ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2026 IPL වෙන්දේසියේ දෙවැනි වටිනාම ක්‍රීඩකයා මතීෂ පතිරණ
- Author, බීබීසී සිංහල
2026 IPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අබුඩාබිහිදී (දෙසැම්බර් 16 වැනිදා) පැවැත්විණි.
වෙන්දේසියට ක්‍රීඩකයින් 369ක් ඇතුළත් වූ අතර වෙන්දේසියේ ඉහළම මිලකට අලෙවි වූයේ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක කැමරන් ග්‍රීන්ය.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඔහු ඉන්දීය රුපියල් කෝටි 25.2කට මිලදී ගනු ලැබීය.
වෙන්දේසියේ දෙවැනියට වැඩිම මුදලකට අලෙවි වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මතීෂ පතිරණය.
ඔහු මිලට ගත්තේද කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනි.
ඉන්දීය රුපියල් කෝටි 18ක මිලක් ඔහුට නියම වූ අතර එහි ශ්‍රී ලංකා වටිනාකම දැක්වෙන්නේ කෝටි 61.2ක් ලෙසයි.
අයි.පී.එල් ඉතිහාසයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිල මෙය වේ.
පැතුම් නිස්සංකට ඉන්දීය රුපියල් කෝටි 4ක මිලක්
ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි දෙකක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 6.7ක මුදලකට
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මිලට ගත්තේය.
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූ අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ පැතුම් නිස්සංකය.
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලකට ඔහු සිය කණ්ඩායම වෙත ලබා ගත්තේය.
එහි ශ්‍රී ලංකා වටිනාකම රුපියල් කෝටි 13.61ක් වේ.
ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වූ මහීෂ් තීක්ෂණ, දසුන් ශානක, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් අලෙවි වූයේ නොමැත.
චෙන්නායි සුපර් කිංග්ස් මිලදී ගත් නවක ක්‍රීඩකයින් දෙදෙනා
චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම 19 හැවිරිදි නවක ක්‍රීඩක කාර්තික් ශර්මා ඉන්දීය රුපියල් කෝටි 14.2ක මුදලකට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබීය.
නවක ක්‍රීඩක ප්‍රශාන්ත් වීර් මිලට ගත්තේද චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම විසිනි.
ඔහුටද ඉන්දීය රුපියල් කෝටි 14.2ක මුදලක් හිමි විය.
එංගලන්තයේ ලියම් ලිවිංස්ටන් ඉන්දීය රුපියල් කෝටි 13ක මුදලකට මිලදී ගනු ලැබුවේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසිනි.
මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් 77ක් අලෙවි වී ඇති අතර, ඉන් ක්‍රීඩකයින් 29ක් විදෙස් ක්‍රීඩකයෝ වෙති.
වෙන්දේසියේදී අලෙවි වූ ක්‍රීඩකයින්ට නියම වූ මුළු මුදල ඉන්දීය රුපියල් කෝටි 215.45 කි.