'යාපනය ඉදලා කටුනායක යන්න රුපියල් 75,000 ක් විතර දීලා තමයි යන්නේ'

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් සේවා කටයුතු වසර ගණනාවකට පසුව පසුගිය සඳුදා (12) නැවත ආරම්භ කෙරිණ.
ඒ අනුව ඉන්දියාවේ,චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් එදින ළඟා විය.
මීට පෙර පැවති කොරෝනා වසංගත තත්වය හා ගුවන් තොටුපොළ සංවර්ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණ.
ඉතිහාසය
1947 දෙසම්බර් 10 වැනිදා එයාර් සිලෝන් නමින් පැවති ගුවන් ගමන් සේවාව රත්මලාන සිට එවක මැඩ්‍රාස් නමින් හැදින්වු මදුරාසිය දක්වා ගුවන් ගමන් කිරීමේදී පලාලි හරහා ගමන් කළ බවත්, 1960 හා 1970 දශකයන් තුළ පලාලි සිට චෙන්නායි දක්වා ගුවනින් විනාඩි 45 ක පමණ කාලයකින් ගමන් කිරීමට හැකියාවක් පැවති බවද යාපනය ජිවත්වන වැඩිහිටියෝ පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Jaffna International Airport
1982 වසරේ ජනවාරි මාසයේදී පලාලි ප්‍රදේශයේ ගුවන් හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කොට තිබිණ.
යුධ සමයේ පැවති ආරක්ෂක තත්වය පාදක කර ගනිමින් යාපනයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා නවත්වා තිබු අතර, ආරක්ෂක කටයුතු හා උතුරු පළාතට පැමිණෙන ප්‍රභූ ගමන් සේවා වෙනුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් පමණක් පලාලි ගුවන් තොටුපොළ හරහා ක්‍රියාත්මක විණ.
ගුවන් තොටුපල සංවර්ධන කටයුතු
ශ්‍රී ලංකා රජයේ හා ඉන්දීය රජයේ එකඟතාවය මත රුපියල් මිලියන 2250 ක වියදමකින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකළ අතර,ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1950 ක්ද, ඉන්දීය රජය රුපියල් මිලියන 300 ක්ද යොදා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධන කටයුතු සැලසුම් කොට තිබිණ.

ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම අදියර තුනක් යටතේ සිදුකිරීමට සැලසුම් කොට තිබේ.
ඒ අනුව ආසන 80 ට අඩු ගුවන් යානා හැසිරවීමට හැකි ලෙස ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම එහි පළමු අදියර යටතේ සිදුවිය.
දෙවන අදියර යටතේ ගුවන් පථය කිලෝමීටර 1.5 ක් දුරට සකස් කොට විශාල ගුවන් යානා හැසිරවිය හැකි ලෙසට ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට අරමුණ කොට පැවතිණ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 2019 ඔක්තෝම්බර් 17 වැනිදා මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසට පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කළහ.

භාෂා අන්දෝලනය
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය මත යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හැදින්වීමේ පුවරුවේ නම සකස් කිරීමේදී පළමුව දෙමළ භාෂාවෙන්ද,දෙවනුව සිංහල භාෂාවෙන්ද, තෙවනුව ඉංග්‍රීසි භාෂාවෙන්ද නම් සඳහන් කොට තිබු අතර, එවකට අදාළ නාම පුවරුව සම්බන්ධයෙන් විවිධ මතයන් ඉදිරිපත් විණ.

පලාලි චෙන්නායි ගුවන් ගමන්
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා නැවත වතාවක් ගුවන් ගමන් සේවා ආරම්භයත් සමඟ ඉන්දියාවේ,චෙන්නායි සිට පලාලි දක්වා සතියේ සෑම සදුදා,අඟහරුවාදා,බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා දිනයකම ගුවන් ගමන් සේවා සුදානම් කොට ඇති බව ගුවන් තොටුපොළ භාර මෙහෙයුම් කළමණාකාර ඩබි.එම්.එල්.ජි.වන්සේකර බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
යාපනයේ ජනතාව කියන්නේ කුමක්ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පලාලි සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් සේවා නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් යාපනය වැසියෙකු වු නඩරාසා මනෝහරන් අප වෙත කියා සිටියේ “යාපනය ඉදලා චෙන්නායි දක්වා ගුවන් සේවාව නැවත ආරම්භ කිරීම උතුරු නැගෙනහිර ජනතාවට ලොකුම සහනයක්.නැත්නම් අපි ඉන්දියාවට යන්න යන කාලයට වඩා වැඩි කාලයක් යාපනය ඉදලා කටුනායක යන්න ගතවෙනවා.ඒ වාගේම යාපනය ඉදලා කටුනායක යන්න රුපියල් 75,000 ක් විතර දීලා තමයි වෑන් එකකින් කටුනායකට යන්න ඕනේ.කටුනායක ඉදලා ඉන්දියාවට ගුවන් ටිකට්පත්වලට යන මුදලට වැඩි මුදලක් යාපනය ඉදලා කටුනායක යන්න වෑන් රථයට ගෙවන්න ඕනේ."
"ඒත් පලාලි ඉදලා කෙලින්ම චෙන්නායිවලට යන්න අපිට පහසුකම් තිබුණොත් අපේ කාලයයි,මුදලයි දෙකම ඉතුරු වෙනවා.යාපනය ඉදලා චෙන්නායි යන්න වැඩිම වුණොත් පැයක කාලයක් තමයි යන්නේ."
"ඒක හින්දා පලාලි ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීම උතුරු නැගෙනහිර ජනතාවට මහත් ප්‍රයෝජනයක්. ඉන්දියාවේ ඉන්න අපේ නැදෑයෝ බලන්න අපිට දැන් හරිම පහසුයි.පැයකින් දෙකකින් ඉන්දියාවට ගිහිල්ලා එන්න පුළුවන් කියන්නේ හැමෝටම සහනයක්.” යනුවෙනි.
ගුවන් ටිකට් පත් නිකුත් කරනු ලබන සංචාරක නියෝජිතායතනකින් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔවුන් පැවසුවේ යාපනයේ සිට චෙන්නායි දක්වා එක් ගමනකට ශ්‍රී ලංකා රුපියල් 44,000 ක් ආසන්න අගයක්ද යාමට සහ ඒමට ශ්‍රී ලංකා රුපියල් 65,000 කට ආසන්න අගයකද ටිකට් පත් අළෙවි වන බවයි.












