ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ICC ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ඉවතට. මේ දක්වා සිදුවුයේ කුමක් ද?
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරනු ලැබීය. ඒ මාස තුනකට ආසන්න කාලයකින් පසුවය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් රජයේ මැදිහත්වීම් හේතුවෙන් නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවන ලදී - ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දුර්වල ප්‍රතිඵල හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා අතුරු පාලක මණ්ඩලයක් නම් කරනු ලැබීය.
මෙම අතරතුර කාලයේදී රෝෂාන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු අතර හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍ය ධුරයට පත් කෙරුණි.
අනතුරුව නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ICC බලධාරීන් සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබුණි.
ICCය පවසන්නේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාලෝචනයට ලක් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් සාමාජික රෙගුලාසි කඩ නොකරන බවට සෑහීමකට පත්වන බවයි.
ICC තහනම හේතුවෙන් දකුණු අප්‍රිකාවේ දැනට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි විය.
2023 ලෝක කුසලාන තරගාවලියේ තරග නවයෙන් තරග දෙකක් පමණක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ග්‍රීෂ්ම සෘතුවේදී එංගලන්තයේ සංචාරය කිරීමට නියමිතය.
ICC තහනමට පෙර සිදු වූයේ කුමක්ද?
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කරනු ලැබුවේ 2023 වසරේ නොවැම්බර් මාසයේදීය.
ඒ පිළිබඳව දැනුම් දෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල නිවේදනයක් (නොවැම්බර් මස 10 වැනිදා) නිකුත් කරනු ලැබිය.
ICC මණ්ඩලය අද රැස්වී තීරණය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකයෙකු වශයෙන් එහි වගකීම්, විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ රාජ්‍ය පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමක් නොමැති බවට සහතික වීම බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් හි සාමාජිකත්වය අත්හිටුවීමේ කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය විසඳීමට දේශීය වශයෙන් පත්කර ඇති කමිටු
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වැඩි කතාබහක් ඇතිවුයේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අතුරු කමිටුවක් පත් කරනු ලැබීමත් සමගය. ඉන්පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ද ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති ගැටළු විසඳීමට කැබිනට් අනු කමිටුවක් පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ අක්‍රමිකතා සහ පරිපාලන ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටු ගණනාවක් මේවන විට පත් කර ඇති අතර එම කමිටු සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව බීබීසී සිංහල සොයා බැලීමක් කළේය.
ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කරන ලද ස්වාධීන උපදේශන මණ්ඩලය
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා 2017 වසරේදී එවක ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දයාසිරි ජයසේකර විසින් ස්වාධීන උපදේශන මණ්ඩලයක් පත් කරන ලදී.
එම ස්වාධීන කමිටුවේ සභාපතිවරයා වශයෙන් හිටපු ක්‍රිකට් අන්තර්වාර කමිටු සභාපතිවරයෙකු වන හේමක අමරසුරිය කටයුතු කරන ලදී.
මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා, අනුර තෙන්නකෝන් යන හිටපු ක්‍රිකට් නායකයෝ එහි සාමාජිකත්වය දරනු ලැබූහ.
ක්‍රිකට් ගොඩනැංවීමට හිටපු ජ්‍යෙෂ්ඨයින් ඇතුළත් කමිටුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැංවීම සඳහා 2021 වර්ෂයේදී එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නාමල් රාජපක්ෂ විසින් තාක්ෂණික උපදේශක කමිටුවක් පත් කරන ලදී.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස අරවින්ද ද සිල්වා පත් කරනු ලැබිණි. අනෙකුත් කමිටු සාමාජිකයින් ලෙස රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර පත් කෙරුණි.
කුසලා සරෝජනී කමිටුව
2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් මෙම කමිටුව පත් කරන ලදී.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතීත්වයෙන් සහ සාමාජිකයින් පස්දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කෙරුණි.
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන කිංස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින්ද අල්විස්, නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.
2022 ඕස්ට්‍රේලියාවේ පැවති ICC විස්සයි 20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතු වූ විවිධ චෝදනාවන් ද, ‘බෝර්න් අගේන්’ ආගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ලවන බව කියන බලපෑම් ද පරීක්‍ෂා කිරීම සඳහා මෙම පංච පුද්ගල විශේෂ පරීක්‍ෂණ මණ්ඩලය පත් කෙරුණි.
අර්ජුණ ප්‍රමුඛ අතුරු කමිටුව
වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යාම සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් 2023 නොවැම්බර් 5 වෙනිදා නව ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබිය.
එහි සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පත් කරන ලදී.
එමෙන්ම අතුරු කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන S.I. ඉමාම්, රෝහිණි මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, නීතිඥ රඛිත රාජපක්ෂ සහ උපුල් ධර්මදාස නම් කර ඇත.
එම අතුරු කමිටුව පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මුලික වගකීම් තුනක් නව අතුරු කමිටුවට පවරා තිබිණි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා පිළිබඳ සිදුකළ විගණන වාර්තාව මගින් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විමර්ශන සිදුකොට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.
- අදාළ විමර්ශන කටයුතු සිදුකිරීම ස්වාධීනව විනිවිදභාවයකින් යුතුව විශ්වාසනීය ලෙස සිදුකරනු ලැබිය යුතු බැවින්, ඒ සඳහා අවකාශය ලබාදීම සඳහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවීම ක්‍රියාත්මක කාල පරිච්ජේදය තුළ සහ අන්තර්වාර පාලක මණ්ඩලය විසින් සිදුකරන විමර්ශන කටයුතු අවසන් කොට ප්‍රතිකර්ම සලසන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කිරීම.
- එමෙන්ම අදාළ විගණන වාර්තාවේ සඳහන් දූෂණ, විෂමාචාර සහ අක්‍රමිකතා නැවත සිදුවීම වැළැක්වීම සඳහා අදාළ නිර්දේශ කිරීමට හා ක්‍රියාමාර්ග සැකසීම වේ.
ක්‍රිකට් ක්‍රීඩාව මුහුණදී ඇති ගැටළු විසඳීමට කැබිනට් අනු කමිටුව
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත් කිරීමට පසුගිය නොවැම්බර් 6 වෙනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කෙරිණි.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රිගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම කැබිනට් අනු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලු විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම මෙම කැබිනට් අනු කමිටුවට පැවරි තිබේ.
නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පත්කළ කමිටුව
පාර්ලිමේන්තු පනතක් හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් යුත් දස පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
ඒ අනුව එම කමිටුව විසින් සකස් කරන ලද යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබිය.
මෙම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කිරීමේ ක්‍රමවේදය මුළුමනින් වෙනස් කිරීමට යෝජනා කර තිබෙන අතර එහි සංයුතිය, පරිපාලනය සහ කළමනාකරණය ද සංශෝධනය කර ඇත.
ඒ අනුව යෝජිත නව ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වසර 4ක කාලසීමාවකට පත්වන 18 දෙනකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් මඟින් පාලනය කිරීමට යෝජනා කර තිබේ.
එම අධ්‍යක්ෂ මණ්ඩලයට ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට බලතල ලබාදී එම තීරණ ක්‍රියාත්මක කිරීමේ බලතල, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත්කරනු ලබන අධ්‍යක්ෂ ජනරාල්වරයකු වෙත ලබාදීමට යෝජනා කර ඇත.
එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 8 දෙනකු, නම් කළ අධ්‍යක්ෂවරුන් වන අතර ඔවුන්ව නිර්දේශ කිරීමේ බලය 06 දෙනකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවකට පවරා ඇත.
ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ (CIMA Sri Lanka) සභාපති හෝ ඔහු විසින් නම් කරන නිලධාරියකු වශයෙන් එම කමිටුවට යෝජනා කර තිබේ.
සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 10 දෙනා පත් වන්නේ නිලවරණයක් හරහායි.
එම නිලවරණය මඟින් ක්‍රිකට් සමාජ නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් 5ක්, ක්‍රීඩක සංගමය නියෝජනය කරමින් එක් අයෙකු, පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එක් අයෙකු, කාන්තා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එක් අයෙකු, විනිසුරුවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එක් අයෙකු සහ පුහුණුකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් එක් අයෙකු වශයෙන් තේරී පත් විය යුතු බවට යෝජනා කර ඇත.
එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ ක්ෂේත්‍ර ආවරණය කරමින් කාර්යභාරයන් විධිමත්ව සිදුකිරීම සඳහා කමිටු 10ක් පත්කිරීමට ද යෝජනා කර ඇත.
ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, පාර්ශවකාර ගනුදෙනු කමිටුව, නාම යෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරගාවලි කමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, සංචාර කමිටුව, රීති – බේරුම්කරණ – හා විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ මර්දන කමිටුව හා වේතන කමිටුව වශයෙන් එම කමිටු පත් කිරීමට යෝජනා කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි එම කමිටුව විසින් ලබා දුන් වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි වෙත (නොවැම්බර් 8 වැනිදා) නිල වශයෙන් භාර දී ඇත.