ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය:ශ්‍රී ලංකාව අපරාජිතව ඉදිරියට

ශ්‍රී ලංකා කණ්ඩායම "බී" කාණ්ඩයෙන් අපරාජිතව සුපර් සික්ස් වටයට එළඹීමට අද (ජුනි 27 වැනිදා) සමත්විය.

ඒ, ICC ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ස්කොට්ලන්තය සමග පැවති තරගය ද ජය ගැනීමෙන් අනතුරුවය.

අද තරගය ලකුණු 82 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු ස්කොට්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49.3 කදී සියලු දෙනා දැවී රැස් කර ගනු ලැබුවේ ලකුණු 245ක් පමණයි.

අසරණවූ ශ්‍රී ලංකා පිතිකරුවන්

පෙර පැවති තරගවලට සාපේක්ෂව ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහර දීමේදී අද ස්කොට්ලන්ත පන්දු යවන්නන් හමුවේ දැඩි පීඩනයකට ලක්විය.

ඒ ස්කොට්ලන්ත පන්දු යවන්නන් විසින් තරගය ආරම්භයේ සිට ශ්‍රී ලංකා පිතිකරුවන් සිය ග්‍රහණයට නතුකර ගැනීම හේතුවෙනි.

අද තරගයේ දී ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 07ක් ලබා සිටියදී දවා ගැනීමට ක්‍රිස් සෝලේ සමත් විය.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වුයේ ලකුණු 34ක් ලෙසය.

පෙර තරගයේදී අයර්ලන්තය හමුවේ ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් අද තරගයේ දී එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියේය.

ශ්‍රී ලංකා ඉනිමට සවියක් වූ පැතුම්

ලකුණු 43 කට කඩුලු දෙකක් දැවී ගොස් සිටි ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සිය අන්තයෙන් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් දැඩි සටනක නිරත විය.

පැතුම් නිස්සංකට අනගි සහයක් ලබා දෙමින් සධීර සමරවික්‍රම ද (26) ශ්‍රී ලංකා ඉනිමේ තෙවන කඩුල්ල සඳහා ලකුණු 55ක් එක් කිරීමට සමත් විය.

සධීර ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි චරිත් අසලංක සහ පැතුම් නිස්සංක ස්කොට්ලන්ත පන්දු යවන්නන් හමුවේ ආරක්ෂිතව ලකුණු රැස් කරමින් සිව්වෙනි කඩුල්ල සඳහා ලකුණු 44ක් එක් කිරීමට සමත් වීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ පැතුම් නිස්සංක පන්දු 85 කදී ලකුණු 75කට දැවී ගිය අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 10ක් ඇතුලත් විය.

පැතුම් ගේ දැවී යාමෙන් පසු පිටියට එක්වූ ධනංජය ද සිල්වා, චරිත් අසලංක සමග 5 වන කඩුල්ල සඳහා ලකුණු 61ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වීම හමුවේ ශ්‍රී ලංකා ඉනිම යම්තාක් හෝ ශක්තිමත් විය.

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිම

තරගයේ 39 වෙනි පන්දු වාරයේදී ලකුණු 23ක් ලබා ගෙන සිටිය ධනංජය ද සිල්වා දැවී ගිය අතර නායක දසුන් ශානක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 203 කට කඩුලු 6ක් ලෙස සටහන්ව තිබියදීයි.

ඉන් පසුව යවන ලද පන්දු වාරයේ දී ලකුණු 63ක් රැස් කර ගෙන සිටි චරිත් අසලංක ගේ කඩුල්ල දවා ගැනීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් සමත් විය.

ඉන් පසුව ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වනිදු හසරංග (15) සහ මහිෂ් තීක්ෂණ (16) ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 245ක් දක්වා ගෙන ඒමට සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 06 ලකුණු 42 කට දවා ගැනීමට ස්කොට්ලන්ත පන්දු යවන්නන් සමත් විය.

ස්කොට්ලන්ත පිලේ දඟ පන්දු යවන්නන් වන ක්‍රිස් ග්‍රිව්ස් ලකුණු 32 කට කඩුලු 4ක් ද, මාර්ක් වෝට් ලකුණු 52 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ අණසක පැතිරවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්

ලකුණු 246ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 163 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ස්කොට්ලන්ත පිතිකරුවන්ට තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයකි.

ස්කොට්ලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 14 කට දවා ගැනීමට ලහිරු කුමාර සමත් විය.

කෙසේ වුවත් ස්කොට්ලන්තයේ ක්‍රිස් සෝලේ සහ ක්‍රිස් ග්‍රිව්ස් 09 වෙනි කඩුල්ල සඳහා ලකුණු 55ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් විය.

ස්කොට්ලන්තය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ක්‍රිස් ග්‍රීවිස් පන්දු 41කදී නොදැවී ලකුණු 56ක් රැස් කිරීම තරගයේදී කැපී පෙනුණි.

මහිෂ් තීක්ෂණ ලකුණු 41 කට කඩුලු තුනක් ද, වනිදු හසරංග ලකුණු 42 කට කඩුලු දෙකක් දවා ගනු ලැබීය.

සුපර් සික්ස් වටයේ ඉදිරි තරග

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ලබන 30 වැනිදා නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර සුපර් සික්ස් වටයේ තරගය ජුලි මස 02 වෙනිදා පැවැත්වීමට නියමිත අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරගය ජුලි මස 07 වෙනිදා පවැත්වේ.

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළමු ජය

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් තරගයක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත්විය.

ඒ, ICC චැම්පියන් කාන්තා ශුරතාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අද පැවති තරගය කඩුලු 09 කින් ජයග්‍රහණය කරමින්ය.

තරගය පැවැත්වුනේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පන්දු වාර 28 කට සීමා කෙරුණි.

තරගයේ කාසියේ වාසිය දිනු නවසිලන්ත කාන්තා කණ්ඩායම පළමු වෙන් ලකුණු රැස් කිරීමට තීරණය කළේය.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සිය පන්දු වාර 28 අවසානයේ දී කඩුලු 05ක් දවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 171ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 27ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායක චමරි අතපත්තු පන්දු 83 කදී නොදැවී ලකුණු 108ක් රැස් කළ අතර ඊට හතරේ පහරවල් 10ක් සහ හයේ පහරවල් 05ක් ඇතුලත් විය.

විශ්මි ප්‍රනාන්දු පන්දු 74 කදී ලකුණු 50ක් රැස් කිරීමට සමත්වූවාය.

චමරි සහ විශ්මි අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැවති සම්බන්ධතාවය ලකුණු 159කි.