ශතවර්ෂයක පටන් දිවයිනටම නුවණ බෙදන දැනුම් යාත්‍රාව

Colombo Public Library
ඡායාරූප ශීර්ෂ වැකිය, කොළඹ මහජන පුස්තකාලයේ විමර්ශන අංශය

ඔබ පොත්පත් කියවීමට නිබඳව ම ආශාවක් දක්වන්නෙකු නම් මෙම ලිපියෙන් බීබීසී සිංහල ගෙන එන ස්ථානය පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැන සිටීමට ඇති ඉඩකඩ ඉතා ඉහළ ය.

එසේ නොවූවත්, ඔබ කොළඹ නගරයේ සැරිසරන අයෙකු නම්, ඒත් ඔබ මෙම ස්ථානය ගැන දැන සිටීමට පුළුවන.

කොළඹ නගරය මැද පිහිටා ඇති මනරම් උද්‍යානයක් වන විහාරමහා දේවි උද්‍යානයට සීමා වී පවතින මෙම දැනුම් ගබඩාව අන් කිසිවක් නොව කොළඹ මහජන පුස්තකාලය යි.

සියලුම ආකාරයේ පුස්තකාල සේවා, ජංගම පුස්තකාල සේවා, ශ්‍රවණාගාර පහසුකම්, නවීන කියවීම් ශාලා මෙන් ම ආපනශාලා සහ අනෙකුත් සියලුම පහසුකම් විශාල ප්‍රමාණයක් පවතින ශ්‍රී ලංකාවේ එකම පුස්තකාලය ලෙස කොළඹ මහජන පුස්තකාලය නම් කිරීමට හැකි ය.

කොළඹ නගර සභාව මඟින් කොළඹ ක්‍රියාත්මක වන මෙම පුස්තකාලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකුට වයස් භේදයකින් තොරව ලබා ගත හැකි අතර, විදේශිකයෙකුට වුවත් පොත්පත් පරිශීලනයට අවසර පත්‍රයක් ලබා ගැනීමට ඉතා පහසු ය.

කලකට පෙර පටන් මෙම පුස්තකාලයේ සාමාජිකත්වය ගැනීමට නම් කොළඹ පදිංචි කරුවෙකු විය යුතුයැ යි දුර්මතයක් සමාජයේ තිබූ නමුත්, ඕනෑම අයෙකුට එහි සාමාජිකත්වය ගැනීමට බාධාවක් නොමැත.

කොළඹ මහජන පුස්තකාලය පිළිබඳ ඔබ නොදත් කරුණු රැසක් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනු ලැබේ.

'සිරි නිවසේ' සිට 'විහාරමහා දේවිය' දක්වා

කොළඹ මහජන පුස්තකාලයේ ආරම්භය 1925 දක්වා ඈතට දිව යයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

බීබීසී සිංහල වෙත තොරතුරු ලබාදුන් කොළඹ මහජන පුස්තකාලයේ පළමු ශ්‍රේණියේ පුස්තකාලාධිපතිවරයෙකු වන ප්‍රසාද් ගුණසේකර පෙන්වා දුන්නේ 1920 දශකයේ පිටකොටුවේ සහ කොළඹ කොටුවේ පැවති ප්‍රජා මූල මණ්ඩල පුස්තකාලවලට සමාන පුස්තකාල දෙකක් මහජන පුස්තකාලය ගොඩනැගීමට මූලබීජය වූ බව යි.

එම පුස්තකාල දෙක පවත්වාගෙන යාමේ අපහසුතාවයන් ඇතිවීම හේතුවෙන්, එම පුස්තකාල දෙකෙහිම පොත් කොළඹ මහ නගර සභාවට ලබාදී ඒ හරහා පුස්තකාලයක් ආරම්භ කිරීම කොළඹ මහජන පුස්තකාලයේ ආරම්භක කතාව යි.

ආරම්භයේ දී ගොඩනැගිල්ලක් හෝ කිසිදු පහසුකමක් නොතිබූ නිසා පුස්තකාලය ආරම්භ කරන්නේ කොළඹ නගරාධිපති නිල නිවස වන "සිරි නිවස" තුළම ය.

ආරම්භ කළ මුල් වකවානුවේ දී බැහැරදීමේ අංශයක්, විමර්ශන අංශයක්, කියවීමේ ශාලාවක් හා පුවත්පත් අංශයක් පුස්තකාලයට ඇතුළත්ව තිබූ බව ප්‍රසාද් ගුණසේකර පැවසුවේ ය.

පුස්තකාලයේ පළමු ප්‍රධාන පුස්තකාලාධිපතිවරයා වූයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයයේ පුස්තකාල විද්‍යාව සම්බන්ධයෙන් උපාධිදාරියෙකු වූ එස්. සී. බ්ලොක් ය. ඔහු 1925 සිට 1949 වර්ෂය දක්වා එම තනතුරේ සේවය කර තිබේ.

ආරම්භයේ සිට මේ දක්වා එහි ප්‍රධාන පුස්තකාලාධිපතිවරුන් සය දෙනෙකු සේවය කර ඇති අතර වර්තමාන ප්‍රධාන පුස්තකාලාධිපතිනිය වන වරුණි ගඟබඩආරච්චි සත්වැනියා ය.

පුස්තකාලය ආරම්භ කර දශක හයක් පමණ ගෙවී ගිය තැන පුස්තකාලය වර්තමානයේ පවතින ස්ථානයට රැගෙනවිත් තිබේ.

සිරි නිවසේ ඉඩකඩ සීමාවීම සහ පුස්තකාල සාමාජිකයන් ප්‍රමාණය ඉහළ යාමත් නිසා අවශ්‍ය ගුණාත්මක සේවය ලබා දීමේ අරමුණින්, ඊෂ්වරී කොරයා ප්‍රධාන පුස්තකාලාධිපති ධූරය දැරූ සමයේ 1982 වසරේ දී විහාරමහාදේවී උද්‍යානයේ කොටසක වර්තමාන ගොඩනැගිලි ඉදිකර පුස්තකාලය නැවත පිහිටුවා තිබේ.

අංශ ගණනාවකින් ඔබ වෙත එන දැනුම

වර්තමානයේ දී කොළඹ මහජන පුස්තකාලය තුළ ප්‍රධාන අංශයන් ගණනාවක්ම ක්‍රියාත්මක වේ. වර්තමානය වන විට ක්‍රියාකාරී පුස්තකාල සාමාජිකයන් 38335ක් පද්ධතියේ ලියාපදිංචිව සිටින බව ප්‍රසාද් ගුණසේකර පවසයි.

"මේ ප්‍රමාණයට ළමා සහ වැඩිහිටි කියන දෙගොල්ලන් ම අයත් වෙනවා. අපේ ශාඛා පුස්තකාලවල සාමාජිකයන් ප්‍රමාණයත් එක්ක මේ සාමාජිකයන් ප්‍රමාණය තව වැඩිවෙනවා. මේ ගණන ප්‍රධාන පුස්තකාලයේ ලියපදිංචි ගණන පමණයි," ඔහු පැවසුවේ ය.

කොළඹ මහජන පුස්තකාලයේ ශාඛා කිහිපයක් ක්‍රියාත්මක වන අතර ඒවා කිරුළපන, වැල්ලවත්ත, හෙන්රි පේද්‍රිස් ළමා උද්‍යානය අසල, බොරැල්ල එලියට් පෙදෙස, වනාතමුල්ල, කොටහේන, මට්ටක්කුලිය, බොනවිස්ටා, සුචරිත මාවත හා කෙත්තාරාම යන ප්‍රදේශවල පිහිටා ඇත. මීට අමතරව පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බොරැල්ලේ කියවීම් ශාලාවක් ද පවත්වගෙන යනු ලබයි.

ශාඛා පුස්තකාලවලට ඔබ්බෙන් යමින් ජංගම පුස්තකාල සේවයක් ද කොළඹ මහජන පුස්තකාලය මඟින් ක්‍රියාත්මක ය.

"පුස්තකාලයට එන්න බැරි වැඩිහිටි අය සහ දරුවො වගේම පුස්තකාලයට එන්න වෙලාවක් නැති රැකියා කරන අය ඉලක්ක කරගෙන තමයි 1970 දශකයේ දි පමණ මේ ජංගම පුස්තකාල සේවය ආරම්භ වෙන්නෙ. අපි නිශ්චිත කාල සටහනකට අනුව කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවලට මේ සේවා ලබා දෙනවා," ප්‍රසාද් පවසයි.

මෙම ජංගම පුස්තකාලය කොළඹ මහ නගර සීමාවේ රාජ්‍ය ආයතන, මහල් නිවාස, බන්ධනාගාරය ඇතුළු බොහෝ ස්ථාන ආවරණය කරයි.

පැල්පත්වාසී අඩු ආදායම්ලාභී දරුවන්ගේ කියවීම වර්ධනය කිරීම සඳහා ද UNICEF හා මහජන පුස්තකාලය එක්ව පොත් පෙට්ටි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක අතර, එය ද ජංගම පුස්තකාල සේවාව මෙන් ක්‍රියාත්මක වන සේවාවකි.

Colombo Public Library
ඡායාරූප ශීර්ෂ වැකිය, ජංගම පුස්තකාල රථය

කොළඹ මහජන පුස්තකාලයෙන් ඔබට ලබාගත හැකි සේවා මොනවා ද?

එහි බැහැරදෙන පොත් අංශයේ විශාල පොත් එකතුවක් ඇති අතර, ආසන්න වශයෙන් පොත් ගණන 150,000ක් පමණ වන බව ද, ඊට අමතරව සම්පූර්ණ පුස්තකාලයේ ම පොත් සහ මූලාශ්‍ර 450,000ක් ඇති බව ද පුස්තකාලාධිපති ප්‍රසාද් පවසයි.

පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගත් අය සඳහා බැහැරදෙන අංශයෙන් එකවර පොත් හතරක් ලබා ගත හැකි අතර, ඒවා නැවත ලබා දීම සඳහා මාසයක කාලයක් ලබා ගත හැකි ය.

ඊට අමතරව මෙහි ළමා අංශයක් ක්‍රියාත්මක වන අතර එහි ද විශාල පොත් එකතුවක් තිබේ. දරුවන්ට එහි සිටම පොත් කියවීමේ පහසුකම් ද සලසා තිබේ.

පුවත්පත් අංශයක් හා වාර සඟරා අංශයක් වෙන වෙනම පුස්තකාලය තුළ පිහිටා තිබේ.

මීට අමතරව, විශේෂ විමර්ශන අංශයක් සහ විමර්ශන අංශයක් ක්‍රියාත්මක වන අතර, ඒවා පුස්තකාල නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ පාවිච්චි කිරීමට හැකි ය. විමර්ශන අංශයන් තුළ පුස්කොල පොත් එකතුවක් සහ රොබට් නොක්ස් විසින් ඔහුගේ අත් අකුරින් ලියූ පොතක් ද පවතින බව ප්‍රසාද් ගුණසේකර පැවසුවේ ය.

එමෙන් ම ඒ තුළ යටත් විජිත සමයේ ලියැවුනු බොහෝ පොත් පත් සහ රාජකාරී වාර්තා ද සුරක්ෂිතව තිබෙන බව දැක ගැනීමට හැකි විය.

කොරියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයය හා වියට්නාම් තානාපති කාර්යාලයය විසින් එම රටවලට අදාළ පොත් එකතුන් දෙකක් වෙන වෙනම පුස්තකාලය තුළ පවත්වාගෙන යන අතර ඒවා අධ්‍යයනය කිරීමේ අවස්ථාව ද සාමාජිකයන්ට හිමි ය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර කොරියානු අංශයේ කොරියානු ස්වේච්ඡා සේවකයන් කිහිපදෙනෙකු ද සේවය කළ බව ප්‍රසාද් ගුණසේකර පැවසුවේ ය.

"කොරියන් තානාපති කාර්යාලය මඟින් පවත්වපු විවිධ වැඩසටහන් ඔවුන් කළා පාඨකයන් වෙනුවෙන්. නමුත් අවාසනාවන්ත විදිහට පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවුණාට පසුව ඒ අය නැවත ඔවුන්ගේ රටට ගියා."

මීට අමතරව විමර්ශන අංශය තුළ, ජපන්, චීන, රුසියානු, ඉරාන, තායිලන්ත, ඉන්දියානු ආදී එකතු කිහිපයක් ම පවතියි.

පරණ පොත් විතර ද තියෙන්නෙ?

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ බොහෝ මහජන පුස්තකාලවල පවතින ප්‍රශ්නයක් වන්නේ අලුතෙන් නිකුත් පොත්පත් ඉක්මනින් ම පුස්තකාලයට නොපැමිණීම ය. නමුත්, වසරකට පොත් මිල දී ගැනීම සඳහා පමණක් රුපියල් මිලියන දහයක් පමණ පුස්තකාලයට වෙන් වන බව ප්‍රසාද් පෙන්වා දුන්නේ ය.

"භාෂා තුනෙන් ම අවශ්‍ය අලුත් පොත් මිල දී ගන්න ලක්ෂ සීයක විතර මුදලක් අපට නගර සභාවෙන් වෙන් වෙනවා. කලින් එක පොතකින් පිටපත් 15ක් පමණ මිල දී ගත්තා. ඒ අපේ ශාඛා පුස්තකාලවලටත් එක්කම. නමුත් දැන් පොත්වල මිල ගණන් ඉහළයාම නිසා කලින් වගේ මිලට ගන්න දුෂ්කරතාවයක් තිබෙනවා," ඔහු පෙන්වා දෙයි.

"කොහොම වුණත් හැම අවුරුද්දෙම නිකුත් වෙන ස්වර්ණ පුස්තක පොත් ටික වගේම පාඨකයන්ට වැදගත්වෙන බහුතරයක් පොත් අපි ඉතා ඉක්මනින් ම පොත් එකතුවට එක් කරනවා."

එමෙන් ම කැමති ඕනෑම අයෙකුට පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමට හැකි ය. මුදල් ආධාර කිසිවක් භාර නොගන්නා බවත් පොත් පරිත්‍යාග කිරීම් පමණක් භාර ගන්නා බවත් ප්‍රසාද් ප්‍රකාශ කළේ ය.

පාඨකයන්ට ඔවුන්ට අවශ්‍ය පොත් පුස්තකාලය තුළ නොමැති නම් ඒවා මිල දී ගන්නා ලෙස ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතියි.

Colombo Public Library
ඡායාරූප ශීර්ෂ වැකිය, විමර්ශන අංශයේ පුස්කොළ පොත්

සාමාජිකත්වය ගැනීම ඇත්තටම අපහසු ද?

පුස්තකාලයේ සාමාජිකත්වය සෑම කලක දී ම ශ්‍රී ලංකාවේ සියලු පුරවැසියන්ට විවෘත වී තිබූ එකකි. වර්තමානය වන විට එම සාමාජිකත්වය ලබා ගැනීම පෙර පැවති දුෂ්කර ක්‍රමවේදයට වඩා පහසු වී තිබේ.

කොළඹ මහ නරග සීමාවේ පදිංචි වැඩිහිටි සාමාජිකයෙකුට, එම නගර සීමාවේ පදිංචි ඇපකරුවෙක් සමග රුපියල් සියයකට සාමාජිකත්වය ලබා ගත හැකි ය.

කොළඹ පදිංචි නොවූවත් එම නගර සීමාවේ රැකියාවක නියුතු හෝ අධ්‍යාපනය ලබන අයෙකුට ද කොළඹ මහ නගර සභා සීමාවේ පදිංචි ඇපකරුවෙකු සමග රුපියල් 200කට සාමාජිකත්වය ලබා ගැනීමට හැකි ය.

නගර සභා සීමාවේ කිසිදු සම්බන්ධයක් නොමැති අයෙකුට සාමාජිකත්වය ලබා ගැනීමේ මුදල රුපියල් 500කි.

සාමාජිකත්වය අපේක්ෂා කළ බොහෝ අයට කොළඹ මහ නගර සභා සීමාවේ ඇපකරුවෙකු සොයාගැනීමේ අපහසුතාව නිසා සාමාජිකත්වය ලබා ගැනීම දුෂ්කර වී තිබුණි.

දැනට වසර පහකට පමණ පෙර ඒ සඳහා විසඳුමක් පුස්තකාල පරිපාලනයෙන් ලබා දී තිබෙන අතර එහි දී ඇපකරුවෙකු ඉදිරිපත් කිරීමට අපහසු අපේක්ෂකයන් හට නැවත ගෙවනු ලබන රුපියල් 2000ක තැන්පතුවක් තබා ඉහත සඳහන් කළ පුස්තකාල ගාස්තු ගෙවා සාමාජිකත්වය ඉතා සුළු වේලාවක් තුළ ලබා ගත හැකි ය.

සාමාජිකත්වය වසර දෙකකට වරක් අලුත් කළ යුතු ය.

මීට අමතරව විදේශීකයන්ට සහ අවශ්‍ය අනෙක් අයට රුපියල් සියයක මුදලක් ගෙවා වසරක කාලයකට අවසර පතක් ලබා ගැනීමේ හැකියාව ද පවතියි. එම අවසරපතට බැහැරදෙන අංශය භාවිත පමණක් භාවිත කිරීමට නොහැකි අතර, ඇපකරුවෙකු ද අවශ්‍ය නොවේ.

මගේ ජංගම දුරකතනයෙන්, පරිගණකයෙන් පුස්තකාලය පාවිච්චි කරන්න පුළුවන්ද?

Colombo Public Library
ඡායාරූප ශීර්ෂ වැකිය, ළමා අංශය

වර්තමානය වන විට පුස්තකාලය පරිගණක පද්ධතියක් හරහා ක්‍රියාත්මක වන නිසා සාමාජිකත්වය ලබා ගැනීම, පොත් භාරදීම සහ ලබා ගැනීම, දඩ ගෙවීම අඩු කාලයකින් කරගත හැකි ය.

ප්‍රසාද් පවසන්නේ පරිගණක පද්ධතිය පිහිටුවීමට ප්‍රථම එක් පොතක් භාර දීමට මිනිත්තු එකහමාරක් පමණ ගත වූ බවත් වර්තමානය වන විට එය තත්ප‍ර දෙකක් පමණ වන තෙක් සීමා වී ඇති බවත් ය.

එම පරිගණක පද්ධතිය හරහා සෑම සාමාජිකයෙකුටම පුස්තකාල ගිණුමක් හිමි වේ.

"මේ ලයිබ්‍රරි අකවුන්ට් එකට ලොග් වෙලා පුස්තකාල නාමාවලිය පරීක්ෂා කරන්න පාඨකයන්ට පුළුවන්. ඒ වගේම ඒ පොත් ඔවුන්ට අවශ්‍ය නම් රඳවන්නත් පුළුවන්. තමන්ගෙ පොත් ලබාගත් ඉතිහසය පරීක්ෂා කරන්න වගේ මෙතෙක් විශ්වවිද්‍යාල පුස්තකාලවල ලබා දී තිබුණ පහසුකම් දැන් ඕනෑ කෙනෙකුට අපේ පුස්තකාලයෙනුත් ලබාගන්න පුළුවන්," ප්‍රසාද් පවසයි.

එළඹෙන 2024 වසරේ දි E-library සංකල්පය යටතේ මාර්ගගත පුස්තකාලයක් ද ආරම්භ කෙරෙන බව ඔහු පැවසුවේ ය.

"ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන බුද්ධිමය දේපළ පනත වැනි නීති නිසා හැම පොතක්ම මේ E-Library එකට දාන්න අපට හැකියාවක් නෑ. නමුත් ඒ පනත උල්ලංඝණය නොවන දේවල් අපි ඒ හරහා පාඨකයන්ට පරිශීලනය කරන්න අවස්ථාව හදලා දෙනවා. ඒ වගේ ම යම් කර්තෘ කෙනෙක් සිය කැමැත්තෙන් ලිඛිත අවසරයක් ලබා දුන්නොත් අපි ඒ පොතුත් ඊට ඇතුළත් කරනවා."

සැමට නුවණ බෙදන දැනුම් යාත්‍රාව

පුස්තකාලයකින් සාම්ප්‍රදායිකව ලැබෙන ඉහත සඳහන් කළ පහසුකම්වලට අමතර ව නොමිලේ ක්‍රියාත්මක වන වැඩසටහන් ගණනාවක් ම පුස්තකාලය හරහා ක්‍රියාත්මක වේ. එයින් එක් වැඩසටහනක් වන්නේ වැඩිහිටියන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩිදියුණු කිරීමට පවත්වනු ලබන පාඨමාලාවකි.

ඊට අමතරව පාඨකයන් සමග පවත්වනු ලබන සාහිත්‍ය සංවාද ද තිබේ.

පුස්තකාලයේ ළමා අංශය මඟින් නොමිලේ වැඩසටහන් ගණනාවක් ම ක්‍රියාත්මක ය. ඉංග්‍රීසි භාෂාව වැඩිදියුණු කරන ප්‍රායෝගික වැඩසටහන්, පරිගණක භාෂා ඉගෙනුම් වැඩසටහන් (Computer Language) සහ නව නිපැයුම් සඳහා දරුවන් උනන්දු කරන වැඩසටහනක් ද ළමා පුස්තකාල අංශයෙන් ක්‍රියාත්මක වේ.

නව නිපැයුම් පාඨමාලාව සඳහා පමණක් අවශ්‍ය උපකරණ කට්ටලය සඳහා දරුවන්ට රුපියල් හත්සියයක මුදලක් ගෙවීමට සිදු වේ. මෙම වැඩසටහන් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බව පුස්තකාලාධිපති ප්‍රසාද් පැවසුවේ ය.

වර්තමානය වන විට පුස්තකාලයේ 120ක් පමණ සේවය කරන අතර පුරප්පාඩු ද විශාල ප්‍රමාණයක් පවතින බව ප්‍රසාද් පෙන්වා දුන්නේ ය.

ඔහු පැවසුවේ එම සේවක අවශ්‍යතාවයන් ද සැපිරීමට හැකි වුවොත් රටටම සේවය කරන එකම මහජන පුස්තකාලයේ සේවාව වඩාත් ගුණාත්මකව හා කාර්යයක්ෂවමව ලබා දීමට හැකිවනු ඇති බව ය.