ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක කුසලානය 2023: ශ්‍රී ලංකාව ඉදිරියේ සටහන් වූ වාර්තා ගැන ඔබ දන්නවාද ?
මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ පළමුවෙන්ම නැවත තම මව්බිම බලා පැමිණි කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.
2019 වසරේ එංගලන්තයේ දී පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 06 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන් සිව්වසරකට පසුව ද පළමු වටයෙන්ම ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
නැවත ලෝක කුසලාන එක්දින තරගාවලියක් සඳහා සහභාගී වීමට තවත් වසර 04ක කාලයක් බලා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මොනවාද ? තැබූ තරග වාර්තා මොනවාද යන්න සම්බන්ධයෙන් බීබීසි සිංහල සේවය විමසා බලන ලදී.
(සැ:යු : මෙම ලිපියේ අඩංගු ඇතැම් වාර්තා ඉදිරියේදී වෙනස් වීමට ඉඩ ඇත. ඒ 2023 ලෝක කුසලාන එක්දින තරගාවලිය සම්පුර්ණයෙන් අවසන් වී නොමැතිවීම හේතුවෙනි.)
වැඩිම අතිරේක ලකුණු ලබාදුන් කණ්ඩායම
මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ පැවති තරගයක දී වැඩිම අතිරේක ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි.
නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් අතිරේක ලකුණු 33ක් ලබා දෙන ලදී.
ඊට ලෙග් බයි ලකුණක්, නිපන්දුවක්, වයිඩ් පන්දු 25ක් සහ දඬුවම් ලකුණු 05ක් ඇතුලත් විය.
ලෝක කුසලාන තරගාවලියක වේගවත්ම ශතකය
ශ්‍රී ලංකාව සමග පැවති තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරු ඒඩ්ඩ්‍රන් මාර්ක්ක්‍රම් විසින් ලෝක කුසලාන එක්දින තරගයක පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට සමත් විය.
ඔහු විසින් පන්දු 49 කදී සිය ශතකය රැස් කිරීමට සමත් විය.
කෙසේ වුවද ඉන් දින කිහිපයකට පසුව නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයකදී ඕස්ට්‍රේලියානු පිතිකරු ග්ලෙන් මැක්ස්වෙල් විසින් පන්දු 40 කින් ශතකයක් රැස් කරමින් දකුණු අප්‍රිකානු පිතිකරු ඒඩ්ඩ්‍රන් මාර්ක්ක්‍රම් ගේ නමට තිබු වාර්තාව තමන් සතුකර ගැනීමට සමත් විය.
ලෝක කුසලාන තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව
ශ්‍රී ලංකාව සමග පැවති තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් පන්දු වාර 50 තුලදී කඩුලු 05ක් පමණක් දැවී ලකුණු 428ක් රැස් කරන ලදී.
එම ලකුණු සංඛ්‍යාව මෙතෙක් ලෝක කුසලාන එක්දින තරගාවලියක දී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක්විය.
ලෝක කුසලාන එක්දින තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව
එක්දින ලෝක කුසලාන තරගාවලියක දී එක් තරගයක් තුළ කණ්ඩායම් දෙකක් රැස් කළ ලකුණු සංඛ්‍යාවන් හි එකතුව අනුව දෙවන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දිල්ලි හි අරුන් ජෙට්ලී ක්‍රීඩාංගණයේ පැවති තරගයයි.
එහිදී දෙපිලම ලකුණු 754ක් රැස් කිරීමට සමත් විය.
දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 428ක් සහ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 326ක් එහිදී වාර්තා කිරීමට සමත් විය.
ලෝක කුසලාන එක්දින තරගයක වාර්තා වූ වැඩිම ශතක සංඛ්‍යාව
ලෝක කුසලාන එක්දින තරගයකදී පිතිකරුවන් වැඩිම ශතක සංඛ්‍යාවක් වාර්තා කළ තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති තරගය වාර්තා පොත් අතරට එක්විය.
එම තරගයේදී ශතක 04ක් වාර්තා විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම ද, පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් අබ්දුල්ලා ෂෆීක් සහ මොහොමඩ් රිස්වාන් ශතක වාර්තා කරන ලදී.
ලෝක කුසලාන තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙක් රැස් කළ වේගවත්ම ශතකය
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලාන එක්දින තරගයකදී පිතිකරුවෙක් රැස් කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් විය.
පකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කුසල් මෙන්ඩිස් එම ශතකය රැස් කළේ පන්දු 65ක් තුලදීයි.
තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා
මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මධුෂංක මේ වන විට එහි දෙවන ස්ථානයට පත්ව තිබේ.
ඒ අර්ධ අවසන් පුර්ව වටයට පෙර ශ්‍රී ලංකාව ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉවත් වූ බැවිනි.
ඒ අනුව වෙනත් පන්දු යවන්නෙකුට එම වාර්තාව තමන් සතුකර ගැනීමට හැකියාව තිබේ.
ඩිල්ෂාන් මධුෂංක විසින් තරග 09කදි කඩුලු 21ක් දවා ගෙන ඇත.
වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ලද පරාජය
මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේදී කණ්ඩායමක් ලද දෙවන විශාලතම පරාජයට හිමිකම් කියන කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි.
ඉන්දීය කණ්ඩායමත් සමග පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දිය කණ්ඩායම හමුවේ පරාජයට පත් වුයේ ලකුණු 302 කිනි.
එම තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 358ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 55ක් පමණි.
ශ්‍රී ලංකාව රැස් කළ මෙම ලකුණු 55, එතෙක් මෙතෙක් ලෝක කුසලාන තරගාවලියකදී කණ්ඩායමක් රැස් කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසයට එක්විය.
40 වසරකට පසු අලුත් වූ වාර්තාව
ලෝක කුසලාන එක්දින තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 10 වෙනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ ඉහළම සබඳතාවය වාර්තා කිරීමට නවසිලන්ත කණ්ඩායම සමග පැවති තරගයේදී මහීෂ් තික්ෂණ සහ ඩිල්ෂාන් මධුෂංක සමත් විය.
ඔවුන් දෙදෙනා අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක් රැස් කරන ලදී.
ඒ අනුව 1983 වසරේ පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව විනෝදන් ජෝන් සහ රුමේෂ් රත්නායක වාර්තා කළ ලකුණු 33 ක වාර්තාව බිඳ හෙලීමට ඔවුන් සමත් විය.
ලෝක කුසලාන තරගාවලියක ලද පළමු ජයග්‍රහණය
ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලාන එක්දින තරගාවලියකදී සිය පළමු ජයග්‍රහණ වාර්තා කිරීමට ප්‍රතිවාදී කණ්ඩායම් දෙකකට මෙවර අවස්ථාව හිමිවිය.
එම කණ්ඩායම් දෙක වන්නේ ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශයයි.
ශ්‍රී ලංකාව පරාජයට පත්කරමින් කඩුලු හතක ජයක් ලැබීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 03ක ජයක් වාර්තා කිරීමට සමත් විය.
විරල දැවී යාමක් නිසා ඉතිහාසයට එක්වූ ක්‍රීඩකයා
මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ වඩාත් සංවාදයට තුඩු දුන් මාතෘකා අතරින් එකක් වුයේ ඇන්ජලෝ මැතිව්ස් ගේ 'Timed out' දැවී යාමයි.
බංග්ලාදේශය සමග පැවති තරගයේදී සිදුවූ එම දැවී යාම නිසා ඇන්ජලෝ මැතිව්ස් ඉතිහාසයට එක්වන්නේ ජාත්‍යන්තර තරගයකදී එලෙස දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසයි.
දුර්වලම පන්දු රැකීම සිදු කළ කණ්ඩායම
මෙවර ලෝක කුසලාන එක්දින තරඟාවලියේ වෙනත් ඕනෑම කණ්ඩායමකට වඩා උඩපන්දු ප්‍රමාණයක් අතහැර දමන ලද කණ්ඩායම වන්නේ ශ්‍රී ලංකාවයි.
එලෙස අතහැර දැමු උඩපන්දු ප්‍රතිශතය 70.21%ක් ලෙස දැක්වේ.
සමස්තයක් ලෙස අත්හරින ලද උඩ පන්දු සංඛ්‍යාව 17ක් වේ.
එංගලන්තයට එරෙහිව තැබූ වාර්තාව
මෙවර ලෝක කුසලාන එක්දින තරගාවලියේ දී වත්මන් (2019 වසරේ) ලෝක ශුර එංගලන්ත කණ්ඩායමට එරෙහිව වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ, ශ්‍රී ලංකාව 2007, 2011, 2015, 2019 සහ 2023 වසරවල අඛණ්ඩව එක්දින ලෝක කුසලාන තරගාවලියන් හිදී පස් වතාවක් එංගලන්තය පරාජය කිරීමයි.
පැතුම් නිස්සංක තැබූ වාර්තාව
එක්දින ලෝක කුසලානයකදී අඛණ්ඩව වැඩිම අර්ධ ශතක රැස්කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයාගේ වාර්තාව සම කිරීමටද පැතුම් නිස්සංක සමත්වුණි.
පැතුම් නිස්සංක මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අඛණ්ඩව අර්ධ ශතක 4ක් රැස්කරන ලදී.
මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් 2015 වසරේ පැවති එක්දින ලෝක කුසලානයේදී කුමාර් සංගක්කාර ද අඛණ්ඩව අර්ධ ශතක 4ක් රැස්කළ කර ඇත.