'හොරා කනවද වැඩ කරනවද කියලා වැඩ කෑල්ල තියෙන්නේ එයාලගේ අතේ තමයි'

"ණය කොහොම ගත්තත් ණය තමයි. නමුත් හොඳ දෙයක් වෙයි කියලා මිනිස්සු බලාගෙන ඉන්නවා. සල්ලි ටිකක් එනවා. ඩොලර් එනවා. එතකොට අපට රටින් ගෙන්නන්න ඕනෑ ඒවා ගෙන්න ගන්න පුළුවන් වෙයි. සල්ලි එනවා කියලා දැනගත්ත ම මිනිස්සුත් මහන්සි වෙලා වැඩ කරයි අපිත් ඒ විශ්වාසෙන් තමයි ඉන්නේ. අපි මුස්ලිම් වුණත් ඔක්කොම එකතුවෙලා කරගෙන ගියොත් මොකක් හරි කරගන්න පුළුවන්."

මාලිගාවත්ත ප්‍රදේශයේ ජීවත් වන පනස් තුන් හැවිරිදි ලාහීර් හුසේන් එලෙස පවසන්නේ දින 200ක බලා සිටීමෙන් පසුව අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ සහන ණය පැකේජය ශ්‍රී ලංකාවට හිමිවීම සම්බන්ධයෙනි.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ණය පැකේජය සඳහා අනුමැතිය හිමි වූයේ මාර්තු 20 දිනයි. වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව මුහුණදුන් ගෙවුම් ශේෂ අර්බුදය නිසා විදේශ සංචිත හිඳීයාම හේතුවෙන් පසුගිය වසරේ දී ශ්‍රී ලංකාව විසින් වෙනත් රටවල් වලින් සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ලබා ගත් ණය ගෙවා දැමීම සම්පූර්ණයෙන් ම නවතා දමන ලදි.

රටේ මූලික අවශ්‍යතා සඳහා අවශ්‍ය ආනයනයන් සිදු කිරීමට නොහැකි වීමත් සමඟ එම තත්වය දෛනික වැටුපට වැඩ කරන පහළ ආදායමක් සහිත ජනතාවට සහ විශේෂයෙන්ම කොළඹ නාගරික ජනාවාස වල ජිවත් වූ ජනතාවට දැඩි බලපෑමක් එල්ල කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලැබුණු ණය සහන පැකේජය ගැන ඔවුන් දක්වන ප්‍රතිචාරය දැනගැනීමට අපි කොළඹ නාගරික ජනාවාස ආශ්‍රිත ව ජීවත්වන ජනතාව මුණ ගැසුණෙමු.

"ඡන්දවලට මුදල් නාස්ති කරන්න එපා"

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ ම ජීවත් වන ලාහිර්ගේ මිතුරෙකු වන දයානන්ද ලියනආරච්චි කියා සිටින්නේ ඡන්ද සඳහා මුදල් වැය නොකර ලැබෙන ණය මුදලින් රට සංවර්ධනය කළ යුතු බවයි.

"රට වැටිලා තිබුණු වෙලාවේ රට භාරගත්තේ තනි අලියා වගේ හිටපු රනිල් වික්‍රමසිංහ. එයා දැන් රට තිබුණාට වඩා හොඳ තැනකට අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ ණය මුදලත් හම්බුණාම තව හොඳ තැනකට ගෙනියන්න පුළුවන්. පහුගිය කාලේ මිනිසුන්ට කන්න නැතිව හිටියා. දැන් ආපහු හොඳ පැත්තට රට ටික ටික එනගමන් තියෙන්නේ. ඒ නිසා මේවා අස්සේ ඡන්ද වැඩක් නෑ. ඡන්දෙට මුදල් කාබාසිනියා කරන්නේ ඇයි? ඒ සල්ලිත් වෙන දේකට යොදවලා රට දියුණු කරන්න ඕනෑ."

"ණය අරන් තියෙන්නේ හොරකම් කරන්න"

"කොහොමද ණය අරන් රට හදන්නේ. හොරකම් කරන්න තමයි මේ ණයත් අරගෙන තියෙන්නේ. ලොකු ණය ප්‍රශ්නයක් මේ වගේ ගානක් අරන් විසඳන්නේ කොහොමද? මේක හරියට මම ලක්ෂ පනහක ණය තියාගෙන ඒ ණය බේරන්න තව ලක්ෂ දහයක විතර ණයක් ඉල්ලනවා වගේ වැඩක්. කොහොමද ණය ඉවර කරන්නේ. ජනාධිපතිතුමා මහජන ඡන්දයකින් පත්වුණ කෙනෙක් නෙවෙයිනේ. එයා මේ කරන වැඩ ගැන මම කතා කරන්නවත් කැමති නෑ." යනුවෙන් අදහස් දැක්වූයේ හැටහැවිරිදි එම්.ඒ.එන්. නසීර් ය.

"අපි පහුගිය කාලේ ගැස් පෝලිම් වල තෙල් පෝලිම් වල හිටියා තමයි. හැබැයි පෝලිමේ ඉඳලා බඩු ගත්තේ මීට වඩා ගොඩක් අඩුවට. දැන් පෝලිමේ ඉඳලා ගත්තාට වඩා දෙතුන් ගුණයක්. ඒ නිසා ඔය ණය අරගෙන ජනාධිපතිතුමාගේ යාළුවන්ට බෙදයිද, මන්ත්‍රීලට බෙදයිද එහෙම නැතිනම් ජනතාව වෙනුවෙන් වෙනුවෙන් වියදම් කරයිද කියලා මේ මාසෙදි බලාගන්න පුළුවන්."

"ඔය සල්ලිවලට මොනවා වෙයිද දන්නේ දෙවියෝ තමයි"

මාලිගාවත්ත ප්‍රදේශයේ ම පොලිස් නිල ඇඳුම් මැසීමේ නිරතවන රාජු සහ ඒ. එහ්.එම්. රිස්වි යන දෙදෙනාද අප වෙත අදහස් පළ කළහ.

රිස්වි පවසන්නේ ලැබෙන ණය මුදලට කුමක් සිදුවේවිදැයි යන්න දන්නේ දෙවියන් පමණක් බවයි.

"මේ රටේ කවදාවත් හරියට පාලනයක් තිබුණේ නෑ. රටට හරි රජ කෙනෙක් නැතිවුණා ම වෙන්නේ මේක තමයි. මේ ඔක්කොම හොරු. පාලනය කරන කෙනා කෙලින් තීරණ ගන්න ඕනෑ. එහෙම නැතිව මෙහෙම ණය හම්බුනා කියලා මොනවා කරන්නද? මේ ණයටත් මොනවා වෙයිද කියලා දන්නේ දෙවියෝ තමයි. ඡන්දය තියලා හරියන්නේ නෑ. ඒ සල්ලි මේ වගේ වෙලාවක වෙන දේකට යොදවන්න ඕනෑ. ලංකාව ආපහු ගොඩගන්න නම් ඩුබායි වගේ රජකෙනෙක් පත් වෙන්න ඕනෑ"

රාජු ද පැවසුවේ ඊට සමාන අදහසකි. "මම මහන්න පටන් අරන් අවුරුදු 35ක් වෙනවා. දැන් රෙදි ගන්න ලොකු ගානක් යනවා. මිනිස්සු මහන්සි වුණාට වැඩක් නෑ. මේ ණයෙන් ගොඩයන්න පුළුවන් ද කියලා ඇත්තටම දෙවියො තමයි දන්නේ."

"විශ්වාස කරලා විශ්වාස කරලා රැවටෙන එක අපේ ජාතියේ හැටි"

මාලිගාවත්ත ප්‍රදේශයේ ම ජීවත් වන තිස්තුන් හැවිරිදි තරුණයෙකු වන මොහොමඩ් රියාස් පැවසුවේ මෙම ණය පහසුකමෙන් යහපත් දෙයක් සිදුවේවියැයි ඔහු සිතන නමුත් මෙවරත් රැවටීමට ලක් වන්නට සිදුවේවිදැයි සැක සහිත බවයි.

"විශ්වාස කරලා විශ්වාස කරලා මේ පාරත් රැවටෙන්න වෙයිද දන්නේ නෑ. රැවටෙන එක තමයි ශ්‍රී ලංකා ජාතියේ හැටි. ණය දුන්නා වගේ ම මේකට ජාත්‍යන්තරය අත දාන නිසා හොඳ දෙයක් වෙයි කියලා තමයි විශ්වාස කරගෙන ඉන්නේ. ජාත්‍යන්තරය අත දාන නිසා මේ පාර මේ සල්ලි හොරකම් කරන්න බැරිවෙයි කියලා තමයි හිතන්නේ. ජනතාවට මොනවා හරි හම්බවුනත් ඒවා එකඑක මන්ත්‍රීලගේ උවමනාවට ඩීල් වලට හම්බෙන්නේ. ඒ නිසා මේ පාර වත් රැවටෙන්නේ නැති ව ඉන්න ලැබුණොත් හොඳයි."

"මම නම් ජනාධිපතිතුමාටවත් ගෝඨාභය මහත්තයාටවත් දොස් කියන්නේ නෑ"

මරදාන නගරය ආශ්‍රිත ව ආහාර අලෙවි කිරීමේ සුළු ව්‍යාපාරයක නිරත වන මානෙල් පෙරේරා පැවසුවේ රට තිබෙන තත්වයෙන් ගොඩ ඒමට ණය මුදලක් ලැබීම හොඳ බවයි. නමුත් ණය ලබා දීමෙන් පසුව ජාත්‍යන්තර මැදිහත්වීම් අනවශ්‍ය බව ඇය පැවසුවා ය.

"මම මාස කීපයකට කලින් සෞදි ඉඳලා ආවේ මම වැඩ කරපු ගෙදර අයට මට පඩි ගෙවන්න සල්ලි නෑ කියලා. ඒ රටවලුත් කොරෝනා නිසා එරිලා ඉන්නේ. ඒ නිසා ලංකාවේ මන්ත්‍රීලටවත් ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුවටත් බැනලා වැඩක් නෑ. මම නම් ජනාධිපතිතුමාටවත් ගෝඨාභය මහත්තයාටවත් දොස් කියන්නේ නෑ. මේ තත්වෙන් ගොඩ එන්න ණයක් ලැබෙන එක හොඳයි. ඒත් ණය දුන්නට පස්සේ ජාත්‍යන්තරයට අපේ රටට ඇඟිලි ගහන්න දෙන්න හොඳ නෑ." ඇය කියයි.

"රටක ඡන්දෙ තියන්න ඕනෑ"

මාලිගාවත්තේ සීය වත්ත ආශ්‍රිතව ජීවත් වන තරුණයෙකු වන සාගර ලක්මාල්ට ණය සහනය ලැබීම සහ ඡන්දය පැවැත්වීම ගැන ද ඇත්තේ මෙවන් අදහසකි.

"හොරකන් තමයි වැඩිපුර කරගෙන ගියේ තාමත් කරගෙන යනවා. ණය මුදලෙන් හොඳ දෙයක් වෙලා අපේ බලාපොරොත්තු ඉටු වෙන්න කියලා අපි බලාගෙන ඉන්නවා. මේ අස්සේ ඡන්දෙත් කල් දාලා. රටක ඡන්දෙ තියන්න ඕනෑ. නැත්තම් පුරවැසියන්ගේ ප්‍රජා අයිතිය තියෙන්නෙ කොහොමද?කලිනුත් ණය ගත්තනේ. මොකද ඉතින් වුණේ?. "

ඔහු සමඟ වැඩ කරමින් සිටි ඔහුගේ මිතුරා වන තිස් එක් හැවිරිදි අබු බක්කර් කියා සිටියේ "කන්නේ බොහොම අමාරුවෙන් හෙමින් සැරේ ශේප් වෙලා යන්නේ. අපට වැඩ ටිකක් එන්න රටට ඩොලර් එන්න ඔනෑ. මේ තියෙන තත්වය හැටියට ණය ගන්න වෙනවා. හොඳ දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා." යනුවෙනි.

"ඔක්කොම කුණු කුණු ගොඩට වගේ තමයි අපට දැන් වෙලා තියෙන්නේ"

"සල්ලි වලින් ප්‍රශ්න විසඳනවා නම් ලංකාවෙ ම අයගේ ප්‍රශ්න විසඳන්න ඕනෑ. කට්ටියකගෙ විතරක් විසඳනවා නම් වැඩක් නෑ. මගේ පවුලේ නව දෙනෙක් ඉන්නවා. මගේ බෑනා ත්‍රීවිල් දුවලා සල්ලි හම්බු කරන්නේ. ගෙවල් කුලියයි ලයිට් බිලයි ගෙවාගන්න බෑ. කෑම වලට ඊට වඩා වියදමක් යනවා. කොරෝනා නිසා ත්‍රීවිල් එකේ ෆිනෑන්ස් එක ගෙවාගන්න බැරිවුණා. ඒක අරගෙන ගියොත් අපට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. ඔක්කොම කුණු කුණු ගොඩේ ගොඩගහනවා වගේ තමයි අපට මේ ණය වලින් හරියට දෙයක් ලැබෙන එකක් නෑ." සීය වත්ත ප්‍රදේශයේම ජීවත්වන පනස් අට හැවිරිදි නසීරා කියා සිටියාය.

"හොරාකනවද වැඩ කරනවද කියලා වැඩ කෑල්ල තියෙන්නේ එයාලගේ අතේ තමයි"

පංචිකාවත්ත සංඝරාජ මාවතේ ජීවත් වන බන්දුල සහ ඔහුගේ බිරිඳ සිය පවුල නඩත්තු කරන්නේ පංචිකාවත්ත හන්දියේ පවත්වාගෙන යන කුඩා තේ කඩයකිනි. ඔවුන් අවුරුදු 40ක පමණ කාලයක් තිස්සේ මෙම තේ කඩය පවත්වාගෙන යන බව බන්දුල අපට පැවසීය.

"ණයක් හරි ලැබිලා රටට හොඳක් වෙනවා නම් හොඳයි. හොරාකනව ද ඒ සල්ලි වලින් වැඩ කරනව ද කියන වැඩ කෑල්ල එයාලගේ අතේ තමයි තියෙන්නේ.රට මොකක් හරි තැනකට ආවොත් තමයි අපටත් කීයක් හරි හොයාගන්න පුළුවන්. මනුස්සයෙක්ට තේ එකක් බොන්නවත් සල්ලි නෑ. තේ එකක් බොන්නේ නැත්නම් අපට ආදායමක් ඇත්තේත් නෑ. ගිය අවුරුද්දට වඩා පොඩි සහනයක් දැන් තියෙනවා. ණය මුදල ලැබුණාම තවත් හොඳ වෙයි කියලා තමයි හිතන්නේ. "

"ණය හොඳයි. ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් එපා" ඔහු කියයි.

කෙසේ වෙතත් මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා දීමට අනුමැතිය ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ හිඟයට විසඳුමක් සෙවීමෙන් රටේ ආර්ථිකය නැවත ප්‍රතිස්ථාපනය කිරීමටයි. එසේම ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පුර්ණ යුතු කඩිනම් මෙන්ම දීර්ඝ කාලින කොන්දේසි මාලාවක්ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

S&P ගෝලීය ශ්‍රේණිගත කිරීම් ඒජන්සියේ විශ්ලේෂක ඇන්ඩෲ වුඩ් මීට පෙර පවසා තිබුණේ 2024 වසරේදී වර්ධනයට ආපසු යාමට පෙර, වඩා ත් මධ්‍යස්ථ වේගයකින් වුව ත්, 2023 වසරේදී ආර්ථිකය නැවතත් හැකිලෙනු ඇති බවයි.

ඒ අතර ඉදිරියේදී රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජයගෙන තම බලාපොරොත්තු ඉටු කරගැනීමට මෙම ණය සහනය හේතු වේ යයි ජනතාව අපේක්ෂා සහගතව සිටියි.