'LGBTQ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්' ගැන නිකුත් කළ ලිපිය: වගඋත්තරකරුවන්ට නොතීසි යවන්නැයි නියෝග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා නිකුත් කර තිබෙන ලිපියක් බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීමට එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නොවැම්බර් 14 පෙත්සම්කාර පාර්ශවයට නියම කළේ ය.
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබිණි.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ඉදිරියේ කැඳවීය.
ඉකුත් මස මෙම මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
'වගඋත්තරකරුවන් දරන ප්‍රයත්නය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනියි'
නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන්නේ දැයි එහිදී සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ප්‍රශ්න කළේ ය.
ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බව ය.
එසේ නම්, වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කර ඔවුන් අධිකරණය හමුවේ කැදවීමෙන් අනතුරුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවයට නියම කළේ ය.
මෙහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ, මෙම සිද්ධියට අදාළව ලිපිය ඉවත් කරගෙන ඇති බවට රජය මගින් ප්‍රකාශ කර තිබෙන කරුණ ජනමාධ්‍ය මගින් වාර්තා කර තිබූ බව ය.
රජය එසේ ප්‍රකාශ කළ බවට ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණ ද මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින් අධිකරණය වෙතින් නියෝගයක් අපේක්ෂා කරන බව නීතිඥ කනිෂ්ක විතාරණ සඳහන් කළේ ය.
සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කර ගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වගඋත්තරකරුවන් දරන ප්‍රයත්නය සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි මෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ඔහු එහිදී චෝදනා කළේ ය.
ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා පෙබරවාරි මස 10 වන දා කැඳවන ලෙස නියෝග කළ විනිසුරුවරයා ඒ පිළිබඳ දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස නියෝග කළේ ය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් (Equal Ground) නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අය නම් කර තිබේ.
පෙත්සමෙන් ඉල්ලන්නේ කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වග උත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරනු ලැබ ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය.
එම ලිපිය තුළින් වගඋත්තරකාර සභාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා වූ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට එකඟතාව පළ කර තිබෙන බවට පෙත්සම්කරුවෝ චෝදනා කරති.
මෙම ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසුව මතු වූ මහජන විරෝධය මෙන් ම මහ නා හිමිවරුන් සහ කාදිනල් හිමිපාණන් විරෝධය පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව සඳහන් කළ බවත් පෙත්සම්කරුවෝ කියා සිටියහ.
ඊට අමතරව විදේශ අමාත්‍යවරයා ද එම ප්‍රකාශය ම සිදුකළ බවත් පෙත්සමේ සඳහන් කර ඇත.
ඒ අනුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කර අදාළ ලිපිය නිකුත් කර ඇති බවටත්, ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන් ම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ද උල්ලංඝනය කර ඇති බවටත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීයේ සභාපතිවරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
ඊට අමතරව, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වග උත්තරකාර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.
'LGBTQ ටුවරිස්ට්ලට ලංකාව ට්‍රැවල් කරන්න පුළුවන් ඩෙස්ටිනේෂන් එකක් කියන එක විතරයි අපි තහවුරු කරලා තියෙන්නේ'
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මගින් සමලිංගිකත්වය ප්‍රචාරණය නොවන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.
විදේශීය සමලිංගික ප්‍රජාව ඉලක්ක කර ගනිමින් LGBTQ ප්‍රවර්ධනයක් මෙරට තුළ සිදු කිරීමට සංචාරක මණ්ඩලය සූදානම් වන බවට සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහක් ඇතිව තිබිණි.
ඒ, සංචාරක මණ්ඩලය සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වෙත යොමු කළ ලිපියක් හේතුවෙනි.
මෙලෙස එල්ල වන විරෝධයට කාදිනල් මැල්කම් රංජිත් හිමියන් මෙන් ම විපක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් ද එක්ව සිටි අයුරු දැක ගැනීමට හැකි විය.














