ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාවේ ශිෂ්‍ය වීසා: 'මොකක් ද කරන්න ඕන කියලා හිතා ගන්න බැහැ. අපිට යුනිවර්සිටීස්වලින් මේ වෙනකම් කිසි ම දෙයක් කියලත් නැහැ'
ඇමෙරිකාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණෙන සිසුන්ගේ වීසා ඉල්ලුම්පත් තාවකාලිකව අත්හිටුවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කිරීමත් සමග ලොව පුරා රටවල සිසුහු දැඩි කනස්සල්ලට සහ අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දී සිටිති.
සමාජ මාධ්‍ය හරහා කෙරෙන පරීක්ෂා කිරීම් වැඩි කිරීමට සැලසුම් කර ඇති බැවින්, ශිෂ්‍ය වීසා සම්මුඛ පරීක්ෂණ සඳහා වන කාලය වෙන් කිරීම අත්හිටුවන ලෙස ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය තානාපති කාර්යාලවලට පවසා තිබේ.
බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු වන CBS ප්‍රවෘත්ති සේවය මගින් නිරීක්ෂණය කරන ලද රාජ්‍ය දෙපාර්තමේන්තු ලියවිල්ලකට අනුව, සම්මුඛ පරීක්ෂණ සඳහා මීට පෙර කාලය වෙන්කරවා නොගත් ශිෂ්‍ය වීසා දින වෙන්කිරීම් අවලංගු කරන ලෙස දැනුම් දී ඇත. කෙසේ වෙතත්, දැනටමත් කාලය වෙන්කරවා ඇති සම්මුඛ පරීක්ෂණ සිදුකළ හැකි බව ඉන් දැනුම් දී තිබේ.
එය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 'වඩා ලිබරල් යැයි' සලකන ඇමෙරිකාවේ ඇතැම් ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලට එරෙහිව ගෙන යනු ලබන පුළුල් පරාසයක මර්දනයේ කොටසකි.
බොහෝ සිසුන් මේ නිසා අවිනිශ්චිත තත්ත්වයකට පත් ව තිබේ. එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් වීසා සම්මුඛ පරීක්ෂණ සඳහා දැන් කාලය වෙන් කර ගැනීමට නොහැකි අතර, ඇති වන ප්‍රමාදයන් හේතුවෙන් එම සිසුන්ගේ ශිෂ්‍යත්ව ප්‍රදානයන් අවදානමට ලක් වීමේ හැකියාව ද පවතී.
'පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය බැරෑරුම් ලෙස සලකනවා'
"රටට පැමිණෙන අය කවුරුන් ද යන්න පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය අපි ඉතා බැරෑරුම් ලෙස සලකනවා, අපි එය දිගට ම කරගෙන යනවා," ශිෂ්‍ය වීසා බලපත්‍ර පිළිබඳව විමසූ විට, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ටැමී බෲස් ඉකුත් අඟහරුවාදා වාර්තාකරුවන්ට පවසා තිබිණි.
උසස් අධ්‍යාපනයට එරෙහි ඔහුගේ පුළුල් මර්දනයේ කොටසක් ලෙස, ට්‍රම්ප් හාවඩ් විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීම තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, යුදෙව් විරෝධතා මර්දනය කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බවට ඔහු චෝදනා කරයි.
ඊට ප්‍රතිචාර වශයෙන් හාවඩ් විශ්වවිද්‍යාලය නඩුවක් ගොනු කළ අතර, ට්‍රම්ප්ගේ තහනම දැනට ෆෙඩරල් විනිසුරු විසින් අත්හිටුවනු ලැබ ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගයක් මැයි 29 වන දින පැවැත්විණි.
සමාජ මාධ්‍ය ගිණුම් වීසා සඳහා බලපාන්නේ කෙසේ ද?
ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීමේ මාවතට සමාජ මාධ්‍ය ගිණුම් මගින් දැන් දැඩි බලපෑමක් එල්ල විය හැකි ය.
Facebook, X, LinkedIn, Tik Tok සහ Instagram වැනි සමාජ මාධ්‍ය වේදිකා මෙම පරීක්ෂාවට යටත් වේ.
මෙහිදී ඇමෙරිකාවේ අධ්‍යාපනය ලැබීමට අයැදුම් කරන සිසුන්ගේ සිසුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වල ක්‍රියාකාරකම් පරීක්ෂා කෙරෙන අතර එලෙස විමර්ශනයෙන් පසුව පමණක් සිසුන්ට ඇමෙරිකානු විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමට වීසා ලබා දිය යුතු ද නැද්ද යන්න තීරණය කරනු ලැබේ.
පසුගිය මාසයේදී ට්‍රම්ප් පරිපාලනය ඇමෙරිකානු විශ්වවිද්‍යාල පරිශ්‍රයන්හි පලස්තීනුවන්ට සහය දක්වමින් විරෝධතා දැක්වූ සිය ගණනක් සිසුන්ගේ වීසා බලපත්‍ර අවලංගු කරන ලදී.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පලස්තීනුවන්ට සහය දක්වමින් සමාජ මාධ්‍ය ගිණුම්වල අන්තර්ගත පළ කර තිබිණි.
ඇමෙරිකානු පරිපාලනය පැවසුවේ, සිසුන්ට වීසා ලබා දෙන්නේ, අධ්‍යයන කටයුතු සඳහා මිස ක්‍රියාකාරීන් ලෙස කටයුතු කිරීම සඳහා නොවන බව ය.
'මොකක් ද කරන්න ඕන කියලා හිතා ගන්න බැහැ. අපිට ඇමෙරිකාවේ යුනිවර්සිටීස්වලින් මේ වෙනකම් කිසි ම දෙයක් කියලත් නැහැ'
බීබීසී සිංහල සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඇතැම් ශිෂ්‍ය වීසා උපදේශන සේවා සිදුකරන ආයතනවල නියෝජිතයින් කියා සිටියේ, වීසා සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටීමේ කාලය වෙන් කරවා ගැනීමේ වෙබ් අඩවිය වෙත ප්‍රවේශ වීමේ අපහසුතා පැන නැගුණු බව ය.
"සමහර වෙලාවට වෙබ් එක ඇක්සස් කරන්න පුළුවන් වුණත් ටයිම් ස්ලොට් එකක් රිසර්ව් කරන්න දෙන්නේ නැහැ. මේ සැප්තැම්බර් මාසයේ වෙද්දී ඇකඩමික් පටන් ගන්න කැම්පස්වලට යන්න බලන් ඉන්න අය කිහිප දෙනෙක් ඉන්නවා. මොකක් ද කරන්න ඕන කියලා හිතා ගන්න බැහැ. අපිට ඇමෙරිකාවේ යුනිවර්සිටීස්වලින් මේ වෙනකම් කිසි ම දෙයක් කියලත් නැහැ," ශිෂ්‍ය උපදේශන සේවා සිදුකරන එක් ආයතනයක නියෝජිතයෙක් පැවසීය.
මේ අතර, ඇමෙරිකානු ශිෂ්‍ය වීසා සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින් තම අනන්‍යතාව හෙළි නොවන පරිදි ෆේස්බුක් සමාජ මාධ්‍ය සමූහයන්හි ඒ පිළිබඳව සටහන් පළකර තිබිණි.
ඔවුන්ගෙන් ඇතැමෙකු ශිෂ්‍ය වීසා ලබා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණවලට වේලාවක් වෙන් කරවා ගැනීම පිළිබඳව මෙන් ම තවත් පිරිසක් සම්මුඛ පරීක්ෂණය සඳහා කල් තියා වේලාවක් වෙන් කරවා ගත්ත ද තමන්ට අධ්‍යාපනය හැදෑරීමට සඳහා ඇමෙරිකාවට යාමට හැකිවේ ද යන්න පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයකින් පසුවන බව නිරීක්ෂණය විය.
ඇමෙරිකාවේ තීරණයෙන් අතරමං වූ ජාත්‍යන්තර ශිෂ්‍යයින්
මේ අතර, තම පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ඇති වීසා බලපත්‍රය සඳහා බලපෑමක් ඇති වනු ඇතැයි බියෙන් නම හෙළි කිරීමට අකමැති වූ ෂැංහයිහි ජීවත් වන 22 හැවිරිදි ශාස්ත්‍රපති උපාධිය සඳහා සූදානම් වන ශිෂ්‍යයෙකු බීබීසීයට පැවසුවේ, "මට දැනටමත් ඒ ගැන කණගාටු වෙනවා," යනුවෙනි.
තම අයැදුම්පත අනුමත වීම වාසනාවක් බව එම ශිෂ්‍යයා පැවසූ නමුත් එය ඔවුන්ගේ අවිනිශ්චිතතාව අඩු කර නැත.
"මම ඇමෙරිකාවේ ඉගෙන ගත්තත්, මගේ උපාධිය ගන්න ඉඩ නොදී මාව චීනයට එළවලා දාන්න පුළුවන්. ඒක හරි ම බය හිතෙන දෙයක්," ඔහු පවසයි.
අධ්‍යාපනය සඳහා හොඳ විකල්පයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සලකනු ලබන සිසුන්ගේ සංඛ්‍යාව අඩු වනු ඇතැයි තමන් විශ්වාස කරන බව සිය අනන්‍යතාව හෙළි නොකරන ලෙස ඉල්ලා සිටි 24 හැවිරිදි ඉන්දියානු ජාතික ශිෂ්‍යයෙක් පැවසීය.
කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සඳහා ලියාපදිංචි වෙමින් නිව් ජර්සිහි තම ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය ආරම්භ කිරීමට ලැබීම ගැන තමා ඉතා සතුටට පත්වන බව ඔහු පැවසීය.
ඔහුට විශ්වවිද්‍යාලයෙන් I-20 ලේඛනය හිමිවූ අතර එය ඇමෙරිකා එක්සත් ජනපදයේ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයැදුම් කිරීමට අවශ්‍ය වැදගත් ලේඛනයකි.
කොන්සියුලර් කාර්යාල හරහා සම්මුඛ පරීක්ෂණ සඳහා වන වේලාවන් වෙන් කරවා ගැනීම් සිදු කර නොහැකි වී හෝ ඒවා කල් දමා ඇති බැවින් ඔහු "දැඩි ලෙස කනස්සල්ලට" පත් වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමට කැමති විදේශීය සිසුන් සාමාන්‍යයෙන් අනුමැතිය ලැබීමට පෙර තම මව් රටේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා කාලය වෙන් කර ගත යුතු ය.
සිදුවන්නේ කුමක්දැයි නොදැන තමන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට සිදුව ඇති බව ඔහු පැවසීය. ඔහු තම අධ්‍යයන කටයුතු ප්‍රමාද කළහොත් ඔහුට ශිෂ්‍යත්වය ද අහිමි විය හැකි ය.
එක්සත් රාජධානියේ සිසුහු ද මින් පීඩාවට පත්ව සිටිති.
නෝර්විච්හි 27 හැවිරිදි ඔලිවර් ක්‍රොප්ලි පැවසුවේ, තමා කැන්සාස්හි වසරක් අධ්‍යාපනය ලැබීමට නියමිතව සිටි නමුත් එම සැලැස්ම දැන් අවදානමට ලක්ව ඇති බව ය.
ඇමෙරිකා එක්සත් ජනපදය වීසා අයැදුම්පත් අත්හිටුවීමේ පුවත, "විශාල බලාපොරොත්තු සුන්වීමක්. අයැදුම් කරන ක්‍රියාවලියට පවුම් 300ක් ගෙව්වත්, දැනට මට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් නැහැ," ක්‍රොප්ලි පැවසීය.
ඔහුට ඇමෙරිකා එක්සත් ජනපදයේ විදේශ අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් ශිෂ්‍යත්වය අහිමි වීමේ අවදානමක් ද ඇති අතර, අවසාන මොහොතේ නවාතැන් සොයා ගැනීමට සහ අධ්‍යයන කටයුතු ප්‍රමාද නොකිරීමට විශ්වවිද්‍යාලය සමග වෙහසක් යොදා කටයුතු කිරීමට ද සිදුවිය හැකිය.
විදේශීය සිසුන් පිළිබඳව දත්ත රැස් කරන සංවිධානයක් වන Open Doors පවසන පරිදි, 2023-24 අධ්‍යයන වර්ෂය තුළ රටවල් 210කට අධික සංඛ්‍යාවකින් ජාත්‍යන්තර සිසුන් මිලියන 1.1කට වැඩි පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇත.
බොහෝ විට විශ්වවිද්‍යාල විසින් මෙම ජාත්‍යන්තර සිසුන්ගෙන් අධ්‍යාපනය සඳහා ඉහළ ගාස්තු අය කරන අතර එය විශ්වවිද්‍යාල අයවැයේ තීරණාත්මක සාධකයක් ලෙස ද සැලකේ.