ශ්‍රී ලංකාව ඇතුළු සාක් කලාපීය රටවල උරුම ගැන 'ලොවට කියන' සාක් උරුම සංසදය

    • Author, බීබීසී සිංහල

සාක් සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන සාක් කලාපයට අයත් රටවල කලාව, සංස්කෘතිය, ඓතිහාසික ස්ථාන, කෞතුකාගාර සහ සංරක්ෂණ වැඩසටන් ආදිය ප්‍රවර්ධනය කෙරෙන පළමු සාර්ක් උරුම සංසදය සැප්. 30 වන දා කොළඹ ඇරඹේ.

ඔක්. 2 වන දා දක්වා දින තුනක් පුරා පැවැත්වෙන මෙම සංසදය දකුණු ආසියාවේ සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම, ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වන සංධිස්ථානයක් වන අතර ම රටවල් අතර සංස්කෘතික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැඩසටහනක් ද වේ.

මේ සඳහා සහභාගිවන්නන් අතරට සාක් රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කෞතුකාගාර විශේෂඥයින්, සාක් මූලස්ථානයේ නියෝජිතයින්, යුනෙස්කෝ නියෝජිතයින් සහ උරුමයන් පිළිබඳව අධ්‍යයනය කරන විද්වතුන් ඇතුළත් වේ.

සාක් රටවල් හරහා බෞද්ධ උරුම ස්ථාන සම්බන්ධ කරන සංස්කෘතික මාර්ගයක් සඳහා දළ සැලැස්මක් සැකසීම, දකුණු ආසියාවේ දේශසීමා හරහා වැදගත් ආගමික හා සංස්කෘතික ස්ථාන නැරඹීමට ජනතාවට පහසු කිරීම සඳහා රාමුවක් සැකසීම සහ සාර්ක් කලාපීය උරුම ලැයිස්තුවකට ඇතුළත් කළ යුතු සංස්කෘතික හෝ ඓතිහාසික ස්ථාන පිළිබඳ යෝජනා ලබා ගැනීම මෙහිදී සිදුවන ප්‍රධාන කාර්යයන් ලෙස දැක්විය හැකි ය.

ඒ අනුව, බීබීසී සිංහල මේ පිළිබඳව සොයා බැලීමක් කළේ ය.

දකුණු ආසියාවට එය වැදගත් වන්නේ ඇයි?

ලෝක උරුම පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය ගාමිණී විජේසූරිය බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසුවේ, සාක් උරුම සංසදය මගින් ඉටු කෙරෙන කාර්යය, "අප කලාපයේ ඇති උරුම පිළිබඳව අපට මෙන් ම ලෝකයට තවත් දැනුවත් වීමට අවශ්‍ය," මග සලසනු ඇති බව ය.

ආචාර්ය ගාමිණී විජේසූරිය ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කළ අතර හෙට (සැප්තැම්බර් 30 වැනිදා) කොළඹ ජාතික කෞතුකාගාරයේදී පැවැත්වෙන සමාරම්භක සැසියේ ප්‍රධාන දේශකයා ලෙස ද කටයුතු කරනු ඇත.

දකුණු ආසියාවේ ස්පර්ශීය සංස්කෘතික භූ දර්ශනයට ලොව වඩා ත් වටිනා උරුමයන් කිහිපයක් ම ඇතුළත් වන අතර ඒවා පුරාණ බෞද්ධ ස්ථානවල සිට ඓතිහාසික හින්දු, ඉස්ලාමීය, ක්‍රිස්තියානි හා අනෙකුත් පූජනීය ස්ථාන, මෝගල් උද්‍යාන සහ පුරාණ ජලාශ ආදිය දක්වා විහිද යයි.

එහෙත් උරුම කළමනාකරණය, සොරකම් කරන ලද කෞතුක වස්තු ප්‍රතිස්ථාපනය සහ තිරසර සංස්කෘතික සංචාරක ව්‍යාපාරය යන අංශ සම්බන්ධයෙන් ගත් කළ කලාපය අඛණ්ඩ අභියෝගවලට මුහුණ දෙන බව සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය පෙන්වා දෙයි.

ආචාර්ය ගාමිණී විජේසූරිය පෙන්වා දෙන්නේ, සාක් කලාපයට අවේණික මෙම ස්පර්ශීය උරුම එක් තැනකට ගෙන ලැයිස්තුගත කිරීම හරහා එය කලාපයේ රටවලට අභිමානයක් ගෙන දෙන බව ත් ගැටලුවක් බවට පත්ව ඇති සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට මෙවලමක් වනු ඇති බව ත් ය.

"මේකේ වැදගත්කම අපේ කලාපයේ තියෙන උරුමය පිළිබඳව අපිට ම දැනගන්න සහ අනෙක් ලෝකයට දැන ගන්න හැකි වීම. බුද්ධාගම සහ හින්දු ආගම බිහි වුණු කලාපය නේ මේක. ඉතින් ඊට සම්බන්ධ විවිධ ස්මාරක හැදිලා තියෙනවා. විවිධ ස්ථාන තියෙනවා. සමහර ඒවා තාමත් පාවිච්චි වෙන පිල්ග්‍රිමේජ් සෙන්ටර්ස් වෙලා තියෙනවා.

එතකොට ඒවා මේජර් ටුවරිස් ඇට්‍රෑක්ෂන්ස් වෙලා තියෙනවා. ටජ් මහල් වගේ දේවල්. ඉතින් අපේ ම කලාපයට ආවේණික දේවල් ලැයිස්තුවක් හැදුවා ම ඒක ඒ රටවල්වල අභිමානයක්, ඒ වගේ ම, ටුවරිසම් වගේ ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කරන්න මේක මෙවලමක් වෙනවා," ඔහු පැවසීය.

මෙම ගැටලු අමන්ත්‍රණය කිරීම සඳහා අතීත සමුළුවලදී සාර්ක් නායකයින් ලබා දෙන ලද ප්‍රතිඥා අනුව මෙවර සංසදයේදී තවත් සුවිශේෂී කාර්යයන් කිහිපයක් සිදු කෙරෙනු ඇත.

ඒවා අතර, සාමාජික රටවල් ද සම්බන්ධ කරමින් පළමු සාක් බෞද්ධ සංස්කෘතික මංපෙත නිර්මාණය කිරීම, දකුණු ආසියාවේ ප්‍රධාන ආගමික හා ඓතිහාසික ස්ථාන වෙත වන්දනාකරුවන්ට සහ සංචාරකයින්ට ප්‍රවේශ වීමට පහසුකම් සැලසීම සඳහා රාමුවක් ගොඩනැගීම, හවුල් උරුමයන් ආරක්ෂා කිරීම සඳහා සාමාජික රටවල් සමග සහයෝගීතාවට සහය වීම සහ 2014 දිල්ලි යෝජනාවේ සහ 18 වන සාර්ක් සමුළු ප්‍රකාශනයේ සංස්කෘතික සහයෝගීතා දැක්ම ඉදිරියට ගෙන යාම ආදිය උපුටා දැක්විය හැකි වේ.

සාක් උරුම ලැයිස්තුවට ඇතුළත් වන්නේ මොනවා ද?

ආචාර්ය ගාමිණී විජේසූරිය සඳහන් කළේ, මෙම ලැයිස්තුවට ඇතුළත් කෙරෙන ස්ථාන හෝ ස්මාරක ආදිය පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති අතර ඊට අවශ්‍ය මූලික කටයුතු සාක් උරුම සංසදයේදී සිදුවනු ඇති බව ය.

"ඇත්ත වශයෙන් ම ඒක තාම කතා කරලා නැහැ. මේකේ අරමුණ කොහොම ද ඒක කරන්නේ, මේකේ නිර්ණායක මොනවා ද කියන එක සාකච්ඡා කරන එක," ඔහු පැහැදිලි කළේ ය.

"උදාහරණයක් වශයෙන් අපිට කියන්න පුළුවන් සාක් කලාපයේ ම සම්භවය වුණු, දාගැබ කියන එක. දාගැබ කියන එක මේ කලාපයෙන් බිහිවුණු, මේ කලාපයට ආවේණික, නමුත් කලාපයේ හැම රටක ම ව්‍යාප්ත වෙලා තියෙන ස්මාරකයක්.

ඒ වගේ ම තමයි හින්දු කෝවිල් කියන ඒවා. ඒවත් ඒ වගේ ම සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පය යොදාගෙන නිර්මාණය වුණු ඒවා," සාක් උරුම ලැයිස්තුවට ඇතුළත් විය හැකි ස්මාරක පිළිබඳව පැහැදිලි කරමින් ආචාර්වරයා පැවසීය.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය (SAARC) යනු කුමක් ද?

රටවල් 8 දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය (SAARC) 1985 පිහිටුවන අතර ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව එහි සාමාජික රටවල් වේ.

2007 අප්‍රේල් මස නව දිල්ලියේදී පවත්වන ලද 14 වන සාක් සමුළුවේ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීමෙන් පසු අෆ්ගනිස්ථානය එහි 8 වන සාමාජිකයා බවට පත් විය.

සාක් සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටා ඇති අතර එය ද දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ මූලික අරමුණු වන දකුණු ආසියානු රටවල් අතර ආර්ථික වර්ධනය, සමාජ ප්‍රගතිය, සංස්කෘතික සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම යන අරමුණු මූලික කරගෙන කටයුතු කරයි.

සාක් උරුම යනු කුමක් ද?

සාර්ක් උරුම යනු, සාර්ක් සාමාජික රටවල් පුරා ඇති ස්පර්ශ්‍ය සහ අස්පෘශ්‍ය යන සංස්කෘතික උරුමයන් වේ.

"උරුමය කියන එක පුළුල් වචනයක්. ස්මාරක වෙන්න පුළුවන්, ස්ථාන වෙන්න පුළුවන්. එහම නැත්නම් අපේ වැව් වගේ දේවල් වෙන්න පුළුවන්. අපේ කෘෂිකාර්මික... ඒකෙ සීමාවක් නැහැ ඇත්ත වශයෙන් ම," යනුවෙන් සාක් උරුම පිළිබඳව පැහැදිලි කරමින් ආචාර්ය ගාමිණී විජේසූරිය බීබීසී සිංහල වෙත පැවසීය.

එම උරුම සංරක්ෂණය, ප්‍රවර්ධනය සහ ඒවා සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටි සාක් සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු කරයි.

ඒ සඳහා ඔවුන් විසින් උරුම කළමනාකරණය, පුරාවිද්‍යාව, සංරක්ෂණය, කෞතුකාගාර සංවර්ධනය ආදිය කෙරෙහි අවධානය යොමු කරන වැඩමුළු, සම්මන්ත්‍රණ සහ සංසද සංවිධානය කරනු ලබයි.