ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කුසල් ජනිත් පෙරේරා අද රැස්කළ ශතකය සුවිශේෂී වන්නේ ඇයි?
- Author, දිනුක් හේවාවිතාරණ
- Role, බීබීසී සිංහල
නවසීලන්ත කණ්ඩායම සමග අද (ජන: 02) පැවති පන්දු වාර 20 තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කෙසේ වෙතත්, තරග 03 කින් සමන්විත පන්දු වාර 20 තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ නවසීලන්ත කණ්ඩායම යි.
වසර 14 කට පසු වාර්තා වූ ශතකය
කුසල් ජනිත් පෙරේරාගේ ශතකය හේතුවෙන් අද තරගයේදී ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හැකි විය.
නවසීලන්තයට එරෙහිව අද (ජනවාරි 02) පැවති විස්සයි 20 තරගයේදී කුසල් ජනිත් පෙරේරා ශතකයක් වාර්තා කළේ, පන්දු 46කිනි.
විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ 3 වන පිතිකරුවා බවට ඔහු පත්විය.
එමෙන් ම ශ්‍රී ලාංකික පිතිකරුවෙකු පන්දු වාර 20 තරගයකදී ශතකයක් වාර්තා කළේ, වසර 14 කට පසුව වීම ද විශේෂත්වයකි.
විස්සයි 20 තරගයකදී මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක වාර්තා කර ඇත්තේ තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන පමණි.
කුසල් ජනිත් පෙරේරා පන්දු 46කදී හතරේ පහරවල් 13ක් සහ හයේ පහරවල් 04ක් සමගින් ලකුණු 101ක් වාර්තා කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිම
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ තීරණය අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු සබඳතාව ලකුණු 24කට සීමා විය.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 14කට දැවී ගියේ ය.
ඉන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුවට තවත් ලකුණු 18ක් එක්වන විට කුසල් මෙන්ඩිස් ලකුණු 22කට දවා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
පසුව පිටියට පිවිසි අවිශ්ක ප්‍රනාන්දු සමග එක්ව කුසල් ජනිත් පෙරේරා 3 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවක් ගොඩ නැගීය.
ශ්‍රී ලංකා ඉනිමේ 10 වන පන්දු වාරයේදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 17කට දැවී යන විට ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 3 කට ලකුණු 83ක් ලෙස ය.
ශතක සබඳතාව
අවිශ්ක ප්‍රනාන්දුගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසුණු නායක චරිත් අසලංක, කුසල් ජනිත් පෙරේරා සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වේගවත්ව ලකුණු රැස් කිරීමට දායක විය.
ඔවුන් දෙදෙනා පන්දු 45කදී ලකුණු 100ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා ඉනිමේ 17 වන පන්දු වාරයේදී ලකුණු 46ක් රැස් කර සිටි චරිත් අසලංක දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ එක් හතරේ පහරක් ඇතුළත් විය.
කුසල් ජනිත් පෙරේරා පන්දු 46කදී ලකුණු 101ක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 5කට ලකුණු 218ක් රැස් කිරීමට සමත් විය.
නවසීලන්තයේ හඹා යාම
ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලය සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.
ටිම් රොබින්සන් සහ රචින් රවීන්ද්‍ර එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක් රැස් කිරීමට සමත් වූ අතර, නවසීලන්ත කණඩායමේ පළමු කඩුල්ල ලෙස ටීම් රොබින්සන් ලකුණු 37කට දවා ගැනීමට බිනුර ප්‍රනාන්දු සමත් විය.
නවසීලන්ත ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 9ක් රැස් කර ගෙන සිටි මාර්ක් චැප්මන් දවා ගැනීමට චරිත් අසලංකට හැකි විය.
නවසීලන්ත ඉනිමේ මැද පෙළ කඩුලු දෙකක් ඉක්මනින් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
නවසීලන්තය වෙනුවෙන් රචීන් රවින්ද්‍ර ලකුණු 69ක් රැස් කළේ ය.
ඒ අනුව, නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කළේ, ලකුණු 211ක් පමණි.
පන්දු යැවීමේදී චරිත් අසලංක ලකුණු 50ක් ලබා දුන් අතර කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
වනිඳු හසරංග ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත්තේ ය.