ඇතැම් දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය සඳහා තම ආගම වෙනුවට වෙනත් ආගමක් ඉගෙනීමට සිදුව ඇත්තේ ඇයි?

    • Author, කුමුදු ජයවර්ධන
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

"අපේ පුතාට සාමන්‍ය පෙළ විභාගයට බුද්ධ ධර්මය විෂයට පෙනී සිටින්න වෙලා. එයාට අමුතුවෙන් ඒක ඉගෙන ගන්න වෙලා තියෙන්නෙ. මේක දරුවාට අනවශ්‍ය බරක්. ඉස්කෝලෙන් කිව්වේ ක්‍රිස්තු ධර්මය උගන්වන්න ගුරුවරු නැති නිසා ක්‍රිස්තු ධර්මය උගන්වන්න විදිහක් නෑ කියලා. "

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 15 හැවිරිදි ක්‍රිස්තියානි දරුවෙකුගේ මවක් බීබීසී සිංහල සේවයට පැවසීය.

එම ශිෂ්‍යයා පානදුර ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබයි.

ඔහුගේ මව ද ක්‍රිස්තියානි ආගම අදහන අතර, උපතේ සිට එම ශිෂ්‍යයා ක්‍රිස්තියානි ආගමික පසුබිමක හැදීවැඩී තිබේ.

කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ ආගම විෂය සඳහා ක්‍රිස්තු ධර්මය වෙනුවට බුද්ධ ධර්මය ඉගෙනීමටත්, විභාගයට පෙනී සිටීමටත් එම දරුවාට සිදුව ඇත.

"කරන්න දෙයක් නැති නිසා විභාගයට බුද්ධ ධර්මය තෝර ගන්න සිද්ධ වුණා. මුල ඉඳලා එක ආගමක් අදහනකොට තවත් ආගමක් ඉගෙනගෙන විභාගයට ලියන්න සිද්ධ වෙන එක ලොකු ප්‍රශ්නයක්. පුතා බුද්ධ ධර්මය අසමත් වුණොත් එයාගෙ සම්පූර්ණ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය ම පහත වැටෙනවා. ඒක අසාධාරණ යි," දරුවාගේ මව වැඩිදුරටත් පැවසීය.

'දේවස්ථානයේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වුණා'

මෙම ගැටලුවට විසඳුමක් ලෙස අදාළ දරුවා දහම් අධ්‍යාපනය ලබන දේවස්ථානයේ ගුරු මණ්ඩලයේ මැදිහත් වීමෙන් දරුවාට ක්‍රිස්තු ධර්මය ඉගැන්වීමට සහය දීමට යෝජනා කළ ද පාසල් පාලනාධිකාරිය එය කළ නොහැකි බව පවසා තිබේ.

"අපි ඉස්කෝලෙන් ඉල්ලීමක් කළා දරුවාට ක්‍රිස්තු ධර්මය උගන්වලා, පිළිතුරු පත්‍රත් බලලා දෙන්නම් කියලා. ඒත් එහෙම දෙයක් කරන්න ඉඩක් ලැබුණේ නැහැ," අදාළ දේවස්ථානයේ ඉරුදින දහම් පාසල භාර ආචාර්යවරියක් පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසා ඇති අයිතිය

තමන් කැමති ආගමක් ඇදහීමට සහ විශ්වාස කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම හිමිකමක් ලබා දී තිබේ.

'සෑම තැනැත්තෙකුට ම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘද සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය,' යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 10 වන වගන්තියේ සඳහන් වෙයි.

ඊට අමතරව, 'කිසි ම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු' බව ද 12 (2) වගන්තියෙහි දැක්වේ.

මේ අනුව, පාසල් දරුවෙකුට තමන් කැමති ආගමක් ඉගෙන ගැනීමටත්, විභාගයට පෙනී සිටීමටත් අයිතියක් ඇතත්, ඇතැම් පාසල් සිසුන්ට එම අයිතිය අහිමි වන බවක් දැකිය හැකි ය.

ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය

ශ්‍රී ලංකාවේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අනුව ද, දරුවන්ට තමන් අභිමත ආගමක් ඇදහීමට අවස්ථාව සලසා දිය යුතු ය.

ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 28 වන වගන්තියේ 'අධ්‍යාපනය' යන කොටසේ 3 වන වගන්තියේ (අ) කොටසට අනුව, 'ජීවිතය සම්බන්ධයෙන් ආගමික, සමාජ හා සංස්කෘතික අගැයීම් පිළිබඳව නිසි මග පෙන්වීම ගුරුවරුන් විසින් ළමයින්ට සලසන බව සහතික කළ යුතු' බව සඳහන් වෙයි.

මානව හිමිකම් පැත්තෙක් 'බැලූ බැල්මට මෙතන ප්‍රශ්නයක් තිබෙන බව පේනවා'

මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ද විමසීමක් කළෙමු.

"බැලූ බැල්මට මෙතන ප්‍රශ්නයක් තියෙන බව පේනවා. මේ පාසල කුඩා පාසලක් නොවන නිසාත්, පානදුර ප්‍රදේශයේ ක්‍රිස්තියානි දරුවන් සැලකිය යුතු පිරිසක් සිටින නිසාත් ක්‍රිස්තු ධර්මය උගන්වන්න ගුරුවරයෙක් නෑ කියන එක නිදහසට කරුණක් විදිහට පිළිගන්න බැහැ. ක්‍රිස්තියානි දරුවෙකුට ඔහුගේ කැමැත්තක් නැතිව බුද්ධ ධර්මය විෂය හදාරලා විභාගයට පෙනී සිටින්න සිදුවෙන එක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්," ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ඉහළ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

"මෙතනදි මේ ගැටලුව විසඳන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි, පාසලේ අරමුදල්වලින් වැටුප් ගෙවන්න ගුරුවරයෙක් බඳවා ගන්න එක. ක්‍රීඩා පුහුණුකරුවන්ට ගෙවන ආකාරයට ඒ ගුරුවරුන්ටත් වැටුප් ගෙවන්න පුළුවන්. ඒ නිසා මේක විසඳගන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි."

"එහෙම නැත්නම් අර දේවස්ථානයෙන් යෝජනා කළ ආකාරයට පල්ලිය හරහා දරුවාට ක්‍රිස්තු ධර්මය ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ නිසා දරුවෙකුට තමන් කැමති ආගම ඉගෙන ගන්න අවස්ථාව අහිමි කරන්න හැකියාවක් නෑ."

'ප්‍රශ්නය හඳුනගෙන තිබෙනවා' - අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළේ, මෙවැනි ගැටලු පාසල් පද්ධතිය තුළ පවතින බව හඳුනාගෙන ඇති බව ය.

"අපට දැනගන්න ලැබිල තියෙනවා මේ වගේ ප්‍රශ්න ගැන. ගොඩක් වෙලාවට සමහර විෂයයන් උගන්වන්න ගුරුවරු අඩු යි. ඒ නිසා ඒ විෂයන් ඉගෙන ගන්න දරුවන්ට අවස්ථාව අහිමි වෙන්න පුළුවන්. හැබැයි අපි අලුතින් ගුරුවරුන් බඳවා ගන්න පියවර අරන් තියෙනවා. ඒ බඳවා ගැනීම්වලදී පුරප්පාඩු තියෙන විෂයන්වලට අදාළ ගුරුවරුනුත් බඳවා ගන්නවා. ඒකෙන් පස්සෙ අපට පුළුවන් වෙයි මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න," නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

'අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රශ්නයට නිසි විසඳුම් දෙන්නෙ නෑ' - ජෝසෆ් ස්ටාලින්

තමන් කැමති ආගමක් ඉගෙන ගැනීම සහ එම විෂයට විභාගයකදී පෙනී සිටීම මූලික අයිතිවාසිකමක් බවත්, ඊට අවස්ථාව සැලසීම බලධාරීන්ගේ වගකීමක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මෙම ගැටලුව දිවයින පුරා පාසල් රැසක පවතින බව ය.

"අලුතින් ගුරුවරු දහස් ගණනක් බඳවා ගන්නවා කිව්වාට හරි අධ්‍යයනයක් කරලා නෙවෙයි ඔය බඳවා ගැනීම් කරන්නෙ. බඳවා ගන්න කලින් අධ්‍යයනයක් කරන්න ඕනෙ මොන විෂයන්ට ද ගුරුවරු හිඟ කියලා. එහෙම සොයා බැලීමක් නොකර කොයිතරම් ගුරුවරු බඳවා ගත්තත් වැඩක් වෙන්නෙ නෑ. අධ්‍යාපන අමාත්‍යංශයට මේ ගැටලුවට නිසි විසඳුමක් තියෙන බවක් පේන්නේ නෑ."

'විභාග කොමසාරිස් ජනරාල්වරියගේ අදහස'

පාසල හරහා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉල්ලුම් කරන දරුවන්ට ආගම විෂය වෙනුවෙන් පමණක් පෞද්ගලිකව අයැදුම් කිරීමේ අවස්ථාවක් හිමි නොවන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ බීබීසී සිංහල සේවයට පැවසීය.

"මේ ප්‍රශ්නය විසඳා ගන්න වෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශය හරහා යි. එහෙම නැත්නම් පාසලේ බලධාරීන් හරහා මේකට විසඳුමක් ගන්න වෙනවා."