ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2023 ක්‍රිකට් ලෝක කුසලානය: ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගයෙන් නවසීලන්තය පරාජය කරමින් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව අද (නොවැම්බර් 15 වැනිදා) සමත් විය.
මෙම තරගය පැවැත්වුයේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදියි.
ඒ අනුව සිව්වන වරටත් ලෝක කුසලාන එක්දින තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් විය.
හෙට ( නොවැම්බර් 16 වෙනිදා) ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන අවසන් පුර්ව වටයේ දෙවන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග ලබන ඉරිදා ( නොවැම්බර් මස 19 වෙනිදා) ලෝක කුසලාන අවසන් මහ තරගයට ඉන්දියාව ක්‍රීඩා කිරීමට නියමිතය.
ඉන්දියාවට එරෙහිව චෝදනාවක්
කාසියේ වාසිය දිනු ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා විසින් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.
කෙසේ වුවත් මෙම තරගය පැවැත්වෙන මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ තණ තීරුව සැකසීමේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊට බලපෑම් එල්ල කළ බවට සමාජ මාධ්‍ය තුළ ප්‍රබල සංවාදයක් පැවතිණි.
බොහෝ දෙනා චෝදනා කර තිබුණේ අද තරගය මන්දගාමී තණතීරුවක ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ තණතීරු සකස් කරන්නන්ට දැනුම් දුන් බවයි.
කෙසේ වුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
අද තරගය නැරඹීමට විශේෂ අමුත්තෙක්
නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවති අවසන් පුර්ව වටයේ පළමු තරගය නැරඹීම සඳහා මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයට හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සර් වීව් රිචඩ්සන් සහ එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයෙකු වන ඩේවිඩ් බෙකම් ද එක්ව සිටියහ.
එමෙන්ම හිටපු ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර් සහ බොලිවුඩ් නළු නිළියන් කිහිප දෙනෙකු තරගය නැරඹීමට ක්‍රීඩාංගණයට එක්ව සිටින අයුරු දක්නට ලැබුණි.
රෝහිත් ගේ ප්‍රහාරාත්මක ඉනිම
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ රෝහිත් ෂර්මා සහ ශුබ්මන් ගිල් ගෙන් නවසීලන්ත පන්දු යවන්නන්ට කිසිදු සමාවක් හිමි නොවුණි.
නායක රෝහිත් ෂර්මා පළමු වාරයේ සිටම සිය පිත්තෙන් වේගවත් ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්දීය කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළට ගෙන ඒමට සමත් විය.
රෝහිත් ෂර්මා පන්දු 29 කදී ලකුණු 47ක් රැස් කළ අතර, ඊට හයේ පහරවල් 04ක් සහ හතරේ පහරවල් 04ක් ඇතුළත් විය.
කෙසේ වුවත් ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා දැවී යන විට ලකුණු පුවරුව දැක්වුයේ පන්දු වාර 8යි පන්දු 02 කදී ලකුණු 71ක් ලෙසයි.
රෝහිත් ගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි විරාත් කෝලි, ශුබ්මන් ගිල් සමග ඉතා හොඳින් ලකුණු රැස් කිරීමට සමත් විය.
ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 93ක් රැස් කරමින් සිටියදී ලකුණු 78ක් රැස් කරගෙන සිටි ශුබ්මන් ගිල් මස් පිඬු ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් විය.
ඒ වන විට ඉන්දීය කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ පන්දු වාර 22 යි පන්දු 4 කදී ලකුණු 164ක් ලෙසයි.
කෝලි සහ අයියර්ගේ සුපිරි සබඳතාවය
ශුබ්මන් ගිල් පිටියෙන් ඉවත් වීමෙන් පසු විරාත් කෝලි සමග පිටියේ එක්වූ ෂෙරේස් අයියර් ඉන්දීය කණ්ඩායම ප්‍රබල තැනකට ගෙන ඒමට සමත් විය.
ඔවුන් දෙදෙනා අනුකම්පා විරහිතව නවසීලන්ත පන්දු යවන්නට එරෙහිව සිය පිත්ත හැසිරවිය.
ඔවුන් දෙදෙනා ලකුණු 163ක දැවැන්ත සබඳතාවයක් එක් කිරීමට සමත් විය.
කෙසේ වුවද ඉන්දීය ඉනිමේ 44 වන පන්දු වාරයේදී ලකුණු 117ක් රැස් කරගෙන සිටි විරාත් කෝලි, ටීම් සවුතිගේ පන්දුවක් හමුවේ දැවී යන විට ඉන්දීය ලකුණු පුවරුව දැක්වුයේ ලකුණු 327ක් ලෙසයි.
විරාත් කෝලි ගේ ඉනිමට හයේ පහරවල් දෙකක් සහ හතරේ පහරවල් 09ක් ඇතුලත් විය.
ෂෙරේස් අයියර් ගේ ශතකය
කෝලිගේ දැවී යාමෙන් පසු පිටියේ අණසක පැතිරූ ෂෙරේස් අයියර් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිට පිට දෙවන වරට ශතකයක් රැස් කිරීමට සමත් විය.
ෂෙරේස් අයියර් සහ කේ.එල්. රාහුල් එක්ව ඉන්දීය කණ්ඩායමේ 03 වන කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 54ක් එක් කිරීමට සමත් විය.
පන්දු 70 කදී ලකුණු 105ක් රැස් කරගෙන සිටියදී ඉන්දීය කණ්ඩායමේ තෙවන කඩුල්ල ලෙස ෂෙරේස් අයියර් දැවී ගියේය.
ඔහුගේ ඉනිමට හයේ පහරවල් 08ක් සහ හතරේ පහරවල් 04ක් ඇතුලත් විය.
ඉන් පසු පිටියට පැමිණි සූර්යකුමාර් යාදෙව් එක් ලකුණකට දැවී ගියේය.
ඔහුගේ දැවී යාමෙන් පසු අද තරගයේදී ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත්වූ ශුබ්මන් ගිල් නැවත පන්දුවට පහරදීමට පිටියට පැමිණියේය.
ඒ අනුව පන්දු වාර 50 අවසානයේදී ඉන්දීය කණ්ඩායම කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 397ක් රැස් කරන ලදී.
ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයකදී කණ්ඩායමක් විසින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්විය.
ඉතිහාසගත වූ කෝලි
අද පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි ක්‍රිකට් වංශ කතාවේ කඩඉමක් පසුකර යාමට සමත් විය.
එක්දින තරගවලදී ශතක 50ක් රැස් කළ පළමු පිතිකරු ලෙස විරාත් කෝලි සමත් වුයේ එවැනි දස්කමක් දැක්වූ ලොව පළමු පිතිකරු බවට පත්වෙමිනි.
මීට පෙර එක්දින තරගවලදී වැඩිම ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා වුයේ හිටපු ඉන්දීය පිතිකරු සචින් තෙන්දුල්කාර්ය. ඔහු ශතක 49ක් රැස් කර තිබුණි.
කෙසේ වුවද අද තමන් තබා තිබු වාර්තාව විරාත් කෝලි පසුකර යන අවස්ථාවේදී සචින් තෙන්දුල්කාර් ද වන්කඩේ ක්‍රීඩාංගණයේ රැඳී සිටියේය.
මෙම තරගයේදී විරාත් කෝලි තවත් වාර්තාවක් තැබීමට සමත් විය.
ඒ මෙතෙක් පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිහිදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු බවට පත්වෙමින්ය.
විරාත් කෝලි මේ දක්වා මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී තරග 10 කට ක්‍රීඩා කරමින් ලකුණු 711ක් රැස් කිරීමට සමත්ව ඇත.
සාර්ථක නොවූ නවසීලන්තයේ ආරම්භය
ලකුණු 398ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 39ක් වන විට දැවී යන ලදී.
මොහොමඩ් සාමි, ඩෙවොන් කොන්වේ සහ රචින් රවින්ද්‍රගේ ඉනිම ලකුණු 13කට සීමා කිරීමට සමත් විය.
එම කඩුලු දෙක දැවී යන විට නවසීලන්ත ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 7යි පන්දු 04 කදී ලකුණු 39ක් ලෙසයි.
ඉන්දියාවට හිසරදයක් වූ සබඳතාවය
නවසිලන්ත ඉනිමේ පළමු කඩුලු දෙක දැවී යාමෙන් පසු පිටියට එක්වූ ඩැරල් මිචෙල් සහ කේන් විලියම්සන් ඉන්දීය පන්දු යවන්නට දැඩි පීඩනයක් ගෙන දීමට සමත් විය.
ඔවුන් දෙදෙනා විසින් නවසීලන්ත ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 181ක් එක් කිරීමට සමත් විය. මෙම සබඳතාවය නිසා ඉන්දීය කණ්ඩායම දැඩි පීඩනයකට ලක්විය.
කෙසේ වුවත් නවසීලන්ත ඉනිමේ 33 වන පන්දු වාරය යවමින් එම සබඳතාවයට තිත තැබීමට මොහොමඩ් සාමි සමත් විය.
සාමි විසින් එම පන්දු වාරයේදී ලකුණු 69ක් රැස් කරගෙන සිටි කේන් විලියම්සන් ගේ කඩුල්ල ලබා ගත් අතර ලකුණු ලබා ගැනීමට පෙර ටොම් ලැතම් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.
ඒ අනුව නවසීලන්තය පන්දු වාර 33ක් අවසානයේ දී කඩුලු 04ක් දැවී ලකුණු 220ක් රැස් කරගෙන සිටියේය.
එක ළඟ කඩුලු දෙකක් දැවී යාමෙන් පසු නවසිලන්ත ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය ක්‍රමයෙන් පහළ ගියද ඩැරල් මිචෙල් සමග එක්වූ ග්ලෙන් ෆිලිප්ස් 05 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක් එක් කිරීමට සමත් විය.
පන්දු 33 කදී ලකුණු 41ක් රැස් කරගෙන සිටි ග්ලෙන් ෆිලිප්ස් නවසීලන්ත ඉනිමේ 43 වන පන්දු වාරයේදී ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ඒ වන විට නවසීලන්ත ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 295 කට කඩුලු 05ක් ලෙසයි.
නවසීලන්ත ඉනිමේ කඩා වැටීම
ෆිලිප්ස් ගේ දැවී යාමත් සමග ඉන්දීය කණ්ඩායම නැවත තරගයට ශක්තිමත් ලෙස අවතීර්ණ විය.
කුල්දිප් යාදෙව් විසින් ලකුණු 02 කට මාර්ක් චැප්මන් දවා ගනු ලැබිය.
එමෙන්ම නවසීලන්ත ඉනිම පුරාවට ඉන්දීය පන්දු යවන්නන්ට රිසිසේ පිත්තෙන් ප්‍රහාර එල්ල කළ ඩැරල් මිචෙල් ලකුණු 134 කට දවා ගැනීමට මොහොමඩ් සාමි සමත් විය.
මිචෙල් ගේ එම ඉනිමට හයේ පහරවල් 07ක් සහ හතරේ පහරවල් 09ක් ඇතුලත් විය.
ලකුණු 398ක් තරම් වූ දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 327ක් පමණි.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් සාමි ලකුණු 57 කට කඩුලු 07 ක් දවා ගනු ලැබිය.
ඒ අනුව නවසීලන්තය ලකුණු 70 කින් පරාජයට පත් කරමින් 2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සමත් විය.