යනුවෙන් අලි පිළිබඳ පර්යේෂක ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු BBC සිංහල සේවයට පැවසුවේය.