තමිල්නාඩුව: මළ සිරුරුවල ඡායාරූප ගන්නා ඉන්දියානු ශිල්පීන්

ඡායාරූප මූලාශ්‍රය, Richard Kennady
අනතුරු ඇඟවීම යි: මෙම ලිපියට මළ සිරුරුවල ඡායාරූප සහ ඒ පිළිබඳ විස්තර ඇතුළත් ය
"මට කරන්න පැවරුණේ බොඩි එක පුටුවක තියලා කෙලින් වාඩිකරවන එක," රැකියාවට ගිය පළමු දිනය ගැන රවීන්ද්‍රන් සිහිපත් කරයි.
"ඊට පස්සේ, ෆොටෝග්‍රැෆර්ට ෆොටෝ ගන්න පුළුවන් වෙන්න [මළ සිරුරේ] ඇහිපිය ඇරලා තියාගන්න මට සිද්ධ වුණා."
ඡායාරූපාගාරයක් පවත්වා ගෙන ගිය ඔහුගේ පියා වූ ශ්‍රීනිවාසන් 1972 වසරේ දී ඔහු රාජකාරි කටයුත්තකට යවන විට ඔහුට වයස යන්තම් අවුරුදු 14ක් වූවා පමණි.
රිචඩ් කෙනඩිට ද, වයස අවුරුදු නවයේ දී එවැනි ම බියජනක අත්දැකීමක් ලැබී තිබුණි. මියගිය පුද්ගලයෙකු හිඳුවා තැබූ ආසනයක් පිටුපසින් තිරයක් ලෙස සුදු රෙද්දක් ඔසවාගෙන සිටීම ඔහුට පැවරී තිබිණි.
"මම බයට වෙව්ළුවා. එදා රෑ මට නිදාගන්නවත් බැරිවුණා," ඔහු බීබීසීයට පැවසීය. "ගොඩක් රෑවලට මට ආයේ ආයේ හීනෙන් පෙනුණා ඒ මැරුණු මනුස්සයාව. ඒක හරි ම බයංකාර යි."
මේ දෙදෙනා ම ඡායාරූප ශිල්පයට යොමුවී තිබුණේ, ඔවුන්ගේ පියවරුන් ඡායාරූපගාරවල හිමිකරුවන් වූ නිසා ය. ඔවුන් දෙදෙනා මියගිය පුද්ගලයින් 1,000කට වැඩි පිරිසකගේ ඡායාරූප ලබාගෙන ඇත.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, අභාවයට යමින් පවතින කලාවක් වන මියගිය අයගේ ඡායාරූප ගැනීමට විශේෂඥතාවක් ඇති පිරිස අතර ඔවුහු ද වෙති.
1970 සහ 1980 ගණන්වල ඉහළ වේතනයක් ලද මේ අසාමාන්‍ය, මනස පීඩාවට පත් කරන රැකියාව ගැන ඔවුහු බීබීසීයට පැවසූහ.
බිය සමග සටන් කිරීම
දශක කිහිපයකට පෙර, ඡායාරූපයක් ගැනීමෙන් පුද්ගලයෙකුගේ ආයුකාලය කෙටි වෙතැ යි විශ්වාසයක් තමිල්නාඩුවේ බොහෝ ප්‍රජාවන් තුළ පැවතිණි. මෙනිසා එහි බොහෝ අයගේ පළමු ඡායාරූපය ලබාගෙන ඇත්තේ ඔවුන් මියගිය පසුව ය.
රවීන්ද්‍රන් පැමිණෙන්නේ, ප්‍රාන්ත අගනුවර වන චෙන්නායි නගරයට කිලෝමීටර් 400ක් දකුණින් පිහිටි කරෛකුඩි ප්‍රදේශයෙනි. යෞවනයෙකුට එය එතරම් ප්‍රසන්න රැකියාවක් නොවූවත්, පාසල් ගමන නැවතීමට ඔහු තුළ වූ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මෙය ඔහුට නිදහසට කරුණක් ලබා දුන්නේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Ravindran
"මාස කිහිපයක් පුහුණු වුණාට පස්සේ, මැරුණු අයගේ ෆොටෝ ගන්න මම ගියේ තනියම," ඔහු පැවසීය.
හිඳ සිටින ඉරියව්වෙන් අසුනක තැබූ මළ සිරුරක හිස ඇලයට හැරීම වැළැක්වීම සඳහා එහි ගෙලට යටින් කොට්ටයක් තැබීම මෙන් ම ඇඳුම් සකස් කිරීම සහ පසුබිම වෙනස් කිරීම ආදී කටයුතු කරමින් රවීන්ද්‍රන් ක්‍රමක්‍රමයෙන් ඔහුගේ ප්‍රවීණත්වය වර්ධනය කර ගත්තේ ය.
"මම මට දැනුණු බයත් එක්ක සටන් කළා. පස්සේ මම මගේ රස්සාවට ආසා කරන්න ගත්තා. ෆොටෝවල තියෙන බොඩීස්වලට මම ලස්සන, ඇත්ත පෙනුමක් අරන් දුන්නා."
හද පාරවන අවස්ථා
රිචඩ් වෘත්තිය දිවිය ආරම්භ කර තිබුණේ ඊට ත් පෙර ය. ඔහු ඔහුගේ පියා සමග චෙන්නායි සිට කිලෝමීටර් 350ක් පමණ බටහිරින් පිහිටි යර්කොඩ් කඳුකරයේ රැකියාවට ගියේ ය.
ඔහු ලද දුෂ්කර ම අත්දැකීම වූයේ මියගිය අලුත උපන් බිළිඳෙකු ඡායාරූපගත කිරීම ය.
"ඒ අම්මයි තාත්තයි මහා වේදනාවකින් හිටියේ. ඒ අඬන අම්මාව සනසන්න බැරිවුණා."
ඡායාරූප ශිල්පියාගේ පැමිණීමෙන් පසු මව බිළිඳා නහවා, අලුත් ඇඳුමක් අන්දවා, වත්සුණු ස්වල්පයක් තවරා හැඩගැන්වූවා ය.
"ඒ බබා බෝනික්කෙක් වගේ," රිචර්ඩ් සිහිපත් කළේ ය. "අම්මා දරුවාව එයාගේ උකුළ උඩින් තියාගත්තම මම ෆොටෝ එක ගත්තා. ඒකෙ පෙනුනේ හරියට දරුවා නිකම් නිදාගෙන ඉන්නවා වගේ."
"ඒක හරි ම හැඟීම්බර අවස්ථාවක්."

ඡායාරූප මූලාශ්‍රය, Richard Kennady
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ඔවුන්, අප්‍රසිද්ධියේ සිදුකෙරෙන මළ සිරුරු නැහැවීම, මල්වලින් සැරසීම වැනි උත්සව අවස්ථා ද ඡායාරූපගත කර තිබේ. ඇතැම් පවුල් ඡායාරූප එකක් හෝ දෙකක් ලබා ගැනීමෙන් සෑහීමකට පත්වුව ද තවත් පවුල් බොහෝ ඉල්ලීම් ඉදිරිපත් කළෝ ය.
"මම සොහොනට ගිහිල්ලා දේහය තැන්පත් කරන මොහොත පවා ෆොටෝ ගත්තා," රවීන්ද්‍රන් සිහිපත් කරයි.
ඇතැම් අවස්ථාවල දී, දේහයේ අවසන් කටයුතුවලින් පසුව උදාවන දා පැවැත්වෙන අවමංගල්‍ය චාරිත්‍ර සඳහා මියගිය පුද්ගලයාගේ රාමු කළ ඡායාරූපයක් ශෝකයට පත් පවුල්වලට අවශ්‍ය වූ නිසා ඡායාරූප ශිල්පීන්ට එතරම් කාලයක් නොතිබූ අතර, එක් රැයකින් ඡායාරූප සකසා මුද්‍රණය කිරීමට සිදුවිය.
රවීන්ද්‍රන් සහ රිචඩ් දෙදෙනා ම සාපේක්ෂව නවීන නොවන කළු-සුදු කැමරා භාවිතා කළ නමුත් ඔවුහු රාජකාරිය නිසි ලෙස ඉටුකළහ.
ඔවුන්ගේ ගනුදෙනුකරුවන් හින්දු සහ ක්‍රිස්තියානි පවුල්වලට අයත්වන අතර, ඇතැම් පවුල් ඔවුන් ආගමික කටයුතුවල නිරතවන කාමරවල මියගිය පුද්ගලයින්ගේ රාමු කළ ඡායාරූප තබා ගනියි.
රවීන්ද්‍රන්, මියගිය මුස්ලිම් පුද්ගලයින්ගේ ඡායාරූප ගෙන ඇත්තේ දෙවරක් පමණක් බව සිහිපත් කරන අතර, රිචඩ්ට එවැනි අත්දැකීමක් නොවීය.
නපුරු සිහින
රිචඩ් පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ද සේවය කළේ ය. ඔහුට අස්වාභාවික මරණ, එනම්, අපරාධ, සියදිවි නසාගැනීම් සහ මාර්ග අනතුරුවලින් මරණයට පත්වූ, බොහෝ විට දරුණු ලෙස විකෘති වූ සිරුරුවල ඡායාරූප ගැනීමට සිදු විය.
"ඒක ලොකු කම්පනයක්. සමහර වෙලාවට මට කන්නවත්, නිදාගන්නවත් බැරි වුණා."

ඡායාරූප මූලාශ්‍රය, Richard Kennady
අධිකරණයේ දී ඔහුගේ ඡායාරූප සාක්ෂි ලෙස භාවිතා කෙරුණු අතර, වන්දි ලබා ගැනීමට පවුල්වලට උපකාර විය.
එවැනි ආකාරයේ කටයුතු සඳහා ඔවුහු හොඳින් ගෙවීම් කළහ: මළ සිරුරුවල ඡායාරූප ගැනීමට ඔවුන්ට සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් අය කළ හැකි විය. ඔවුන්ට මියගිය පුද්ගලයින්ගෙන් ඥාතීන්ගෙන් හොඳ සංතෝසම් ලැබුණු නමුත් මෙම කටුක රාජකාරිය ඔවුන්ගේ ජීවිතවලට සැලකිය යුතු කැළලක් එක් කළේ ය.
"ගොඩක් කස්ටමර්ස්ලා මාව වෙනත් වැඩවලට ගන්න පසුබට වුණා," රිචඩ් පවසයි.
රවීන්ද්‍රන්ගේ හින්දු පවුල මරණය හා සම්බන්ධ ඕනෑ ම ස්ථානයක් අපිරිසිදු ලෙස සලකන බැවින්, ඔහුට ඔහුගේ නිවසට හෝ ඡායාරූපගාරයට ඇතුළුවීමට පෙර අනිවාර්යයෙන් පිරිසිදුවීමට සිදු විය.
"මට [මළ සිරුරක් ඡායාරූපගත කරන්නට ගිය] හැම වතාවෙම නාන්න සිද්ධ වුණා. මගේ තාත්තා කැමරාවට පවා වතුර ටිකක් ඉහිනවා ඒක ස්ටුඩියෝ එක ඇතුළට ගන්න කලින්."
පුළුල්ව පැතිරුණු සිරිතක්
අතීතයේ දී, මරණින් පසු ඡායාරූප ගැනීමේ සිරිත බොහෝ රටවල ප්‍රචලිතව පැවතිණි.

ඡායාරූප මූලාශ්‍රය, Heritage Art/Getty
දහනව වන ශතවර්ෂයේ මැද භාගයේ දී, වියෝවෙන් ශෝකයට පත් පවුල් බොහොමයක් ඔවුන්ගේ මියගිය දරුවන් සහ අනෙකුත් ඥාතීන් සමග ඡායාරූපවලට පෙනී සිටියේ ය.
ඡායාරූප මිල අධික වූ ද, බොහෝ දෙනෙකුට ඔවුන් ජීවත්ව සිටිය දී ඔවුන්ගේ කිසිදු ඡයාරූපයක් ගැනීමට නොහැකිව තිබුණා වූ ද යුගයක, මියගිය ආදරණීයයන් සිහිපත් කිරීමට පවුලේ සාමාජිකයින්ට මළ සිරුරක ඡායාරූපයක් ගැනීම සැනසුම ළඟා කර ගැනීමේ මාර්ගයක් විය.
එක්සත් ජනපදයේ දී බොහෝ විට මෙවැනි ඡායාරූප ගනු ලැබුවේ නිවෙස් තුළ දී මළ සිරුර අයිස් කුට්ටියක් මත තබා ය.
අවමංගල උත්සවයට සහභාගිවීමට හෝ ඒ සඳහා නියමිත වේලාවට පැමිණීමට නොහැකි වන පවුල්වල සාමාජිකයින්ට මරණයේ ඡායාරූප ඉතා වැදගත් විය.
වික්ටෝරියානු යුගයේ දී බ්‍රිතාන්‍යයේ ද මළ සිරුරුවල ඡායාරූප ගැනීම ප්‍රචලිතව පැවතිණි.
මාරාන්තික විය හැකි සරම්ප, ගලපටලය, ආරක්තක උණ, රුබෙල්ලා වැනි වසංගත රෝග බහුල වූ නගරවල වාසය කළ ජනතාව වෙත ඕනෑ ම වේලාවක මරණය පැමිණීමට හැකියාවක් තිබූ අතර, බොහෝ මිනිසුන්ට ඔවුන්ගේ කෙටි ජීවිත කාලය තුළ ඡායාරූපයක් ලබා ගැනීම ද කළ නොහැක්කක් විය.
මියගිය දරුවෙකුගේ ඡායාරූපයක් ගැනීම ඇතැම් විට එම ආදරණීය දරුවාගේ කල්පවත්නා රූපයක් ලබා ගැනීමට ඇති එක ම අවස්ථාව විය.

ඡායාරූප මූලාශ්‍රය, Ravindran
සෞඛ්‍ය සේවාවන්හි දියුණුවත් සමග ආයු අපේක්ෂාව ඉහළ නැගි බැවින්, 20 වන සියවසේ දී ලෝකයේ බොහෝ රටවලින් එය වියැකී ගියේ ය. නමුත් තමිල්නාඩුවේ ද, බටහිර බෙංගාලය හා ඔඩිෂා වැනි අනෙකුත් ඉන්දියානු ප්‍රාන්තවල හා ශුද්ධ වූ වරනාසිය වැනි නගරවල ද එම සිරිත වඩාත් දිගු කලක් පැවතුණි.
රිචඩ් මෙම රූප දකින්නේ, ආලේඛ්‍ය සිතුවම් පරිණාමය වීමක් ලෙස ය.
"ෆොටෝග්‍රැෆි එන්න කලින්, ගොඩක් ඉඩම් හිමි ධනවත්තු කලාකාරයින්ට එයාලගෙ රූප අඳින්න බාර දුන්නා."
"ෆොටෝග්‍රැෆි කියන්නේ, මතකය සුරැකීමට කරපු ඒ භාවිතාවේම දිගුවක්. ධනවත් අයට විතරයි තමන්ගේ රූපයක් අන්දවාගන්න පුළුවන් වුණේ. ඒත් ෆොටෝ ගන්න එක දුප්පත් අයට පවා දරා ගන්න පුළුවන් දෙයක් වුණා."
අවසානයට ළඟාවීම
නමුත් 1980 ගණන්වල අගභාගයේ දී, ඕනෑ ම කෙනෙකුට භාවිත කළ හැකි මිලෙන් අඩු කැමරා වෙළෙඳපොළට පැමිණි අතර ඡායාරූපවලට පෙනී සිටීමට ඇති බිය පහව යාමට පටන් ගත්තේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Richard Kennady
"ගොඩක් අය පොඩි කැමරා අරගෙන ෆොටෝ ගන්න පටන් ගත්තා," රිචඩ් පැහැදිලි කළේ ය.
ඔහුගේ සේවය සඳහා ඇති ඉල්ලුම පහළ යාමත් සමග, ඔහු ඔහුගේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා දේවස්ථානවල පූජා අවස්ථා සහ උත්සව ආවරණය කිරීමට යොමු විය.
රවීන්ද්‍රන් පාසල් උත්සව සහ පොදු උත්සව කෙරෙහි අවධානය යොමු කළේ ය. අවසානයේ ඔහු මංගල ඡායාරූප ශිල්පියෙකු බවට පත්විය.
මේ වන විට වයස අවුරුදු හැට ගණන්වල පසුවන ඔහු, ඔහුට මෙම ව්‍යාපාරය ඉගෙනීමට සහ මරණ බියෙන් මිදීමට උදව් කළ මියගිය පුද්ගලයින්ට ස්තූතිවන්ත වෙයි. නමුත්, ඔහු ජීවිතක්ෂයට පත්වූ විට එම සිරිත අනුව කටයුතු සිදුවීමේ අවශ්‍යතාවක් ඔහුට නොමැත.
"මගෙ මරණෙන් පස්සෙ කිසි කෙනෙක් මගේ ෆොටෝ ගන්නවට මම කැමති නැහැ," ඔහු තරයේ ප්‍රකාශ කරයි.
රිචඩ් ඔහුගේ සීයාගේ මරණයෙන් පසු ඔහුගේ ඡායාරූපයක් ගත් අතර, ඔහුගේ මුතුන් මිත්තන් පරම්පරා තුනකගේ ඡායාරූප ඔහු සතු ය. රවීන්ද්‍රන් මෙන් නොව, 54 හැවිරිදි ඔහු තවමත් මියගිය අයගේ ඡායාරූප විශාල එකතුවක් තබාගෙන සිටියි.
"අපේ පවුල හැමතිස්සෙම අපේ මුතුන් මිත්තන්ගේ ෆොටෝ පරිස්සම් කරලා තියාගත්තා. මම මැරුණට පස්සේ ෆොටෝ එකක් ගන්න ඕන බව ත්, ඒ ෆොටෝ එක පවුලේ උරුමයේ කොටසක් වෙන්න ඕන බව ත් මම මගේ බාල පුතාට කිව්වා."












