ලන්ඩනයේ විරෝධතා ලාංකිකයින් ඇතුළු දකුණු ආසියානු ප්‍රජාවට බලපාන්නේ කෙසේ ද?

ඡායාරූප මූලාශ්‍රය, EPA / Shutterstock
- Author, නාඩියා සුලේමාන්
- Role, දකුණු ආසියානු කලාපීය ජනමාධ්‍ය කණ්ඩායම
ලන්ඩනයේ තවත් අන්ත දක්ෂිණාංශික රැස්වීමක් ලෙස ආරම්භ වූ විරෝධතාවක්, දශක ගණනාවකට පසු එක්සත් රාජධානිය දුටු විශාලතම සංක්‍රමණ විරෝධී පෙළපාළියක් දක්වා වර්ධනය විය.
2025 සැප්තැම්බර් 13 වන දින, අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු වන ටොමී රොබින්සන් විසින් සංවිධානය කරන ලද "Unite the Kingdom" පාගමන සඳහා 110,000කට අධික පිරිසක් මධ්‍යම ලන්ඩනයට පැමිණ සිටියහ. එක්සත් රාජධානියේ ධජය, එංගලන්තයේ ශාන්ත ජෝර්ජ් කුරුසය සහ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ධජ පවා රැගෙන පැමිණි විරෝධතාකරුවෝ පොලිසිය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වූ අතර ආරක්ෂාවට විශාල පීඩනයක් එල්ල කළහ.
මුල් අවස්ථාවේදී "නිදහස් භාෂණයේ උත්සවයක්" ලෙස හැඳින්වූ මෙම රැළිය ඉක්මනින් ජාතිවාදී කුමන්ත්‍රණ න්‍යායන් වෙත යොමු වූ අතර මුස්ලිම් විරෝධී වෛරී ප්‍රකාශවල වලින් අවසන් විය.
දැවැන්ත පොලිස් ආරක්ෂාවක් තිබියදීත්, ප්‍රචණ්ඩත්වයන් ඇති වූ අතර, නිලධාරීන් 25කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
සංක්‍රමණ නිසා මිනිසුන් අතර දැඩි මතභේද ඇති වන ආකාරය, විශේෂයෙන් රටට අයත් වන්නේ කවුරුන් ද, එහි කොටසක් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද සහ රටේ අනාගතය කෙබඳු විය යුතු ද යන්න පිළිබඳව මෙම සිදුවීම පැහැදිලිව පෙන්වා දුන්නේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Christopher Furlong/Getty Images
පසුගිය සති අන්තයේ ලන්ඩනයේ 110,000ක් ජනතාව පෙළපාලියකට ගියේ ඇයි?
සංක්‍රමණ පිළිබඳ කෝපයෙන් සහ රජය තවදුරටත් රටේ දේශසීමා පාලනය නොකරන බවට ඇති මතය නිසා ලන්ඩනයට විශාල ජනකායක් එක්රැස් විය.
නීතිවිරෝධී සංක්‍රමණ නතර කිරීමෙන් සහ සරණාගත නීති දැඩි කිරීමෙන් එක්සත් රාජධානියේ "පාලනය නැවත ලබා ගැනීමට" අවශ්‍ය බව බොහෝ විරෝධතාකරුවෝ පැවසූහ.
ක්‍රමයෙන් අතුරුදන් වෙමින් පවතින බව ඔවුන් විශ්වාස කළ බ්‍රිතාන්‍ය සංස්කෘතිය ආරක්ෂා කිරීමට තමන් පැමිණි බව තවත් සමහරු පැවසූහ. සංක්‍රමණවලට එරෙහිව හඬ නැගීම නිසා පුරවැසියන් නිහඬ කරන බවට බොහෝ දෙනෙක් වාද කළ නිසා, භාෂණයේ නිදහස නැවත ස්ථාපිත කිරීම සඳහා වන ඉල්ලීම් වර්ධනය විය.
අගමැති කියර් ස්ටාමර් ඉලක්ක කරගත් පුවරු අල්ලාගෙන සටන් පාඨ කියමින් ජනතාව විශාල දේශපාලන වෙනස්කම් ද ඉල්ලා සිටියහ.
රොබින්සන්ට අමතරව, එක්සත් ජනපද ප්‍රකෝටිපතියෙකු වන ඊලෝන් මස්ක් ද සහයෝගය ලබා දීම සඳහා වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ විය.

ඡායාරූප මූලාශ්‍රය, Mark Kerrison/In Pictures via Getty Images
මෙම විරෝධය එක්සත් රාජධානියේ දකුණු ආසියානු සංක්‍රමණික ප්‍රජාවට බලපාන්නේ කෙසේ ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2021 පැවති සංගණනයට අනුව, එක්සත් රාජධානියේ දකුණු ආසියානු ප්‍රජාව එම රටේ දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම වේ. එක්සත් රාජධානියේ දකුණු ආසියානු ප්‍රජාව තුළ ඉන්දියානුවන්, පකිස්ථාන ජාතිකයන් සහ බංග්ලාදේශ ජාතිකයන් වැඩි වශයෙන් සිටින අතර, සැලකිය යුතු සිංහල සහ නේපාල ජනගහනයක් සිටිති.
දැඩි දේශසීමා පාලනයන් සහ සරණාගත නීති කෙරෙහි මෙම විරෝධතා අවධානය යොමු කළ ද, ඒවා පරම්පරා ගණනාවක් තිස්සේ රට තුළ ජීවත් වූ ජනවාර්ගික ප්‍රජාවන්ට බලපායි.
විශේෂයෙන් මුස්ලිම් සහ සික් ප්‍රජාවන්ට එරෙහි වෛරී අපරාධ ඉහළ ගොස් තිබේ.
ඉස්ලාම් භීතිකාවක් මතුකිරීම නිරීක්ෂණය කරන කණ්ඩායමක් වන Tell Mama විසින් මෙම වසර මුලදී, නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්නුම් කළේ 2024දී මුස්ලිම් විරෝධී වෛරය වාර්තාගත මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති බව ය.
පසුගිය සතියේ, බටහිර මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශයේ තරුණ සික් කාන්තාවක් දූෂණය කිරීම පොලිසිය විසින් "වාර්ගිකත්වය මත පදනම්ව සිදුවූ ප්‍රහාරයක්" ලෙස සලකන බව ප්‍රකාශ කෙරිණි.
මෑත මාසවලදී, අන්ත දක්ෂිණාංශික සහ සංක්‍රමණික විරෝධී කණ්ඩායම් විරෝධතා කිහිපයක් පවත්වා ඇති අතර, එමගින් ප්‍රජාව තුළ බිය සහ අවිනිශ්චිතභාවය ඇති කර තිබේ.
සති අන්තයේ පැවති විරෝධතාවලදී, 'ගෙදර යනු' සහ 'සියලු නීතිවිරෝධී පුද්ගලයින් පිටුවහල් කරනු' යන පුවරු ලියා තිබීම, වැඩෙන සතුරුකම පිළිබඳ බිය තවත් වැඩි කළේ ය.
එක්සත් රාජධානියේ සංක්‍රමණ විරෝධී අදහස් ඉහළ යන්නේ ඇයි?
සංක්‍රමණිකයන් දිගු කලක් තිස්සේ එක්සත් රාජධානියේ ජන විකාශනය, සංස්කෘතිය සහ ආර්ථික අනන්‍යතාව හැඩගස්වා ඇත. මෑත කාලයේ, විශේෂයෙන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසුව, අන්ත දක්ෂිණාංශිකයින් විසින් මෙහෙයවනු ලබන සංක්‍රමණිකයන් කෙරෙහි ඇති අසහනය වර්ධනය වෙමින් පවතී.
රිෂි සුනක්ගේ රජය යටතේ ශුද්ධ සංක්‍රමණයේ වාර්තාගත වැඩිවීම මෙම කලකිරීමට තවත් හේතුවක් විය.
එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයට අනුව, ශුද්ධ සංක්‍රමණය හෙවත් බ්‍රිතාන්‍යයට නීත්‍යනුකූලව පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව සහ පිටව යන පුද්ගලයින් අතර වෙනස 2022 දී වාර්තාගත ලෙස 745,000ක් විය.
මෙම අගය බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පෙර දක්නට ලැබුණු මට්ටම්වලට වඩා තුන් ගුණයකින් වැඩි ය.
2025 මාර්තු මාසයෙන් අවසන් වූ වසර තුළ එක්සත් රාජධානියේ සරණාගතභාවය සඳහා පුද්ගලයින් 109,343 දෙනෙකු ඉල්ලුම් කර ඇති අතර, එය මෑත වසරවල ඉහළ ම සංඛ්‍යාවන්ගෙන් එකකි.
විශාලතම අයැදුම්කරුවන් කණ්ඩායම ඇල්බේනියාවෙන් පැමිණි අය වූ අතර, ඔවුන්ට පසුව ඇෆ්ගන්, පකිස්ථාන, ඉරාන සහ බංග්ලාදේශ ජාතිකයන් සිටියහ. ඒ අනුව දකුණු ආසියානුවන් ඉහළ ම අයැදුම්කරුවන්ගේ කණ්ඩායම් පහ අතරට එක් ව තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Rasid Necati Aslim/Anadolu via Getty Images
අසත්‍ය තොරතුරු මගින් සම්පත් බෙදීයාම සහ ආරක්ෂාව පිළිබඳ බිය පතුරුවා හැර ඇති අතර, සංක්‍රමණික විරෝධී සහ මුස්ලිම් විරෝධී ප්‍රචාර තවත් නරක අතට හැරෙමින් තිබේ.
ලන්ඩන් සහ බර්මින්හැම් වැනි විශාල මූල්‍ය මර්මස්ථානවල සිටින පුද්ගලයින්ගෙන් 40%කට ආසන්න පිරිසක් සංක්‍රමණිකයන් වන අතර, එමගින් රැකියා සහ සම්පත් බොහොමයක් ඔවුන් විසින් පැහැර ගන්නා බවට විශ්වාසයක් ඇති කර තිබේ.
රට 'ආක්‍රමණයකට ලක්ව ඇති' බවට සාක්ෂියක් ලෙස අන්ත දක්ෂිණාංශික නායකයෝ මෙම සිදුවීම් විස්තර කරති.
ඒ සමග ම, ආර්ථික හා දේශපාලන පීඩනය, ඉහළ ජීවන වියදම්, නිවාස හිඟය සහ දේශපාලන අස්ථාවරත්වය සංක්‍රමණිකයන් පහසු ඉලක්කයක් බවට පත් කර ඇත.
ලන්ඩනයේ වීදිවල සහ පෙළපාලිවල පින්තාරු කරන ලද එක්සත් රාජධානියේ ධජ වැනි ජාතිකවාදී සංකේත මෙම ආතතීන්ගේ පැහැදිලි සලකුණක් බවට පත්ව ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Vuk Valcic/SOPA Images/LightRocket via Getty Images
මෙය තවත් නරක අතට හැරිය හැකි ද?
සති අන්තයේ සිදුවීම්වලින් පෙනී යන්නේ බ්‍රිතාන්‍යය වඩ වඩාත් බෙදී ගොස් අස්ථාවර විය හැකි බව ය.
Stand Up To Racism සංවිධානය විසින් සංවිධානය කරන ලද ප්‍රති-විරෝධතාවට 5,000ක් පමණ පිරිසක් සහභාගී වූ අතර එය රොබින්සන්ගේ ජනකායට වඩා බෙහෙවින් කුඩා ප්‍රමාණයකි.
මෙම පරතරය, සංක්‍රමණික විරෝධී ව්‍යාපාර, ජාතිවාදී විරෝධී උත්සාහයන්ට වඩා ශක්තිමත්ව වැඩෙන ආකාරය ඉස්මතු කරයි.
ලන්ඩනය පුරා සිදුවීම් කිහිපයට මැදිව සිටි පොලිසිය, රැලියේ පරිමාණයෙන් තමන් පුදුමයට පත් වූ බව පැවසීය.
නිලධාරීන් 26 දෙනෙකු තුවාල ලබා, 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන, තවත් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බැවින්, පොලිසිය තවදුරටත් ගැටුම් සඳහා සූදානම් වෙමින් සිටිති.
අගෝස්තු මාසයේ පැවති ප්‍රාදේශීය විරෝධතා කිහිපයකින් පසුව, සරණාගතයන් රැඳී සිටින හෝටල් වසා දැමීමේ සැලසුම් කඩිනම් කිරීම සඳහා එක්සත් රාජධානියේ රජයට වැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවෙමින් පවතී.
සරණාගත හෝටල් වසා දැමුවහොත්, සම්බන්ධයක් නැති තවත් පුද්ගලයින්ට කුලී නිවාසවල එකට ජීවත් වීමට සිදුවනු ඇති අතර, එය ප්‍රාදේශීය ප්‍රජාවන් කලබලයට පත් කර නව විරෝධතාවලට තුඩු දිය හැකිය.
බ්‍රිතාන්‍යයේ සංක්‍රමණිකයන් දැන් මුහුණ දෙන්නේ මිනිසුන් ඔවුන්ට විවෘතව අකමැති දේශපාලන වාතාවරණයකට වන අභියෝගය වන අතර, මෙම ආකල්පය වඩ වඩාත් පිළිගැනෙමින් පවතී.














