ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ඇමෙරිකාව කොපමණ දුරක් යනු ඇති ද?

ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයට එහි නොසැලෙන සහයෝගය ලබාදෙන බවට ප්‍රතිඥා දී ඇති අතර, හමුදා ආධාර ලබා දෙමින් එය පෙන්වා දී තිබේ. එහෙත් කලාපයේ අතීත පැටලීම්වල කැළැල් ගෙන දෙන වේදනා තවමත් දැනෙමින් ඇති මොහොතක, ඇමෙරිකාවේ මැදිහත්වීමේ සීමාව කොපමණ දුරකට විහිද යනු ඇති ද?

හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු දැක්වූ පළමු ප්‍රතිචාරයේ දී, ජනාධිපති බයිඩන්, ඔහු සිටින්නේ කිනම් පාර්ශවය සමග ද යන්න පැහැදිලි කළේ ය: "එක්සත් ජනපදය ඊශ්‍රායලය වෙනුවෙන් ඉන්නවා," ඔහු පැවසීය.

"පවතින තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්න හිතන් ඉන්න අයට මට කියන්න තියෙන්නේ එක වචනය යි: එපා!" ඔහු තවදුරටත් පැවසීය.

මෙම අනතුරු ඇඟවීම පැහැදිලිව ම ඉරානය සහ එහි මිත්‍ර රටවල් වෙත එල්ල කරන ලද්දකි.

ඉරාකයේ සහ සිරියාවේ සිටින ඇමෙරිකානු හමුදා මෑත දිනවල කිහිප වතාවක් ම ප්‍රහාරයට ලක්ව ඇති බව පෙන්ටගනය පවසන අතර, රතු මුහුදේ ඇති ඇමෙරිකානු ඩිස්ට්‍රෝයර් නෞකාවක් විසින් "බොහෝ දුරට" ඊශ්‍රායලය ඉලක්කකර ගනිමින් යේමනයේ සිට එල්ල කෙරුණු මිසයිල විනාශ කළේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදයට දැනටමත් නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ ප්‍රහාරක ප්‍රවාහක නෞකා කණ්ඩායමක් ඇති අතර, තවත් කණ්ඩායමක් නොබෝ දිනකින් ඊට සම්බන්ධවීමට නියමිත ය. එම සෑම ගුවන් යානා ප්‍රවාහක නෞකාවක් සතුව ම ගුවන් යානා 70කට වැඩි ගණනක් ඇත. එය සැලකිය යුතු අවි බලයකි. අවශ්‍යතාවක් ඇතිවුවහොත් කලාපය වෙත යැවීමට බයිඩන් ඇමෙරිකානු හමුදා භටයින් දහස් ගණනක් සූදානම් කර ඇත.

එක්සත් ජනපදය ඊශ්‍රායලයේ විශාලතම හමුදාමය ආධාරකරුවා වන අතර, වසරකට ඩොලර් බිලියන 3.8ක පමණ යුද ආධාර සපයයි.

ගාසා තීරයට බෝම්බ හෙළන ඊශ්‍රායල ජෙට් යානා ඇමෙරිකාවේ නිෂ්පාදිත ඒවා ය. දැනට භාවිතා කරන නිශ්චිත ඉලක්කයකට එල්ල කළ හැකි මිසයිල ආදිය ද එරට නිෂ්පාදිත ඒවා වෙයි. ඊශ්‍රායලයට අයන් ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධතියේ මිසයිල නාශක මිසයිලවලින් ඇතැම්වා ද ඇමෙරිකාවේ නිෂ්පාදිත ඒවා ය.

ඊශ්‍රායලයෙන් ඉල්ලීමටත් පෙර ම ඇමෙරිකාව එම යුධෝපකරණ යළි සපයමින් සිටියේ ය. මේ මැදපෙරදිග මිතුරාගේ යුද්ධ කටයුතු සඳහා ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 105ක යුද්ධ ආධාර පැකේජයක කොටසක් ලෙස, ඇමෙරිකානු ඩොලර් බිලියන 14ක අරමුදල් අනුමත කරන ලෙස ජනාධිපති බයිඩන් සිකුරාදා (ඔක්. 20) කොන්ග්‍රසයෙන් ලෙස ඉල්ලා සිටියේ ය.

ඊට පසු දවසේ, එහි බලවත් ම මිසයිල ආරක්ෂණ පද්ධති දෙකක් වන 'තාඩ්' (THAAD) සහ පේට්‍රියට් (Patriot) පද්ධති මැද පෙරදිග වෙත යවන බව පෙන්ටගනය නිවේදනය කළේ ය.

නමුත්, විශේෂයෙන් ම මැතිවරණ වර්ෂයක දී තවත් යුද්ධයක පැටලීමට එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු සැබවින් ම කැමැත්තක් දක්වාවි ද? කලාපයේ මෑතකාලීන එක්සත් ජනපද හමුදා ප්‍රයත්නයන් දේශපාලනිකව, ආර්ථිකව මෙන්ම ඇමෙරිකානු ජීවිත සම්බන්ධයෙන් ද ගත්කල දැඩි බලපෑමක් එල්ල කර ඇතැ යි පෙනෙයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ඊශ්‍රායලය තානාපති මයිකල් ඕරන්, කලාපය තුළට එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහක නෞකා ගෙනයාමෙන් ජනාධිපති බයිඩන් දැනටමත් පළමු පියවර තබා ඇති බව විශ්වාස කරයි. "පාවිච්චි කරන්න උවමනාවක් නැත්නම් ඔබ ඒ වගේ ආයුධයක් එළියට ගන්නේ නැහැ," ඔහු පවසයි.

නමුත් වොෂින්ටනයේ උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ සෙත් ජී ජෝන්ස් පවසන්නේ, ගාසා තීරයේ යුද්ධයකට ඍජුව ම යුදමය වශයෙන් සම්බන්ධවීමට එක්සත් ජනපදය ඉතා මැලිවනු ඇති බව ය.

ප්‍රවාහක ප්‍රහාරක නෞකා කණ්ඩායම් සිටීම, "කිසිදු ප්‍රහාරයක් එල්ල කිරීමකින් තොරව" ප්‍රයෝජනවත් විය හැකි අතර බුද්ධි තොරතුරු රැස් කිරීමට සහ ගුවන් කලාපයට ආරක්ෂාවට සැපයීමට ඒවාට ඇති හැකියාව අවතක්සේරු නොකළ යුතු බව ඔහු පවසයි. ඔහු පවසන්නේ, ඕනෑ ම ආකාරයක යුදමය පියවරක් ගැනීම "අවසාන විසඳුම" වනු ඇති බව ය.

මූලික වශයෙන් ඊශ්‍රායලයේ උතුරු දෙසින්, විශේෂයෙන් ම සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා වෙතින් එල්ල වන තර්ජනය, ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රාජ්‍යයන් දෙක ම කනස්සල්ලට පත් කරයි.

ඉරානයේ ආධාර ලබන මෙම කණ්ඩායම ගාසාහි හමාස් සංවිධානයට වඩා විශාල තර්ජනයකි. හමාස් සංවිධානය භාවිත කරන රොකට්වලට වඩා බලවත් හා නිරවද්‍ය රොකට් 150,000ක් පමණ එය සතු ය. එය එහි දිගුකාලීන සතුරෙකු වන ඊශ්‍රායලය සමග මේ වන විටත් ප්‍රහාර හුවමාරු කර ගෙන තිබේ.

ඊශ්‍රායලය "ගාසා තීරයේ ගැඹුරට ගොස් කැපවී සිටින, වෙහෙසට පත්ව සිටින අවස්ථාවක" හිස්බුල්ලා සංවිධානය මැදිහත් වනු ඇතැ යි ඕරන් බිය පළ කරයි.

එසේ සිදුවුවහොත්, ලෙබනනය තුළ ඇති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදය එහි ප්‍රමාණයෙන් තරමක් විශාල ගුවන් බලය යෙදවීමේ ඉඩක් පවතින බව ඕරන් විශ්වාස කරන නමුත්, ඇමෙරිකාව ගොඩබිම් ප්‍රහාර එල්ල කරන තත්ත්වයක් ඔහු නොදකියි.

රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් යන දෙදෙනා ම තරයේ කියා සිටියේ, තත්ත්වය උත්සන්න වුවහොත් සහ ඇමෙරිකානු නිලධාරීන් හෝ හමුදාවක් ඉලක්ක කළහොත් එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වන බව ය.

එක්සත් ජනපදයට එහි නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති බව ත්, "සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට" පසුබට නොවන බව ත් ඔස්ටින් ඉරිදා (ඔක්. 22) ප්‍රකාශ කළේ ය.

ගැටුම් පුළුල්වීමේ අවදානමක් ඇති බව ජෝන්ස් පිළිගන්නා නමුත්, ඒවා වැළැක්වීමට එක්සත් ජනපදය ගනු ලබන ක්‍රියාමාර්ග "ඉරානය සහ එයට සම්බන්ධ කණ්ඩායම්වලට ඍණාත්මක ප්‍රතිවිපාක අත්කර දෙනු ඇති" බව ඔහු විශ්වාස කරයි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයේ උතුරේ සිට ප්‍රධාන ප්‍රහාරක මෙහෙයුමක නිරත වුවහොත් "ඔවුන් ඉතා බරපතළ ප්‍රතිචාරයකට මුහුණ දෙනු ඇති" බව ඔහු පවසයි. කලාපයේ එක්සත් ජනපද හමුදා මීට පෙර ඉරානයට සම්බන්ධ කණ්ඩායම්වල සීමිත ප්‍රහාරවලට ලක්ව ඇති බව ඔහු සඳහන් කරයි.

ඊශ්‍රායලය හමාස් සංවිධානය සමග ගෙන යන යුද්ධයට ඍජුව හමුදා සහාය ඉල්ලා සිටින්නේ නැත. ඊශ්‍රායලයේ හමුදා මතයෙන් ප්‍රකාශ කෙරෙන පරිදි, ඊශ්‍රායලයට එහි ආරක්ෂාව ගැන වගබලා ගත හැකි විය යුතුබව ජෙරුසලමේ හීබෲ විශ්වවිද්‍යාලයයේ හමුදා ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඩැනී ඕර්බාක් පෙන්වා දෙයි.

මෙම සතියේ සිදු වූ ජනාධිපති බයිඩන්ගේ ඊශ්‍රායල සංචාරය, එක්සත් ජනපද සහයෝගයට කොන්දේසි ඇති බව පෙන්නුම් කළේ ය. ඊශ්‍රායලය ගාසා තීරයට මානුෂීය ආධාර යැවීමට ඉඩ ලබාදීම ඔහු බලාපොරොත්තු වන අතර, ගාසාව සදාකාලිකව ඊශ්‍රායල් පාලනයට නතුව පවතිනු දැකීමට ද කැමැත්තක් නොදක්වයි. එසේ කිරීම "විශාල වරදක්" වනු ඇති බව, ඔහු CBSහි 60 Minutes වෙත පැවසුවේ ය.

එක්සත් ජනපද සහායට කාලය ද හරස් විය හැකි ය. හමුදා විශ්ලේෂකයෙකු සහ ජෙරුසලම් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙකු වන යාකොව් කැට්ස් විශ්වාස කරන්නේ, ගාසා තීරයේ හමුදා මෙහෙයුම ආරම්භවීම හා සිවිල් වැසියන්ට සිදුවන හානි වර්ධනයවීමත් සමග ඊශ්‍රායලයට හිමිවන ඇමෙරිකානු සහායට පීඩනයක් එල්ලවනු ඇති බව ය.

සහයෝගය සති කිහිපයකින් අඩු වී යා හැකි බවට ඔහු විශ්වාස කරයි. "දිගු කාලයක් පුරාවට සිදුවිය හැකි ගොඩබිම් ආක්‍රමණයකට ඇමෙරිකාවෙන් හෝ ලෝකයෙන් නිදහසක් ලැබේවි කියලා මම දකින්නේ නැහැ," ඔහු පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදය පැහැදිලිව ම බලාපොරොත්තු වන්නේ, ඊශ්‍රායලය වෙත දක්වන හමුදා සහයෝගය සහ එම කලාපය තුළ ශක්තිමත්ව පවතින එහි හමුදා බලය, ගැටුම් පුළුල්වීම වැළැක්වීමට ප්‍රමාණවත් වනු ඇති බව ය.

ඊශ්‍රායලය වෙනුවෙන් එක්සත් ජනපදය ඍජුව මැදිහත් වූ බවට උදාහරණ ඇත්තේ ස්වල්පයකි. 1991 වසරේ ගල්ෆ් යුද්ධයේ දී එයම ආක්‍රමණය ඇරඹීමට පෙර, ඉරාක 'ස්කඩ් මිසයිල' ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට එක්සත් ජනපදය 'පේට්‍රියට්' මිසයිල නාශක ආරක්ෂක පද්ධති යැවීම දුලබ අවස්ථාවක් විය.

ඇත්තෙන්ම, එක්සත් ජනපදය ඊශ්‍රායලය සම්බන්ධයෙන් එයට පවතින හමුදා බලයේ වාසිය, සීමා කිරීමේ හස්තයක් ලෙස ඊට වැඩි වාර ගණනක් භාවිතා කර ඇත.