ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බුදුන් උපන් ස්ථානය 'විනාශවීමේ තර්ජනයට ලක්වූ' යුනෙස්කෝ ලැයිස්තුවට ඇතුළත් වීමේ අවදානමක
- Author, සංජය ඩකාල්
- Role, බීබීසී නේපාලි, ලුම්බිණියේ සිට වාර්තා කරයි
නේපාලයේ ටෙරායි තැනිතලාවේ සුන්දරත්වයට මැදිව පිහිටා ඇති ලුම්බිණිය එනම්, බුදුන් උපන් ඓතිහාසික ස්ථානය,1997 වසරේ සිට යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස පැවතිණි. නමුත් දැන් එය විනාශ වීමේ අවදානමට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වීමේ අවදානමක පසුවේ.
මීට වසර 2,600කට පමණ පෙර බුදුන් වහන්සේ උපත ලැබූ බවට බෞද්ධයන් විශ්වාස කරන ස්ථානය බවට පෙන්වා දෙන මායා දේවි විහාරය මෙහි කේන්ද්‍රස්ථානය යි. කොරියාව සහ ප්‍රංශය ඇතුළු විවිධ රටවල බෞද්ධයන් විසින් ඉදිකරන ලද ආරාම 14ක් එය වටා පිහිටා ඇති අතර ම එය බුදු දහම ලොව පුරා කෙතරම් බලපෑමක් ඇති කර තිබේ ද යන්න පිළිබඳව ද සාක්ෂියකි.
"ලෝකයේ නන් දෙසින් මිනිසුන් මෙහි එන්නේ කෙටි මොහොතකට හරි හිත සැහැල්ලුවෙන් සතුටින් ඉන්න," එහි ඇති සිංගප්පූරු ආරාමයේ ඛෙන්පෝ ෆුර්පා ෂර්පා නමැති හිමිනමක් බීබීසී නේපාල සේවයට පැවසීය.
නමුත් ගිම්හාන කාලයේදී විහාරස්ථානය නැරඹීම අභියෝගාත්මක විය හැකි බව උන්වහන්සේ තවදුරටත් පවසති.
"කෙනෙකුට විනාඩි කිහිපයක්වත් විහාරස්ථානය ඇතුළේ රැඳෙන්න බැහැ, මොක ද ඇතුළේ රස්නය, ආද්‍රතාව වැඩි නිසා සහ හුස්ම ගන්න අමාරු යි."
ලුම්බිණිය විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළු කිරීම නිර්දේශ කිරීමට යුනෙස්කෝව පොළඹවන ලද එක් හේතුවක් වන්නේ විහාරය තුළ පවතින තත්ත්වය යි.
යුනෙස්කෝ සංවිධානය පවසන පරිදි වායු දූෂණය, වාණිජ සංවර්ධනය, කාර්මික ප්‍රදේශ සහ වැරදි කළමනාකරණය මෙම ලෝක උරුම අඩවියට ඇති ප්‍රධාන තර්ජන වේ.
නමුත් එක්සත් ජාතීන්ගේ සංස්කෘතික ආයතනය නේපාලයේ බලධාරීන්ට මෙම සුප්‍රසිද්ධ ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට වැඩි කාලයක් ලබා දීමට තීරණය කර ඇත. අවශ්‍යතා සපුරාලීමට ඔවුන්ට දැන් 2025 පෙබරවාරි 01 දක්වා කාලය තිබේ.
වැසි ජලය කාන්දු වන වහල, පරිසර දූෂණය සහ මැලවී යන පැළ
සෑම වසරක ම මෙම පුදබිමට මිලියනයක් පමණ නරඹන්නන් පැමිණෙන නමුත් බොහෝ අය පවසන්නේ අවට කර්මාන්තශාලාවලින් නිකුත් වන දූෂිත වාතය, ගොඩගැසී ඇති කසළවලින් හමන දුර්ගන්ධය සහ ජලයෙන් යටවී ඇති උද්‍යානයේ තිබෙන මළානික වී ඇති පැළ ආදිය නිසා තමන් කලකිරී සිටින බව ය.
"බලධාරීන් මෙහි පැමිණෙන සංචාරකයින්ට සිතියම් සහ තොරතුරු ලබා දෙන්න ඕනේ. කිසි ම තොරතුරක් නැතිව අපි ඔහේ එක තැනකින් තව තැනකට යනවා," ඉන්දියාවේ සිට පැමිණි සංචාරකයෙකු වන ප්‍රභාකර් රාඕ බීබීසීයට පැවසීය.
පවතින තත්ත්වය යහපත් විය යුතු බව පවසන්නේ, මෙහි පැමිණෙන සංචාරකයින් පමණක් නොවේ. එම ප්‍රදේශයේ කුලී රථ රියැදුරෙකු වන මනෝජ් චෞද්‍රි ද මේ පිළිබඳව කනස්සල්ල පළ කරයි.
"මේ වැරදි කළමනාකරණය ගැන මට තරහ යි. මේ බලන්න, මෙතන ගොඩගැහිලා තියෙන කුණු දිහා," ඔහු බීබීසීයට පැවසීය.
මෙම විහාර ස්ථානය වැසි ජලය කාන්දු වන වහලකින් සහ පොළොවකින් සමන්විත වන අතර ඒ හේතුවෙන් එහි ඇති පෞරාණික වටිනාකමක් ඇති ගඩොල් දිලීරවලින් වැසී ගොස් තිබේ. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පසුගිය වසරේ සංචාරයකදී රෝපණය කළ පැළය පවා මැලවෙමින් පවතී.
මායා දේවි විහාරය හා ඒ අවට ජලය එකතු වීමෙන් සැකසී වී ඇති තෙත් පරිසරයෙන් පුරාවිද්‍යාත්මක නටබුන්වලට හානි වී තිබීම යුනෙස්කෝව මෙම ස්ථානය විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති ලැයිස්තුවට ඇතුළත් කිරීමට යෝජනා කිරීමට හේතු වූ තවත් හේතුවකි.
එහෙත් දැනටමත් ඉදිකරන ලද සහ සැලසුම් කර ඇති මහා පරිමාණ සංචාරක, වන්දනා සහ යටිතල පහසුකම් ව්‍යාපෘති සහ ඉන් මෙම ලෝක උරුම අඩවියට සිදුවන බලපෑම ගැන ද ඔවුන් කනස්සල්ලට පත්ව තිබේ.
2022දී, 5,000 දෙනෙකුට නවාතැන් ගත හැකි භාවනා සහ අනුස්මරණ ශාලාවක් මායා දේවි විහාරස්ථානයේ සිට කිලෝමීටර් දෙකකට වඩා දුරින් විවෘත විය. යුනෙස්කෝව ඇස්තමේන්තු කර ඇත්තේ මෙම ව්‍යාපෘතිය මෙම ලෝක උරුම අඩවියේ සුවිශේෂී විශ්වීය වටිනාකම (OUV) කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව ය. සුවිශේෂී විශ්වීය වටිනාකම යනු ලොව පුරා ඇති ස්ථාන ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වීමට පාදක කර ගන්නා සාධකය යි.
2014දී, නේපාල රජය තවත් අභිලාෂකාමී සැලැස්මක් ප්‍රකාශයට පත් කළේ ය. එනම්, ඇමෙරිකානු ඩොලර් මිලියන 760කට වැඩි විදේශ ආයෝජන සහිතව ලුම්බිණිය "ලෝක සාම නගරයක්" බවට සංවර්ධනය කිරීම ය. එහෙත් යුනෙස්කෝව ඇතුළු බොහෝ පාර්ශවවලින් එල්ල වුණු විරෝධයෙන් පසුව එය නිහඬව ම ඉවත් කර ගැනිණි.
"ලුම්බිණි ලෝක සාම නගර ව්‍යාපෘතිය එහි සුවිශේෂී විශ්වීය වටිනාකම (OUV) මත අහිතකර බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇති බවට කනස්සල්ලක් පැවතිණි", යුනෙස්කෝව 2022දී ඔවුන්ගේ වාර්තාවේ සඳහන් කර ඇත.
ලෝක උරුම ලැයිස්තුව යනු කුමක් ද?
ලුම්බිණිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ ඇති 1000කට අධික ස්ථානවලින් එකකි. නැගෙනහිර අප්‍රිකාවේ සෙරෙන්ගෙටි, ඊජිප්තුවේ පිරමිඩ, ඔස්ට්‍රේලියාවේ මහා බාධක පරය සහ ලතින් ඇමෙරිකාවේ බැරොක් ආසන දෙව්මැදුර මෙම විවිධ හා අද්විතීය ස්වභාවික හා සංස්කෘතික ස්ථාන ආවරණය වන ලැයිස්තුවට ඇතුළත් ය.
යුනෙස්කෝව ලෝක උරුමය නිර්වචනය කරන්නේ මනුෂ්‍යත්වයට සුවිශේෂී විශ්වීය වටිනාකමක් සහිත පෘථිවියේ ඇති ස්ථාන හඳුනා ගැනීමක් ලෙස ය. ඒවා අනාගත පරම්පරාවන්ට අගය කිරීමට සහ භුක්ති විඳීමට ආරක්ෂා කළ යුතු ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
අවදානමට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවේ අරමුණ වන්නේ, යම් ස්ථානයක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට හේතු වුණු ඒවායේ ලක්ෂණ ඒවායින් ගිලිහී යාම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවට දැනුම් දීම සහ ඒවා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට දිරිගැන්වීම ය. 2024 වන විට, තර්ජනයට ලක්ව ඇති ලැයිස්තුවේ ස්ථාන 50කට වඩා අන්තර්ගත වේ.
විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති උරුමයක් ලෙස නම් කිරීම ජාත්‍යන්තර සංරක්ෂණ ක්‍රියාමාර්ග ඉක්මන් කරවීමට ගන්නා ක්‍රියාමාර්ගයක් බව යුනෙස්කෝව බීබීසී වෙත ලිඛිත ප්‍රකාශයක් කරමින් පැවසීය.
"එමගින් යුනෙස්කෝව සහ එහි හවුල්කරුවන්ගෙන් මූල්‍ය ආධාර සඳහා දොර විවර කරන කැපවූ ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කරවීමට මග සලසනවා. තර්ජනය ආමන්ත්‍රණය කළ පසු, එම ස්ථාන ලැයිස්තුවෙන් ඉවත් කළ හැකියි," ඔවුහු පැවසූහ.
එහෙත්, ලුම්බිණි සංකීර්ණය තුළ පිහිටි රාජකීය බෞද්ධ ආරාමයේ නායක පූජ්‍ය සාගර් ධම්ම හිමියන්ට අනුව, ලුම්බිණිය විනාශ වීමේ තර්ජනය ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම "සිදුවිය හැකි නරක ම දෙය" යි.
"තම අධ්‍යාත්මික ගුරුවරයාගේ උපන් ස්ථානය විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති උරුමයක් ලෙස නම් කිරීමේ අවදානමට ලක් වීම ලොව පුරා සිටින මිලියන 500කට අධික බෞද්ධයින්ට ලැජ්ජාවට කරුණක්", ධම්ම හිමියෝ බීබීසීයට පැවසූහ.
නමුත් විනාශ වීමේ අවදානමට ලක්ව ඇති ලෝක උරුම ලැයිස්තුවට එක් කිරීමෙන් ලුම්බිණිය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් නොවේ.
"යම් ස්ථානයක සුවිශේෂී විශ්වීය වටිනාකම නිශ්චිතව ම අහිමි වූ විට පමණ යි ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීම සිදු වන්නේ. නමුත් ඒ තත්ත්වය අතිශයින් දුර්ලභ යි. 1972 සිට එය සිදුවී ඇත්තේ ස්ථාන තුනකට පමණයි," යුනෙස්කෝව ලිඛිත ප්‍රකාශයක් කරමින් බීබීසීයට පැවසීය.
ලුම්බිණියට වැරදුණේ කොතන ද?
1978දී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නේපාල රජය විසින් ලුම්බිණි සංවර්ධන සැලැස්මක් අනුමත කරනු ලැබුවේ, "ආධ්‍යාත්මික, සාමය, විශ්වීය සහෝදරත්වය සහ වාතාවරණයක් ඇති කිරීමේ සහ අවිහිංසාව ඇති කිරීමේ අරමුණින් මායා දේවි විහාරය ප්‍රතිසංස්කරණය කිරීම, පැවිද්දන් සඳහා වූ කලාපයක් සහ ඒ අසල නව ගම්මානයක් ඉදි කිරීමට ය.
අසාර්ථක උත්සහයන් දෙකකින් පසුව, 1997දී ලුම්බිණිය ලෝක උරුමයක් ලෙස ලැයිස්තුගත කරන ලදී.
"අපි වර්තමාන මායා දේවි විහාරය නැවත ගොඩනගන අවස්ථාවේ යුනෙස්කෝව සමග සමීපව කටයුතු කළා," යැයි ලුම්බිණියේ හිටපු ප්‍රධාන පුරාවිද්‍යාඥ බසන්ත් බිදාරි පැවසීය.
නේපාල රජයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා වූ කෝෂ් ප්‍රසාද් ආචාර්යා ද ලුම්බිණිය සඳහා ලෝක උරුම තත්ත්වය ලබා ගැනීමේ උත්සහයට සම්බන්ධ වූ තවත් අයෙකි.
"නමුත් ඉන් පසු වසර කිහිපය තුළ, එය නඩත්තු කිරීම සහ පවත්වා ගෙන යාම අප සංවේදීව හෝ බරපතළ ලෙස නොසැලකු බවක් මට හැඟෙනවා," ආචාර්යා බීබීසීයට පැවසීය.
"මේක අරමුදල් හිඟකම නිසා පමණක් නොවෙයි. ඒකට අපේ ආකල්පත් බලපානවා."
යුනෙස්කෝව සිය විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති ලැයිස්තුවට ලුම්බිණිය ඇතුළත් කිරීම වැළැක්වීම සඳහා බලධාරීන් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයක් දැරූ නමුත් පෙබරවාරි කාලසීමාවට පෙර "යුනෙස්කෝවේ උත්සුකයන් සපුරාලීමට අවශ්‍ය බැරෑරුම්කම" ඔවුන් තුළ තමා දුටුවේ නැති බව ආචාර්යා පැවසීය.
ඊට බලපෑ මූලික හේතුව දේශපාලනික විය හැක.
"ලුම්බිණිය කළමනාකරණය කරන ලුම්බිණි සංවර්ධන භාරයේ (LDT) ප්‍රධානියා සඳහා විශේෂඥයින් සහ දක්ෂ පුද්ගලයින් තෝරා ගැනීම වෙනුවට, මෙම උරුමයන් සංරක්ෂණය සඳහා ප්‍රමාණවත් තරම් දක්ෂතාවක් නොමැති පුද්ගලයින් පත් කරන්න රජය නැඹුරු වී ඇති බවක් පේනවා," හිටපු සංස්කෘතික ඇමතිවරයෙකු සහ මන්ත්‍රීවරයෙකු වන දීප් කුමාර් උපාධ්‍යාය බීබීසීයට පැවසීය.
නේපාලයේ සංස්කෘතික අමාත්‍ය බද්‍රි ප්‍රසාද් පාණ්ඩේ බීබීසීයට පැවසුවේ, විවේචන පිළිබඳ තමාට වැටහෙන බව ය.
"ඒක පූජනීය ස්ථානයක්. එහි පූජනීයත්වය සෑම ආකාරයකින් ම ආරක්ෂා වන බවට අපි සහතික විය යුතුයි. එවැනි පූජනීය ස්ථානවල දූෂණය වැළැක්වීම සඳහා වඩා ත් සැලකිලිමත් විය යුතුයි".
"ඒක ජාතියේ කීර්ති නාමය සමග සම්බන්ධ වී ඇති නිසා අපි සියලු ගැටලු විසඳීමට කැපවී සිටිනවා," ඔහු පැවසීය.
ලුම්බිණි කළමණාකාර අධිකාරිය, යුනෙස්කෝව සමග ඇතැම් ගැටලු විසඳීමට කටයුතු කර ඇත.
එහි විධායක ප්‍රධානී ලාර්කියල් ලාමා පැවසුවේ, පෞරාණික වටිනාකමක් ඇති ගඩොල් දිලීරවලින් ආරක්ෂා කිරීම සඳහා රසායනික ප්‍රතිකාර සිදු කිරීමට යුනෙස්කෝ විශේෂඥයින්ට ආරාධනා කර ඇති බව ය.
"අපි විහාරස්ථානයේ ජලය කාන්දු වීම නැවැත්වීම සඳහා මැදිහත්වීමේ පළමු අදියර සිදු කරලා තියෙන්නේ" ලාමා බීබීසීය වෙත පැවසීය.
ලුම්බිණිය "සියලු වියදම් දරා ආරක්ෂා කළ යුතුයි", එහි සංරක්ෂණ ප්‍රයත්නය සඳහා දශක හතරක් ගත කළ බිදාරි බීබීසීයට පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි.
"එහෙම නැති වුණොත් ඒක දරා ගන්න බැරි පාඩුවක් වේවි."