ඇමෙරිකානු ජනාධිපතිවරණය 2024: ට්‍රම්ප් ජයගතහොත් එය ලෝකයට බලපාන්නේ කෙසේ ද?

    • Author, ප්‍රනාන්දු ඩුආර්ටේ
    • Role, බීබීසී ලෝක සේවය

නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් ජනාධිපති ධූරයට පත්වනු ඇතැයි මත විමසුම්වලින් අනාවැකි පළ වෙයි. එහෙත්, එසේ පැවසීමට තවමත් කල් වැඩි ය.

කවුරුන් ජයග්‍රහණය කළ ද, ඇමෙරිකානු දේශ සීමාවලින් ඔබ්බෙහි වෙසෙන මිලියන ගණනක් ජීවිතවලට එල්ල වී ඇති බලපෑම හේතුවෙන් එම ප්‍රතිඵලය ලෝකය පුරා ප්‍රතිරාව නංවනු ඇත.

ට්‍රම්ප් - ජූලි මාසයේදී පැවැත්වෙන පක්ෂයේ ජාතික සම්මේලනයේදී රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තහවුරු කිරීමට නියමිතව ඇතත්, නිරන්තරයෙන් ඔහුගේ සැලසුම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්නේ නැත.

එහෙත්, ඔහුගේ ප්‍රතිපත්ති ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩ්න්ගේ ප්‍රතිපත්තිවලින් බැහැර වන බොහෝ ක්ෂේත්‍ර ඇති බව පැහැදිලි ය. මේ ඒවායින් කිහිපයකි.

ට්‍රම්ප් යුක්‍රේනයට අඛණ්ඩව සහය දෙයි ද?

2022 වසරේදී රුසියානු පූර්ණ ආක්‍රමණයෙන් පසු යුක්රේනයට ගලා ආ ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ඇමෙරිකානු මිලිටරි ආධාර ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් දිගු කලක් තිස්සේ විවේචන එල්ල කරයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපති ධුරයේ සිටියදී ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළ ට්‍රම්ප්, ජනාධිපති ධූරයට තේරී පත් වුවහොත් "පැය 24ක් ඇතුළත" යුද්ධය අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇත. එය කරන්නේ කෙසේ දැයි ඔහු කීවේ නැත, එහෙත්, මෙම ප්‍රකාශය, රුසියාවට භූමිය පවරා දෙන ලෙස යුක්රේනයට බලපෑම් කරනු ඇතැයි යන කනස්සල්ලට හේතු වී තිබේ.

යුක්‍රේනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 60ක යුද්ධ ආධාර සැපයීම ඇතුළත් පනතක් ඔහුගේ රිපබ්ලිකන් ආධාරකරුවන් විසින් මාස ගණනාවක් ඇමෙරිකානු කොංග්‍රසය තුළ නතර කර තිබිණි. එහෙත්, අවසානයේ අප්‍රේල් මාසයේදී එය සම්මත වූ විට ඔහු කිසිවක් පැවසුවේ නැත.

කෙසේ වෙතත්, ඔහුගේ මිත්‍රයෙකු වන හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන්, මාර්තු මාසයේදී හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයා බැලීමට ෆ්ලොරීඩාවේ කළ සංචාරයකින් පසු පැවසුවේ, ට්‍රම්ප් ඡන්දයෙන් ජය ගතහොත් යුක්රේනයට "සතයක්වත් නොදෙන" බව ය.

ඔර්බන්ගේ ප්‍රකාශය පිළිබඳව විමසූ විට ට්‍රම්ප් ටයිම් සඟරාවට පැවසුවේ, "යුරෝපය සමාන දායකත්වයක් දීම ආරම්භ කළහොත් මිස කිසිවක් නොදෙන," බව ය.

තමන් "යුක්‍රේනයට උපකාර කිරීමට උත්සහ කළ ද", යුරෝපය "ඔවුන්ගේ සාධාරණ කොටස නොගෙවූ" බව ඔහු ප්‍රකාශ කළේ ය.

යුද්ධ ආධාර කපා හැරීම රිපබ්ලිකන් ඡන්දදායකයින්ගේ කැමැත්ත සමග ගැලපෙයි. Pew පර්යේෂණ මධ්‍යස්ථානය විසින් මැයි 8 වන දින ප්‍රකාශයට පත් කරන ලද මත විමසුමකදී, සමීක්ෂණයට ලක් වූ රිපබ්ලිකන් ඡන්දදායකයින්ගෙන් 49% ක් ප්‍රකාශ කළේ, ඇමෙරිකාව, යුක්‍රේනය සඳහා පමණට වඩා වියදම් කරන බව ය. ඊට සාපේක්ෂව ඩිමොක්‍රටික් ඡන්දදායකයින් අතරින් එම මතය දරන්නේ, 17%කි.

ලන්ඩන්හි රෝයල් හොලොවේ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා විශේෂඥයෙකු වන මිෂෙල් බෙන්ට්ලි පවසන්නේ, ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව අනුව පුටින් "දැන් ධෛර්යවත් විය හැකි" බැවින් ට්‍රම්ප්ගේ ප්‍රකාශ දැනටමත් බලපෑමක් ඇති කර තිබිය හැකි බව ය.

ට්‍රම්ප් ඇමෙරිකාව නේටෝ සංවිධානයෙන් ඉවත් කරයි ද?

ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු රටවල් 32කින් සමන්විත මිලිටරි සන්ධානයක් වන උතුරු අත්ලන්තික් ගිවිසුම් සංවිධානය (Nato) ට්‍රම්ප්ගේ වෛරයට පාත්‍ර වූ ආයතනයකි.

ජනාධිපතිවරයා වශයෙන්, ඔහු නිරන්තරයෙන් අනතුරු ඇඟවූයේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 2%ක් ආරක්‍ෂාව සඳහා වියදම් කිරීමට ඔවුන් එකඟ වූ ඉලක්කය සපුරා ගැනීමට අනෙකුත් සාමාජිකයන් අපොහොසත් වුවහොත් ඇමෙරිකාව ඉන් ඉවත් වන බවට ය.

නේටෝ රෙගුලාසි යටතේ සාමාජික රටකට එල්ල වන ඕනෑ ම ප්‍රහාරයක් එම සංවිධානයේ සියලු ම සාමාජික රටවලට එල්ල කරන ප්‍රහාරයක් ලෙස සැලකේ.

එහෙත්, මේ වසරේ පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමන් "ගෙවීම් නොකරන" රටක් ආරක්ෂා නොකරන බවත්, එවැනි රටවල් සම්බන්ධයෙන් "ඔවුන්ට අවශ්‍ය ඕනෑ ම මගුලක් (hell)" කරන්නැයි රුසියාව දිරිමත් කරන බවත් ය.

ඔහුගේ ප්‍රචාරක වෙබ් අඩවියෙහි දැක්වෙන්නේ, නේටෝ සංවිධානයේ අරමුණ සහ මෙහෙවර "මූලික වශයෙන් නැවත අගැයීම" සිය ඉලක්කය වන බව ය.

ඔහු ඇමෙරිකාව, නේටෝ සංවිධානයෙන් ඉවත් කර ගනීවි ද යන්න පිළිබඳව මතභේදයක් පවතී‍.

එහෙත්, ලන්ඩනයේ පීහිටි ආරක්ෂක බුද්ධි ආයතනයක් වන රෝයල් යුනයිටඩ් සර්විසස් ඉන්ස්ටිටියුට්හි එඩ් ආර්නල්ඩ් පවසන්නේ, නේටෝ සංවිධානයෙන් ඉවත් නොවී, යුරෝපයේ සිටින ඇමෙරිකානු හමුදා සාමාජිකයින් සංඛ්‍යාව අඩු කිරීමෙන් හෝ රුසියාව නේටෝ සාමාජික රටක් ආක්‍රමණය කළහොත් ඇමෙරිකාව ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් කොන්දේසි දැමීමෙන් එම සංවිධානයට "තවමත් බලපෑමක් කළ හැකි" බව ය.

ට්‍රම්ප්ගේ පිටුවහල් කිරීමේ පොරොන්දුව

ට්‍රම්ප්ගේ ජනාධිපති ධූරය ආක්‍රමණශීලී සංක්‍රමණ ප්‍රතිපත්තිවලින් සමන්විත වූ අතර, ඔහු නැවත ධවල මන්දිරයට පැමිණියහොත් තවදුරටත් එය ඉදිරියට ගෙන යාමට ඔහු සපථ කර ඇත.

ඔහු පවසා ඇත්තේ, පළමු දිනයේදී ම ඔහු "ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම දේශීය පිටුවහල් කිරීමේ මෙහෙයුම ආරම්භ කරන," බව ය.

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන්ගේ දරුවන් සඳහා උපතින් හිමි පුරවැසිභාවය අවසන් කිරීමට සහ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කිරීමට ද රිපබ්ලිකන් පක්ෂය ප්‍රතිඥා දී තිබේ.

පසුගිය වසරේ ඔහු යෝජනා කළේ, මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් කිහිපයක පුද්ගලයින්ට ඔහුගේ පෙර පැවති අතිශය මතභේදාත්මක සංචාරක තහනම පුළුල් කරන බව ය.

"දශක ගණනාවක් තිස්සේ ඇමෙරිකාවේ ජීවත් වූ අනවසර සංක්‍රමණිකයන් මිලියන ගණනක් පිටුවහල් කිරීමට උත්සහ කිරීමෙන් ඔබ්බට යමින් ට්‍රම්ප්, නීත්‍යනුකූල සංක්‍රමණ අඩු කිරීමට ද උත්සහ කරනවා," මේ වන විට වොෂින්ටන්හි පිහිටි සංක්‍රමණ ප්‍රතිපත්ති ආයතනයේ විශේෂඥයෙකු වන ඇමෙරිකාවේ ආගමන සහ මිශ්‍ර ජාතීන් පිළිබඳ සේවාවේ (මේ වන විට ක්‍රියාත්මක නොවේ) හිටපු කොමසාරිස්වරිය වූ ඩොරිස් මෙයිස්නර් පවසයි.

ට්‍රම්ප්ගේ වෙබ් අඩවියෙහි සඳහන් කර ඇති පරිදි, ඔහු ජනාධිපති ධූරය දරද්දී ඇමෙරිකානු සරණාගතයින් නැවත පදිංචි කිරීමේ වැඩසටහන අත්හිටවූ අතර ඔහු එය නැවත කිරීමට උත්සහ කරන බව ඇය පවසයි.

සංචාරක තහනම වැනි තීරණ සම්බන්ධයෙන් අධිකරණය මැදිහත් වූ විට, ඔහුගේ පළමු ධුර කාලය තුළ සිදු කළ ආකාරයට, හිටපු ජනාධිපතිවරයා ඔහුගේ සැලසුම්වලට එරෙහි නීතිමය බාධකවලට එරෙහිව ක්‍රියා කරනු ඇතැයි මෙයිස්නර් විශ්වාස කරයි.

එසේ ම, ඔහුගේ පිටුවහල් කිරීමේ සැලැස්ම "ෆෙඩ්රල් රජයට සම්පත් නොමැති හෙයින්, ට්‍රම්ප් පොරොන්දු වන සංඛ්‍යා දත්තවලට ආසන්න සංඛ්‍යාවක් ඕනෑ ම තැනක රඳවා තබා ගැනීම සහ ඉවත් කිරීම යථාර්ථයක් කර ගැනීමට දිගු කලක් ගත වේවි,” ඇය තවදුරටත් පැවසුවා ය.

සංක්‍රමණ පිළිබඳව වඩාත් "මානුෂික" ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවට ජනාධිපති බයිඩ්න් පොරොන්දු වූ අතර ට්‍රම්ප් යුගයේ දේශසීමා ප්‍රතිපත්ති කිහිපයක් අත්හිටුවා හෝ අවලංගු කර තිබේ. එහෙත්, ඔහුට ක්‍රියාත්මක වීමට සියුම් තුලිතතාවක් ඉතිරි කරමින්, වම සහ දකුණ යන දෙඅංශයේ ම ඡන්දදායකයින් සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යා ගැන කනස්සල්ලට පත්ව සිටිති.

ජූනි මාසයේදී, සරණාගතයින්ගේ ඉල්ලීම් ක්‍රියාවට නොනගා නීතිවිරෝධී ලෙස ඇමෙරිකාවට ඇතුළු වන සංක්‍රමණිකයන් කඩිනමින් ඉවත් කිරීමට නිලධාරීන්ට අවසර දෙමින් ඔහු බරපතළ නියෝගයක් නිකුත් කළේ ය. සති දෙකකට පසුව, ඔහු ඇමෙරිකානු පුරවැසියන්ගේ ලේඛනගත නොකළ කලත්‍රයන් සිය දහස් ගණනක් පිටුවහල් කිරීමෙන් වැළකීමේ ප්‍රතිපත්තියක් එළිදැක්වී ය.

ට්‍රම්ප් තවදුරටත් ඊශ්‍රායලයට සහය දෙයි ද?

ජනාධිපති ධූරය දරන සමයේ, ට්‍රම්ප් ඊශ්‍රායලයේ සහ එරට දක්ෂිණාංශික රජයේ වාචික ආධාරකරුවෙකු විය.

ඔහු දශක ගණනාවක් පැවති ඇමෙරිකානු නිල ප්‍රතිපත්තිය අවලංගු කරමින් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කළ අතර, ඇමෙරිකානු තානාපති කාර්යාලය ටෙල් අවිව් සිට ජෙරුසලමට ගෙන ගියේ ය.

බයිඩ්න් විසින් අවලංගු කරනු නොලැබූ මෙම පියවර දෙක ම පලස්තීනුවන් දුටුවේ, ජෙරුසලමේ තත්ත්වය පිළිබඳ අතිශය මතභේදකාරී ප්‍රශ්නයේ පැත්ත ගැනීමක් ලෙස ය.

බටහිර ඉවුරේ යුදෙව් ජනාවාසවලට ට්‍රම්ප්ගේ රජයේ සහය ලැබිණි. ඊශ්‍රායලය එකඟ නොවුණ ද, ජාත්‍යන්තර ප්‍රජාවේ අතිමහත් බහුතරය ජාත්‍යන්තර නීතිය යටතේ එය නීති විරෝධී ලෙස සලකයි.

ඔහුගේ පාලනය ඊශ්‍රායලය සහ අරාබි ලීගයට අයත් බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සුඩානය සහ මොරොක්කෝව යන රටවල් හතර අතර සබඳතා වර්ධනය කර ගැනීමේ ගිවිසුම් සඳහා ද මැදිහත් විය.

කෙසේ වෙතත්, 2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසු, ට්‍රම්ප් ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියෝග කරමින් සිටින අතරතුර ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා, බයිඩ්න්ට සුබ පැතීමට ඇමතූ විට, ඔහු බෙන්ජමින් නෙතන්යාහු කෙරෙහි වෛරයක් ඇති කර ගත් බව සමහරු සලකති.

ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසුව ට්‍රම්ප් කියා සිටියේ, නේතන්යාහු හමාස් ප්‍රහාරයකට මුහුණ දීම සඳහා "සූදානම්ව සිට නැති" බවත්, ලෙබනනයේ සටන්කාමී ඉස්ලාමීය කණ්ඩායම වන හිස්බුල්ලා සංවිධානය "බුද්ධිමත්" බවත් ය. එය ඊශ්‍රායලයට සහය දක්වන රිපබ්ලිකානු ආධාරකරුවන් අතර කෝපයට හේතු විය.

ඔහු ඊශ්‍රායලයට සහයෝගය දැක්වීමේ ඉතිහාසය අඛණ්ඩව අවධාරණය කරයි. එහෙත්, දැන් පවසන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව "ඔවුන් ආරම්භ කළ දේ අවසන් කළ යුතු" නමුත්, ඉන් "මහජන සබඳතා යුද්ධය පරාජය වන" හෙයින් "ඉක්මනින් එය අවසන් කළ යුතු" බව ය.

ඔහු ටයිම් සඟරාවට පැවසුවේ, ඉරාන-ඊශ්‍රායල් යුද්ධයකදී ඔහු "ඊශ්‍රායලය ආරක්ෂා කරන" නමුත් ඉරානය සමග ගනුදෙනු කිරීමේ ඔහුගේ සැලසුම් පිළිබඳව වැඩි විස්තර නොදුන් බව ය. ජනාධිපතිවරයා ලෙස ඔහු ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර, සම්බාධක තර කර ඉරානයේ බලවත් ම හමුදාපති කාසීම් සොලෙයිමානි මරා දැමීමේ ප්‍රහාරයකට අවසර දුන්නේ ය.

ට්‍රම්ප් චීනයට එල්ල කරන පීඩනය වැඩි කරයි ද?

ජනාධිපති ධූරය දරන සමයේ ට්‍රම්ප් චීනය සමග කටුක වෙළෙඳ යුද්ධයක් අවුළුවාලී ය. ඔහු නැවත පත්වුවහොත් චීනයට එරෙහිව 60%කට අධික බදු පැනවීමට ඔහු යෝජනා කර තිබේ.

පසුගිය වසරේ ඔහු බලශක්ති සහ විදුලි සංදේශ වැනි අත්‍යවශ්‍ය අංශවල ඇමෙරිකාවේ යටිතල පහසුකම්වල "අනාගතයේ සියලු චීන මිල දී ගැනීම් නැවැත්වීම" සඳහා "ආක්‍රමණශීලී නව සීමා කිරීම්" ගැන ද කතා කළේ ය.

දකුණු චීන මුහුදේ සහ තායිවානය ආශ්‍රිතව ඉහළ යන උණුසුම් තත්ත්වය සමග, ඔහුට හිතවත් ඇතැමුන්ට අවශ්‍ය වී ඇත්තේ, ඇමෙරිකාවේ ආරක්ෂක ප්‍රතිපත්ති චීනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනු දැකීමට ය.

ට්‍රම්ප් පාලන සමයේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උපදේශකයෙකු වූ එල්බ්‍රිජ් කොල්බි, රිපබ්ලිකන් නිලයන් තුළ ආරක්ෂාව පිළිබඳ බලගතු හඬක් බවට පත්ව සිටි අතර, ඉදිරි ට්‍රම්ප් පාලනයක් යටතේ තනතුරක් දරනු ඇතැයි ඉඟි කර ඇත.

මෙම කොන්සර්වේටිව් ප්‍රාඥයා විදේශ රටවල් සම්බන්ධන ප්‍රධාන ප්‍රමුඛතාව චීනයට දිය යුතු බව කියන රිපබ්ලිකානුවන් කණ්ඩායමකට අයත් ය.

"අපි හුදෙක් යුක්රේනයට පිටුපෑ යුතු නැහැ, ඒත්, චීනය රුසියාවට වඩා ඇමෙරිකාවට විශාල තර්ජනයක් වන විට ඔවුන්ට සහය වීම ප්‍රමුඛතාවක් කර ගන්න හොඳ නෑ," යනුවෙන් කොල්බි පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, ට්‍රම්ප්ට "ඒ ගැන හොඳ අවබෝධයක් ඇතැයි" තමන් විශ්වාස කරන බව ය.

තායිවානයේ ස්වයං-පාලනයක් ක්‍රියාත්මක වන අතර, තමන්ගේ ම ව්‍යවස්ථාවකින් සහ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයින් සමග, චීනයෙන් වෙන් කොට සලකයි.

එහෙත්, චීනය එය දකින්නේ, සිය පාලනය යටතේ පවතින වෙන් වූ පළාතක් ලෙස ය‍. එමෙන් ම එම දිවයින අල්ලා ගැනීමට බලය යෙදවීම බැහැර කර නැත.

චීනය, තායිවානය ආක්‍රමණය කළහොත් ඊට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඇමෙරිකාව හිතාමතා ම අපැහැදිලි වී තත්ත්වයකට පත්ව සිටී. එහෙත්, ඇමෙරිකාව එය ආරක්ෂා කරන බව බයිඩ්න් ඇමෙරිකානු සෙසු නායකයින්ට වඩා පැහැදිලිව ම ප්‍රකාශ කර ඇත.

ට්‍රම්ප් තමා කරන්නේ කුමක්දැයි පැවසීම ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත්, ඔහු 2016 වසරේදී ඔහුගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව, දශක ගණනාවක් පැරණි රාජ්‍යතාන්ත්‍රික සබඳතා නොමැති ඇමෙරිකානු ප්‍රතිපත්තිය බිඳ දමා තායිවානයේ ජනාධිපතිවරයාගෙන් සුබපැතීමේ දුරකතන ඇමතුමක් පිළිගත්තේ ය. චීනයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය.

පරිසරයට කුමක් වෙයි ද?

ජනාධිපතිවරයා වශයෙන්, ට්‍රම්ප් 2015 වසරේ දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කර ගත්තේ ය. බයිඩ්න් විසින් එම තීරණය ආපසු හැරවූ අතර, ට්‍රම්ප්ගේ ප්‍රචාරක වෙබ් අඩවිය පවසන්නේ, ඔහු යළිත් එම සම්මුතියෙන් ඉවත් වන බව ය.

ඔහු ඉන්ධන සඳහා "drill, baby, drill" යනුවෙන් දිවුරුම් දෙමින්, ලාභදායී බලශක්තිය පොරොන්දු වේ.

ඔහුගේ වෙබ් අඩවිය පවසන්නේ, ඔහු පරිසරවේදීන්ගේ "නිෂ්ඵල නඩු පැවරීම්" නතර කරන බවත්, සුළං බලය සඳහා සහනාධාර අවසන් කරන බවත්, ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු නිෂ්පාදකයින් මත බදු කපා හැරීම සහ බයිඩ්න් විසින් ගෙන එන ලද රථවාහන වායු විමෝචන රෙගුලාසි ඉවත් කරන බවත් ය.

පසුගිය වසර 30ක කාලය තුළ දේශගුණය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනෙකු මෙලෙස විරුද්ධ මත දරා නොමැති බව සැන් ඩියාගෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය ඩේවිඩ් ජී. වික්ටර් පවසයි.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ (IPCC) හිටපු ප්‍රධාන කතුවරයෙකු වන මහාචාර්ය වික්ටර් පවසන්නේ, ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් ඇමෙරිකානු රජයේ දේශගුණික ඉලක්ක සඳහා "ව්‍යසනයක්" වනු ඇති බව ය.

"ඔහු අපේ මිත්‍ර රටවල් අපෙන් ඈත් කරාවි... ඒ නිසා ලොකු භීතියක් තියෙනවා," ඔහු පවසයි.

බලපෑම්සහගත දේශගුණික විපර්යාස වෙබ් අඩවියක් වන Carbon Briefහි නියෝජ්‍ය කර්තෘ ආචාර්ය සයිමන් එවන්ස් පවසන්නේ, ට්‍රම්ප් නැවත ධවල මන්දිරයට පැමිණියහොත් ඇමෙරිකාව සිය ජාත්‍යන්තර දේශගුණික ප්‍රතිඥාවන් සපුරාලීමට "අසමත් වනු ඇති" බව ය.

ඔහු, 'ඇමෙරිකාව ජනාධිපති බයිඩ්න් යටතේ පවා ඇමෙරිකාවේ ඉලක්ක මග හැරෙනු ඇති නමුත් එය සුළු මට්ටමකින් සිදු වනු ඇති' බවට කරන ලද අධ්‍යයනයක සම කර්තෘවරයා ය.

ජනාධිපති බයිඩ්න් ඔහුගේ උද්ධමනය අඩු කිරීමේ පනත හරහා පිරිසිදු බලශක්ති සහ දේශගුණික මුලපිරීම් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 300 (£ 239bn) ආයෝජනය කර තිබේ. එහෙත්, ඇතැම් දේශගුණ ක්‍රියාකාරීන් ඇලස්කාවේ විලෝ තෙල් ව්‍යාපෘතිය ඇතුළු ඉන්ධන හා ගෑස් නිෂ්පාදනය ඉහළ නැංවීමට ඔහු ගෙන ඇති ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරති.

"මම හිතන්නේ බයිඩ්න් ඔහුට කරන්න පුළුවන් හැම දේ ම කරනවා," මහාචාර්ය වික්ටර් පවසයි.

"අපට නිසැකව ම ඉටු කරගත නොහැකි විමෝචනය කපා හැරීමට ඔහු නිර්භීත ප්‍රතිඥාවක් දී තිබෙනවා. ඒත් ඔහුගේ පරිපාලනය ඉතිහාසයේ අන් කිසිවෙකුට වඩා දේශගුණ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වැඩි යමක් කර ඇති බවට සැකයක් නැහැ."